විශේෂාංග

වයිෆ්ට මාව පේන්නෙ වැඩිවිය පැමිණිච්ච නැති ගෑනු ළමයෙක් වගේ

‘‘බලන්නකෝ මිස්. මගේ බෑණා ගෙදරින් ගිහිල්ලානේ. දැන් සති දෙකක විතර ඉඳලා යාළුවෙක්ගෙ ගෙදරක ඉන්නේ. ආයිත් ගෙදර එන්නෙ නැහැ කියලා තමයි කියන්නේ.’’

තම දියණිය නයනා ද සමඟ මා හමුවීමට පැමිණ සිටි සුමනා මුලින්ම කතාවට අවතීර්ණ වූයේ එසේය. තම මව එසේ කියත්ම නයනා මහහඬින් කඳුළු සලමින් හඬන්නට විය.

‘‘වෙන ගෑනු වගේ නෙවෙයි මේ දරුවා. ඔය මිනිහට සැලකුව විදිහ අපි දන්නවා. යන එකා කොහොම කළත් යනවා කියන්නේ ඕකනේ.’’

සුමනා තවත් ඇගේ ආවේගය පිට කළාය. ඒ අතර නයනාට සිතුසේ හඬන්නට ඉඩදුන් මම විනාඩි කිහිපයකට පසු සිදුවූ දේ පිළිබඳව නයනාගෙන් විමසා සිටියෙමි.

‘‘අනේ… මම දන්නේ නැහැ මිස්. කියන්න තරම් වැරැද්දක් මම එයාට කරල නැහැ. ෂුවර් එකටම කොහේ හරි කුණ්ඩවාලයක් පටලවගෙන ඇති. ඒකයි ඔය මාව මඟඅරින්නේ.’’

නයනාගේත්, සුනිමල්ගේත් විවාහ ජීවිතයට වසර දහයක් පමණ වන බවත්, ඔවුන්ට කුඩා දරුවෙකුද සිටින බවත් නයනා පැවසූයේ කම්මුල මතට රූරා වැටෙන කඳුළු කැට පිසිමිනි.

මේ තත්ත්වය තුළ මට කළ හැකිව තිබූ එකම දෙය නයනාගේ සැමියා වන සුනිමල් සමඟ සාකච්ඡා කිරීමය. ඒ මොහොතේම මා සුනිමල්ට ඇමතුමක් ගෙන උපදේශනය සඳහා පැමිණීමට ඔහුව එකඟ කරගත්තෙමි. පසුව ඊට පසුදිනම පැමිණ මා හමුවන ලෙස දෙදෙනාටම යෝජනා කළෙමි.

එකඟ වූ පරිදිම පසු දින නයනා සහ සුනිමල් මා හමුවට පැමිණියෝය.

හරිහැටි ​හේතුවක්වත් නොකියා එකවර නිවසින් යමාට හේතුව කුමක්දැයි මම සුනිමල්ගෙන් ප්‍රශ්න කළෙමි.

‘‘ඇත්තම කිව්වොත් මෙයා වගේ බිරිඳක් ලබන්න මම ලොකු පිනක් කරලා තියෙනවා. හැබැයි ඒ වගේම ලොකු පවකුත් කරලා තියෙනවා.’’

සුනිමල්ගේ හතරබීරි කතාව ඇසූ මම වික්ෂිප්තව නයනා දෙසත් සුනිමල් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි.

‘‘මෙයා මට අතට පයට හැමදේම කරලා දෙනවා. මම කන්න කැමති කෑමක්, බීමක් වුණත් කියපු පරක්කුවට හදලා දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නගේ ලිංගික ජීවිතයේ වුණත් කිසිම අඩුපාඩුවක් නැහැ.’’

සුනිමල් පැවසුවේය.

‘‘හැබැයි බැඳපු මුල් කාලේ ඉඳලම මෙයා මගේ ළඟින් හෙල්ලෙන්නෙවත් නැහැ. බැඳපු මුල් කාලෙ කොයි ගෑනිත් එහෙමයි කියලයි මම හිතුවේ. හැබැයි අවුරුදු දහයක් ගිහිල්ලත් මෙයාගේ ඒ පුරුද්ද නැති වුණේ නැහැ. තමන්ගේ ගෑනි තමන්ගේ ළඟින්ම ඉන්නවට කොයි මිනිහද අකමැති? ඒත් ඒකටත් සීමාවක් තියෙන්න ඕනේ නේද?’’

නයනාගේ වැඩි සෙනෙහේ සුනිමල්ට හිසරදයක් වී ඇති බව ඔහුගේ කතාව අවසන් කිරීමට පෙරම මට වැටහුණි. නමුත් හරස් ප්‍රශ්න නොඅසා ඔහුට සිතූ සේ කතා කිරීමට ඉඩදී නිහඬවම සිටීමට මම තීරණය කළෙමි.

‘‘මිස් විශ්වාස කරයිද දන්නේ නැහැ, කසාද බැඳපු දවසේ ඉඳලා අද වෙනකල් රස්සාවට ඇරෙන්න වෙන කිසිම තැනකට මම තනියම ගිහිල්ලා නැහැ. මම කොහේ ගියත් මෙයා මාත් එක්ක එනවා. මෙයාට එන්න බැරි වෙලාවක් තිබ්බොත් මෙයාගේ මල්ලිව හරි මාත් එක්ක එවනවා. ඒ කරලත් ගෙදර එනකල්ම, කොහෙද ඉන්නේ? පරිස්සමින් ඉන්නව නේද? කියලා කෝල් කර කර අහනවා.’’

නයනා නිවසින් බැහැරව ගියත් සුනිමල්ගේ ආරක්ෂාව පිණිස ඇයගේ සහෝදරයා හෝ මව ඔහු සමඟ තබා යන බව ඔහු කියයි.

සුනිමල්ගේ මුහු‍ණේ ගම්‍ය වූ ඉරියව්වලට අනුව ඔහු සිටින්නේ දැඩි පීඩනයකින් බව වටහා ගැනීම මට අපහසු නොවීය.

පණ ඇති ඕනෑම සත්ත්වයෙකුට මෙලොව ඇති වටිනාම දෙය නිදහස බවත් රන් කූඩුවක දමා රසවත් ආහාරපාන ලබාදෙමින් ඇතිදැඩි කරනා කුරුල්ලෙකු වුවත් ඉඩ ලද ක්ෂණයෙන් කූඩුව හැරදමා යන්නේ ඒ නිසා බවත් මම නයනාට පැහැදිලි කර දුන්නෙමි.

සැමියාගේ සතුට පිළිබඳව සිතන ආදරණීය බිරිඳක වීමට නම් ආදරය මෙන්ම නිදහසද ලබාදිය යුතු බව මම ඇයට පැවසුවෙමි.

එසේම යම් යම් උපදේශන මගින් සුනිමල්ගේ සිතේ තිබූ පීඩනයද යටපත් කර ඔවුන්ව ආදරයෙන් ළංකරවීමට මම කටයුතු කළෙමි.

නිතර නිදහස හොයා යාම පිරිමියාගේ ජීව විද්‍යාත්මක ගති සොබාවයකි. නමුත් නිතරම තම සහකාරුවාව තමා අහලම තබාගැනීම කාන්තා පාර්ශවයේ කැමැත්තයි. මෙම ජීව විද්‍යාත්මක කරුණු කාරුණා ද තේරුම් ගනිමින් සැමියාට ඔහුගේ නිදහසද ලබාදෙමින් සියල්ල සමබර කරගැනීමට බිරිඳක් දක්ෂ විය යුතුය.

මේ කතාවෙන් මට මතු කරලිය යුතු අනෙක් කාරණාව වන්නේ විවාහ සහතිකය යනු තවත් කෙනෙකුගේ නිදහස සීමා කිරීම සඳහා ඔබට ලැබෙන නෛතික ලියවිල්ලක් නොවන බවය.

මිතුරන් මුණගැසීමට යාමට නැතහොත් ක්‍රිකට් තරඟයක් නැරඹීමට යාමට බිරිඳ ඉදිරියේ වැඳ වැටිය යුතු බව පවසන සැමියන් ඕනෑතරම් මීට පෙරත් මට හමුවී ඇත.

ඉඳහිට හෝ මිතුරෙකු හමුවීමට ගිය පමණින් ඔබේ සැමියාගේ සිතේ ඔබ කෙරේ වන ආදරයේ අඩුවක් නොවන බව ඔබ වටහාගත යුතුය. නමුත් සිරකරුවෙකු මෙන් ඔහුව සිරගත කිරීමට උත්සාහ කිරීමට යාමෙන් සැමියාගේ සිත තුළ බිරිඳ කෙරේ වෛරීසහගත සිතක් මතුවන බවත් සංකීර්ණ පවුල් ගැටළු ඇතිවන බවත් සුනිමල්ගේත් නයනාගේත් මේ කතාවෙන් වටහාගත යුතුය.

(මෙය රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඔස්සේ සේවාලාභීන් හඳුනාගත නොහැකි පරිදි නිර්මාණාත්මක ලෙස වෙනස් කරන ලද කතාවකි.)

සෙව්වන්දි හෙට්ටිආරච්චි