විශේෂාංග

එදා කසාද බඳින්න තෝරගත්තු පිරිමියා නිසා අදත් සතුටුවෙන වාසනාවන්ත ගැහැනු අතර මමත් එක්කෙනෙක්

ජීවිතේට එන විශේෂ දවස් කියන ඒවා ලේසියකට මගහරින කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා හැම විශේෂ දවසක්ම මම සමරනවා. මුලින් ලියපු ලිපිවලත් මං ඒ ගැන වෙනමම ලියලා ඇති. ගෙවුණ සුමානෙත් එහෙම විශේෂම දවසක් තිබුණා අපිට සමරන්න. ඒ තමයි මගෙයි දහම්ගෙයි හිත් ආදරෙන් බැඳුන දවස. කොළේක අත්සන් කරලා නීතියෙන් බැඳුන දවසට වඩා හිත්වලින් බැඳුනු දවසටයි මං ආසා. ඉතින් පහුගිය ජනවාරි මාසේ 24 වෙනිදාට අපි හිතින් බැඳිලා අවුරුදු 19 ක්.

2003 ජනවාරි 24 මං දහම්ව මුලින්ම දැක්කේ කොළඹ මහජන පුස්තකාලේදි. උසස් පෙළ විභාගය කට ළඟටම ඇවිත් තිබුණ නිසා මං පුස්තකාලෙට ගියේ පාඩම් කරන්න. දහම් ඇවිත් තිබ්බෙත් දෙවෙන වර උසස් පෙළ ලියන්න සුදානම් වෙලා පාඩම් කරන්න. මාව දැක්කට පස්සෙ මිතුරියක් මාර්ගයෙන් මගෙන් කැමැත්ත අහලා අපිත් නොදැනීම අපි ආදරේ කරන්න ගත්තේ එදා. අවුරුදු 7ක් ඒ විදියට ආදරේ කරලා, කසාද බැඳලා, දරුවොත් හදලා මේ ගෙවෙන ජීවිතේ එදා තරමටම සුන්දර වෙන්න හේතුව තමයි දහම්ගේ නොවෙනස් වුණ ආදරේ සහ සීමාවෙන් එහාට ගිය ඉවසීම. ඒ අතීතය මතක් කර කර සතුටු වෙන්න හේතු පුදුමාකාර විදියට අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මං එදා දවස විශේෂයෙන් සමරනවා.

දහම් කියන්නේ මගේ හිතේ මං මවාගත්ත ප්‍රේමවන්තයා නෙවෙයි, මේ ඇත්ත ජීවිතේ මාව දරාගන්න එකම පිරිමි පරාණය තමයි ඔහු. තාත්තාගෙන් පස්සේ මාව ඒ විදියටම බලාගන්න, මගේ ආදරේ අඩු වැඩි වෙන වෙලාවටත් වෙනසක් නැතුව මට ආදරේ කරන, මගේ හැම වැරැද්දකින්ම හොඳක් හොයාගන්න, මේ ලෝකේ මගේ තාත්තාට පස්සේ මං විශ්වාස කරන එකම පිරිමියා තමයි දහම්.

අපේ කසාද ජීවිතේදී විවිධාකාර හැලහැප්පීම් නොතිබුණාම නෙවෙයි. ඒත් ඒ හැමදේකදීම මගේ පැත්ත අරන්, මාව අතාරින්න හේතු කෝටියක් ලැබෙද්දීත් මාව අත් නොහැර ඉන්න එක හේතුවක් හරි හොයාගෙන එයා එදා තරමටම අදටත් මට ආදරේ කරනවා. ගෑනුන්ට විතරක් නෙවෙයි එහෙම ආදරේ දෙන්න පිරිමින්ටත් පුළුවන්. දහම් ඇරුණාම ඒ වගේ පිරිමි මං ඕනතරම් දැකලා තියනවා. පිරිමියාගේ පැත්තෙන් වෙන කැපකිරීම්, ආදරය, අවබෝධය තමයි ඒ බොහොමයක් පවුල් සුන්දර වෙන්න හේතුව වෙලා තිබුණේ.

එක අවස්ථාවක මගෙන් වුණු වැරැද්දක් නිසා මගේ ජීවිතේ මටම නැතිවෙලා යන්න ගියා. ඒත් මගේ ඒ වැරදි හදලා මට ජීවිතේ දිහා ආදරෙන් බලන්න ඉගැන්නුවේ දහම්. මගේ අම්මා මාව ඉපැද්දුවට, මාව හොද ගැහැනියක් විදියට ආදරණීය අම්මා කෙනෙක් විදියට ආපහු ඉපැද්දුවේ දහම්. ආදරේ කරන තරමටම මම එයාට ගෞරව කරන්නේ ඒකයි.

හැම පිරිමියෙක් ගාවම හොඳ ගතිගුණ, නරක ගතිගුණ දෙකම තියනවා. තමන්ගේ පිරිමියාගේ ඒ නරක ගතිගුණවලට වඩා හොඳ ගතිගුණවලට ආදරේ කරද්දී පිරිමියෙක් බලන් ඉඳිද්දි ආදරණීය වෙනවා. මං කළෙත් අන්න ඒ පුංචිම දේ. අද වෙද්දි මගේ ජීවිතේ මං ගත්තු වටිනම තෝරාගැනීම දහම්. දහම් එකක් දුක සතුට බෙදාගෙන ජීවත් වෙන්න ගත්තු තීරණෙයි මගේ ජීවිතේ මං කරපු වැදගත්ම දේ. ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී සතුටු වෙන්න තියෙන කාරණා අතර උඩින්ම තියන හේතුව ඒක.

දවස දෙකක් තිස්සේ ලෑස්ති වෙලා, පුංචි කෑම වර්ග කීපයක් හදලා, කේක් එකක් හදලා පුංචි සාදයක් දැම්මේ දහම්ව විතරක් නෙවෙයි, මගේ පැටව් තුන්දෙනාත් සතුටු කරන්න. එයාලා ලොකු වෙලා මං නැති කාලෙක, මාව මතක් වෙද්දී සතුටු හිතෙන හේතු එයාලා ගාව තියන්නයි මට ඕනේ. ජීවත් වෙලා ඉන්නකන් හැම දවසකම පුංචිම පුංචි විශේෂ වැඩ කරලා, අම්මා සතුටු වුණේ අපිව සතුටු කරලා කියලා මගේ පැටව් තුන්දෙනාට දැනෙන්න දෙන්නයි ඕන.

මං ඒකට මට පුළුවන් හැම විදියෙන්ම මහන්සි වෙනවා. ඒකෙන් මට සතුටක් දැනෙනවා. ඒ සතුට හරිම ලස්සනයි. ඒ දැනෙන සතුටයි මං බෙදන්නේ.

දැන් මං ආදරේ මං පුස්තකාලේදි දැකපු පිරිමියාට නෙවෙයි, ඒ පිරිමියාගේ ඇතුළේ ඉන්න ආදරණීය තාත්තාට.

මේ ලෝකේ තමන්ගේ ස්වාමිපුරුෂයා දිහා බලලා සතුට වෙන වාසනාවන්ත ගැහැනුන් අතරේ මමත් කෙනෙක් කියලා මට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන්.

හෂීණී මනමේන්ද්‍ර