විශේෂාංග

අම්මා කෙළින් හිටියොත් පවුලම ගොඩ

අප දිගින් දිගටම ජනමාධ්‍යය හරහා පුරෝකථනය කළ පරිදිම, කොරෝනා වසංගතය දරුණු වෙමින් පවතී. මරණ සංඛ්‍යාව ද මේ වනවිට දිනකට සියයකට ආසන්න තත්ත්වයට පත්ව ඇත. ඒ අතරම ගුරු වෘත්තිය සමිති ඇතුළුව වෙනත් වෘත්තීය සමිතිවල විරෝධතා ක්‍රියාමාර්ග දිග්ගැස්සීම තුළ කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම තව තවත් පුළුල් වෙමින් පවතී. වසරකට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වූ දරුවන් නිවෙස්වලට කොටු වී සිටි. මේ සියල්ල තුළ සිදුවන්නේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගීමයි. මේ හැමදෙයකම සමස්ත පීඩනය බොහෝවිට කේන්ද්‍රගත වෙන්නේ මව්වරුන් සහ කාන්තාවන් වෙතය. තවද ගෘහස්ථ හිංසන වැඩිවෙමින් පවතින අතර, වසංගතයේ අනෙක් අර්බුදය වන ආර්ථික අර්බුදය හමුවේ දරිද්‍රතාවය හා ආර්ථික අපහසුකම්ද වැඩිපුර විඳදරා ගැනීමට සිදුවන්නේ කාන්තාවන්ටය. මාසික වැටුප් ලබන රජයේ සේවකයන් හා රාජ්‍ය නොවන සේවකයන්ගේ පඩිපත යම් ආකාරයකට කළමනාකරණය කරගත හැකි වුවද, එදිනෙදා ජීවනෝපායේ යෙදෙන අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම ආර්ථික බලපෑම වඩා වැඩියෙන් දැනේ. මෙම ලිපිය කියවන සමහරුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් කොවිඩ් අසාදනයෙන් ජීවිත අහිමි වී වියෝ දුකට පත්ව සිටින අය විය හැක.

මේ සියල්ල හමුවේ කාන්තාවකගේ මනස කෙබඳු විය හැකිද?

මාස 18ක ආසන්න කාලයක් ගෙවල්වලට කොටුව කොවිඩ් වසංගතයේ ඍජු සහ වක්‍රාකාර ගොදුරු බවට පත්වූ ගෘහනියන්ට, මව්වරුන්ට මේ සියලු පීඩනයන් හිස දරාගෙනම මානසික ඒකාග්‍රතාව ඉහළින් රැකගැනීම, පවුල් ඒකකය තුළ ස්ථාවරයට අතිශයින් වැදගත් වේ. බොහෝවිට මෙවන් පවුල්වල අයට වෙනදා තම මව්පියන්ගෙන් ලැබුණු ආධාර උපකාර මැදිහත්වීමද බොහෝ අඩුවී තිබිය හැක.

තවද දුක් කරදර කම්කටොලු බෙදාගැනීමට හිටි ළඟම හිතවතුන් ඍජුව මුණගැසීමටද ඇති සීමා ඉඩකඩ හමුවේ, බොහෝවිට සංනිවේදනය පවුල් ඒකකයක් තුළට සීමාවීමට ඉඩ ඇත. ඒ නිසා පුරුෂාධිපත්‍යය වැඩි ලෙස පවතින රටක බොහෝවිට ගෘහනියන්ට, කාන්තාවන්ට, මව්වරුන්ට මේ ගැටළු බෙදාහදා ගැනීමට සිදුවන්නේ තමන්ගේ දරුවන් සමඟ විය හැක. නමුත් සමහර දරුවන් ළාබාල විය හැකිය. එවිට තම පීඩනයක් ඔවුනට නොදීමට ගෘහනියන් වග බලාගත යුතුය.

මේ පසුබිම මා සටහන් කරන්නේ, මේ සියලු කටයුතුවල ඇති මානසික බලපෑම, පීඩනය, ආතතිය, හා අවිනිශ්චිතභාවය මෙන්ම බිය සැකද ඇතිවන්නේ හිතට බැවිනි. හිත් තුළ පැලපදියම් වන වචනයෙන් බෙදා හදාගත නොහැකි පීඩනය බොහෝ ගෘහනියන්ට නොදැනුවත්වම කරදරයක් බවට පත්විය හැක. මෙයින් අදහස් කරන්නේ මේ සියලුදෙනාටම මානසික රෝගාබාධ ඇතිවන බව නොවේ. කිසිසේත් එය එසේ නොවේ. අප සාකච්ඡා කරන්නේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳවය. එය රැකගැනීමේ වැදගත්කම ගැනය.

අපගේ කාන්තා පරපුරේ අති බහුතරයක්දෙනාට ඇති ඔරොත්තුදීමේ හැකියාව විශේෂයෙන් පැරණි පරම්පරාවේ කාන්තාවන්ට, සාපේක්ෂව වැඩි විය හැක. එහෙත් නව පරම්පරාවේ මව්වරුන්ට එය සාපේක්ෂව අඩුවීමටත් ඉඩ ඇත. එයින් අදහස් කරන්නේ එසේ වන බවම නොවේ. ඒ කෙසේ වෙතත් තමාගේ හිත තුළ ඇතිවන අවිනිශ්චිතභාවය, සංකාව, පීඩනය, බිය, සැක, තව කෙනකු සමඟ බෙදා හදාගෙන, සාකච්ඡාකොට, හිත නිදහස් කරගැනීම, මේ වකවානුවේදී ඉතාමත්ම වැදගත් කටයුත්තකි. තමාගේ ස්වාමි පුරුෂයා, සමීපව සහයෝගයෙන් වැඩ කරන කෙනෙක් නම්, බිරිඳකගේ යුතුකම වන්නේ ඔහු සමඟ තමාගේ හිත තුළ පැලපදියම් වන ප්‍රශ්න බෙදා හදාගෙන සාකච්ඡා කිරීමයි. තනියම ප්‍රශ්න විසඳා ගැනීමට අරගල කරනවාට වඩා, එය වඩා හොඳ ක්‍රමවේදයකි. එමනිසා බිරිඳට හා ස්වාමිපුරුෂයාට පමණක්ම සීමාවූ නිශ්චිත ගුණාත්මක කාලසීමාවක්, සතියකට වරක් හෝ මේ කටයුත්ත සඳහා යොදා ගැනීම වැදගත්ය. වැඩිහිටි දරුවන් විශේෂයෙන් වයස 18ට වැඩි දරුවන් සිටින මව්වරුන්ට මෙම සාකච්ඡාවලට ඔවුන්ද හවුල් කරගැනීමේ කිසිඳු අගතියක් නොමැත. ආර්ථික අපහසුතා ඇත්නම් ඒවා ඔවුනටද තේරුම් කරදී ලැබෙන මුදලට සරිලන පරිදි ජීවිතයේ යම් යම් දේ වෙනස් කරගැනීමට ඔවුන් එකඟ කරගැනීමට කාන්තාවන් පෙරමුණගත යුතුව ඇත. ‘නව සාමාන්‍යකරණය’ (New Normal) යටතේ වෙනදා තිබූ ආර්ථික හැකියාව, සමාජයීය නිදහස භුක්ති විඳීමට නොහැකි බව තේරුම්ගෙන, එය අන් අයටද තේරුම්කර දිය යුතුයි. මේ එකොළොස් වන පැයේ කාන්තාවගේ මූලික කාර්යභාරය වන්නේ තමාගේ පවුල් ඒකකය තුළ සෞඛ්‍යය ඉහළින් රඳවා ගැනීමත්, තවත් කෙනෙකුට සෞඛ්‍ය අන්තරායක් ඇතිවන පරිදි කටයුතු නොකිරීමත්ය. තවද වැඩිහිටි දෙමව්පියන් සිටින විවාහක කාන්තාවන් ඔවුන් පිළිබඳවද සොයා බලා ඔවුන්ගේ දුක සැප, දුරකතන, තාක්ෂණය ක්‍රමෝපායන් හරහා හෝ සොයා බැලීමද කළ යුතුව ඇත.

ඒ ආකාරයටම තමා ප්‍රිය කරන ගීතයක් රස විඳීම, බණ භාවනා පිරිත් ආදියට යොමුවීම, තමාට සමීපතම හිතමිතුරන් තාක්ෂණය භාවිතාවෙන් හෝ සම්බන්ධ කොටගෙන සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑමත් මෙම කාලයේදී වැදගත් වේ.

මෙවන් අර්බුදකාරී කාල පරිච්ඡේදයකදී බොහෝදෙනෙකුට නිසියාකාර නින්දක් නොමැති වීම රෝග ලක්ෂණයක් නොවේ. එය සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳ බිය විය යුතු නැත. එය සාමාන්‍ය දෙයක් ලෙස තේරුම්ගෙන කටයුතු කළ යුතුව ඇත. සමහර අවස්ථාවන්වලදී, අවිනිශ්චිතභාවය හා අපේක්ෂාභංගත්වය වැනි ඍණාත්මක සිතුවිලි තමා කරා එන බව තේරුම්ගෙන, ඒවා සමනය කරගැනීම සඳහා කටයුතු කළයුතුව ඇත. මේ කිසිවක් මානසික රෝගවල ලක්ෂණ නොවන අතර සුළුතරයකට පමණක් උපදේශනය වැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවිය හැක.

තවද තරහ යාම මෙම වසංගතයේ මානසික බලපෑමේ කොටසක් විය හැකි බව හොඳින් මතක තබාගත යුතුය. එහෙත් මෙහිදී වඩා වැදගත් වන්නේ ඒ බව සැමදෙනා තේරුම් ගැනීමය. ඒ ලෙස ඇතිවන තරහ වචනයෙන් ප්‍රකාශ කිරීම වැදගත්ය. එහෙත් සමහර විට එම අයට නොදැනීම, තරහා වැරදි ආකාරයෙන් එළිදැක්විය හැක. සමහර විට එම තරහා පිටවන්නේ අදාළ නොමැති පුද්ගලයෙකු හරහා විය හැක. එම තත්ත්වය හඳුනා ගැනීම තම තරහ පාලනය කිරීමට රුකුලක් වේ. නැතිනම් එම තරහේ වින්දිතයන් අහිංසක දරුවන් විය හැක.

ඔබ රැකියාවක් කරන කාන්තාවක් නම් රැකියාව හරහා ගොඩ නැගෙන පීඩනය බොහෝවිට එළිදකින්නේ ගෙදරදීය. එහිදීද ඔබේ තරහා ඉදිරියේ දරුවන් හෝ ස්වාමියා වින්දිතයකු විය හැක.

අප තේරුම්ගත යුතු අනිත් වැදගත් කාරණය නම් මෙවැනි තත්ත්වයක් තුළ සියයට දහයකට පමණ මානසික රෝග, එනම් විෂාදය නැතිනම් මානසික අවපීඩනය, කාංසාව වැනි තත්ත්වයන් ඇතිවීමයි. එවන් තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍යවරයෙකු වෙත යොමුවී වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්ය. මෙම සුවිශේෂ රෝගී තත්ත්වයන් ගැන අප ‘ධරණී’ පත්‍රයේ පෙර කලාප හරහා සාකච්ඡා කර ඇත.

අප හිත් තුළ ඇතිවන ප්‍රශ්න, ගැටලු පිළිබඳ 24 පැය තුළ සිත සිතා සිටීමද අගතිගාමී දෙයකි. එවිට කළ යුතු වන්නේ තමන්ගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමයි. කුඩා දරුවන් ඇති මවුවරුන්ට ඔවුන් සමඟ සෙල්ලම් කිරීම, අකුරු කියා දීම, පොත පත පරිශීලනය කිරීම වැනි ගුණාත්මක කාලයක් ගත කිරීම හරහා, මව්වරුන්ට මෙන්ම දරුවන්ට ද ප්‍රයෝජනයක් ඇති වේ.

විශේෂයෙන්ම පරිස්සම් විය යුතු අවස්ථාවක් වන්නේ ප්‍රවෘත්ති ආදිය බැලීමේදීය. විශේෂයෙන් වයස 12 ට අඩු දරුවන්ට පීඩාකාරී ප්‍රවෘත්ති නැරඹීමට ඉඩ නොදිය යුතුය. මෙයින් අදහස් කරන්නේ රටේ සිදුවෙමින් පවතින දේ ඔවුන් නොදැනගත යුතුය යන්න නොවේ. අනවශ්‍ය ප්‍රමාණයට වඩා චිත්ත පීඩාවන් ඇතිවන ප්‍රවෘත්ති දර්ශන ඔවුන්ගේ දසුනට හසු නොවිය යුතුය යන්නයි. මෙය අවුරුදු හැත්තෑව අසූව පසුකල වැඩිහිටි පරම්පරාවටද එයාකාරයෙන්ම අදාළය.

මෙවන් අර්බුදකාරි කාල පරිච්ඡේදයකදී හිත කැළඹීම් ස්වභාවිකය. එම නිසා මානසික ඒකාග්‍රතාවය, ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ඉහළින් රඳවා ගැනීම අතිශය වැදගත් බව තේරුම්ගෙන ධෛර්යමත්ව තම පවුල් ඒකකයට නායකත්වය දීමේ දැවැන්ත වගකීමක් කාන්තාව සතු බව අවධාරණය කිරීමට කැමතිය.