විශේෂාංග

ෆ්ලෝ-ජෝ තැබූ ඔලිම්පික් වාර්තාව බිඳින්නට වසර 33කට පසුත් කිසිවෙක් නෑ

‘‘කිසිවක් ඔබේ අතට ළඟා වෙන්නේ නැත. ඔබ ඒවා ළඟාකර ගත යුතුය.’’ එසේ කියන්නේ, ලොව වේගවත්ම කාන්තාව වන ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ය. ඇය උපන්නේ 1959 දෙසැම්බර් 21 වනදා ලොස් ඇන්ජලීස්හිදීය. ඇගේ දෙමාපියන් වෙන්වන විට ඇයට වයස අවුරුදු හතරකි. සිතට සහනයක් ලැබීමටත්, සුළඟ විඳීමටත් ඈ ඔහේ දිව ගියාය. පියා හමුවීමට යන අවස්ථාවල ඇගේ විනෝදාංශය වූයේ සාවුන් පසුපස හඹායාමයි.

වේගයෙන් දිවීමට ඇය සිහින දකින්නේ වයස අවුරුදු හතක් පමණ වනවිටය. ඒ අනුව වයස අවුරුදු දහහතරක් වනවිට ඈ අඛණ්‌ඩව දෙවතාවක් ජෙසී ඔවෙන්ස් යෞවන තරගාවලියේ ශූරතා දින්නාය. පාසල් අධ්‍යාපනය හමාර කරද්දී ධාවන තරුවක් ලෙස මෙන්ම ක්‍රීඩා විලාසිතා සම්බන්ධයෙන් ද ඈ බොහෝදෙනා අතර ප්‍රසිද්ධ වී සිටියාය. අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දී ඇයට යම් යම් ආර්ථික ගැටළු මතුවිය. එහෙත් ඇගේ දස්කම් හඳුනාගත් පුහුණුකරු, බොබ් කර්සි ෆ්ලොරන්ස්ගේ ආර්ථික සුරක්ෂිත බව තහවුරු කිරීමට උපකාර කළේය.

බොබ් කර්සිගේ මඟපෙන්වීම යටතේ 1980 මීටර 100 ඉසව්වෙන් ඈ ඔලිම්පික් සුදුසුකම් ලැබුවාය. එහෙත් විශේෂ හේතුවක් නිසා ඇමරිකාව මොස්කව් ඔලිම්පික් වර්ජනය කිරීමත් සමඟ ඇයට එම අවස්ථාව අහිමි විය. එනිසා ලොස් ඇන්ජලීස්හි ඔලිම්පික් තරඟ පැවැත්වීමට නියමිතව තිබූ 1984 වර්ෂය තෙක් බලා සිටින්නට ඇයට සිදුවිය. නමුත් එහිදී ෆ්ලොරන්ස්ට දිනාගත හැකි වූයේ රිදී පදක්කමක් පමණි. ඉන් කළකිරුණු ඇය දිවීම අමතක කර රැකියාවක නියැලුණාය. ඒ, දහවල් බැංකු නියෝජිතවරියක් ලෙසටත් රාත්‍රියේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසටත්ය. පුහුණුව අවම වූ තැන ඇගේ බර වේගයෙන් වැඩි විය. ඒ අතරතුර නැවත සිහින දැකීම ඇරඹූ ෆ්ලොරන්ස් 1988 ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ අදිටනින් 1987දී යළිත් කර්සි යටතේ පුහුණුවීම් ආරම්භ කළාය. එම වසරේම ඔක්තෝබර් මස ඔලිම්පික් තුන්පිම්ම ක්‍රීඩක ඇල් ජොයිනර් සමඟ ෆ්ලෝරන්ස් විවාහ විය. ඒ සමඟ ඇය සැමදෙනා අතර ජනප්‍රිය වූයේ ‘ෆ්ලෝ-ජෝ’ යන සුරතල් නාමයෙනි.

ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට ෆ්ලෝ-ජෝට වැඩි කලක් ඉතිරි වී තිබුණේ නැත. ඒ නිසා ඇය දැඩිව කැප වුණාය. 1987 රෝමයේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඈ රිදී පදක්කමක් දින්නාය. නමුත් එය ප්‍රමාණවත් නැත. එනිසා ඈ තව තවත් පුහුණුවීම්වලට ඉඩ වෙන් කළාය. ඔලිම්පික් මීටර සියය තරගයට සුදුසුකම් ලැබීමට 1988 ජුලි මාසයේදී ඇමරිකාවේ ඉන්ඩියානාපොලිස් හිදී ෆ්ලෝ ජෝ තරඟ හතරකට මුහුණ දුන්නාය. ඒ සියල්ල කාන්තා මීටර සියය ඉසව්වේ එවකට වේගවත්ම ධාවන අතර විය. ඒ, එහි ලෝක වාර්තාව ද සමඟිනි.

වේගය වර්ධනය වීමත් සමඟ ඇගේ මනස නිදහස්ය. එසේ වූ විට විලාසිතා කෙරෙහිද ඇගේ අවධානය යොමුවේ. වෙනස් ආකාරයේ ක්‍රීඩා ඇඳුම්, නිය අලංකරණ, කොණ්ඩා මෝස්තර ඇයටම අනන්‍යය. යහපත් ප්‍රතිචාර මෙන්ම ඇය වැනි ක්‍රීඩිකාවන්ට ඒවා සුදුසු නැත යනුවෙන් අයහපත් ප්‍රතිචාරද උරුම විය.

1988 දකුණු කොරියාවේ සියොල්හි පැවති ඔලිම්පික් තරඟාවලියට ෆ්ලෝ ජෝ පැමිණෙන්නේ හිස් අතින් යාමට නොවේ. ඒ නිසාම ඇය මීටර සියය රන් පදක්කම දිනන්නේ එහි ඔලිම්පික් වාර්තාවද සිය නම ඉදිරියේ සටහන් කරමිනි. මීටර 200 ලෝක වාර්තාව ඈ දෙවරක් අලුත් කරන්නීය. එහි රන් පදක්කම ද ඈ වෙතයි. මීටර සියය සහය දිවීමේ ඉසව්වට ද රන් අවසානයකි. මීටර 400 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිවේ.

කෙටි කලක් තුළ ළඟා කරගත් ජයග්‍රහණ ඇය කටකතාවල ගොදුරක් බවට පත් කෙරිණ. තහනම් උත්තේජක භාවිතය ඊට හේතු වූ බවට ඇතැම්හු චෝදනා කළහ. ඈ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළාය. එමෙන්ම ෆ්ලෝ ජෝ කිසිදා තහනම් උත්තේජක පරීක්ෂාවකින් අසමත් නොවීමද විශේෂත්වයකි. 1988 පමණක් ඈ එවැනි පරීක්ෂණ 11කට පෙනී සිටියාය. ඒ සියල්ල ඇය සමත් වූයේ කටකතා පරදවමිනි.

1989 දී ක්‍රීඩාවෙන් සමුගත් ෆ්ලෝ ජෝ 1998 දී අවාසනාවන්ත ලෙස මියගියේ අපස්මාරය රෝගයට ගොදුරුවයි. දරුවන්ට බොහෝ ආදරය කළ ඈ අවශ්‍යතා ඇති අයට උදව් කිරීමට තමාගේම පදනමක් ද බිහි කළාය. ඈ නවකයන්ගෙන් කළ ඉල්ලීම වූයේ, ‘‘මා මෙන් නොවන්න. මට වඩා විශිෂ්ට වන්න’’ යන්නයි. එහෙත් වසරක් පමණක් පුහුණුවීම් කර ඇය පිහිටවූ මීටර සියය මෙන්ම දෙසීය ලෝක වාර්තා බිඳීමට වසර 33ක් ගතවීත් තවමත් කිසිවෙකුත් සමත් වී නැත. එනම් ඈ අභිබවීමට විශිෂ්ටයකු තවමත් බිහිවී නැත.

නමුත් 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ මීටර 200 පසුපස ආර කාන්තා ඉසව්වේදී නරඹන්නෝ විස්මයට පත්වූහ. ඒ ඇමරිකාව නියෝජනය කළ 17 හැවිරිදි මිසී ෆ්‍රෑන්ක්ලින් නිසාය. එය ඇගේ ප්‍රථම ඔලිම්පික් තරගාවලියයි. මීටර 200 පසුපස ආර ඉසව්ව ඇරඹී තත්පර කිහිපයකින්ම අඩි හයයි අඟල් දෙකක් උසැති සුරූපිනිය එය තමා සතුකර ගත්තාය. එමෙන්ම තත්පර කිහිපයකදීම ලෝක වාර්තාව අභිබවා යාම ඇරඹූ ඈ එය අඛණ්‌ඩව පවත්වා ලෝක වාර්තාවද හිමිකර ගැනීම විශේෂත්වයකි.

ලන්ඩන් ඔලිම්පික්හිදී මිසී සතු වූ රන් පදක්කම් ගණන හතරකි. ඒ මීටර 100 පසුපස ආර, මීටර 200 පසුපස ආර, මීටර 200 නිදහස් ආර සහය සහ මීටර 100 මිශ්‍ර ආර සහය ඉසව්වලිනි. ඊට අමතරව මීටර සියය නිදහස් ආර සහාය ඉසව්වෙන් ලෝකඩ පදක්කමකි.

මිසී පිහිනීම ඇරඹුවේ වයස අවුරුදු දෙකේදීයි. ඈ අවුරුදු 23 ක් වනවිට ක්‍රීඩාවට සමුදුන්නාය. ඒ උරහිස් ආබාධයක් හේතුවෙනි. එහෙත් කෙටි කලක් තුළ ඇය විශිෂ්ටයන් අතරට එක්වී හමාරය. වසරේ පිහිනුම් ක්‍රීඩිකාවට හිමි FINA සම්මානය අඛණ්‌ඩව දෙවතාවක් ඈ සතුවිය. 2012 ලොව හොඳම පිහිනුම් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද ඇයයි.

2013 දී බාසිලෝනා ලෝක ශූරතාවලියේදී මිසී රන් පදක්කම් හයක් දින්නාය. එකම ලෝක ශූරතාවලියකදී එවැන්නක් කළ පළමු කාන්තාව ඇයයි. වසරේ ලෝක ක්‍රීඩිකාවට හිමි ලෝරියස් සම්මානය මිසී සතුවූයේ එබැවිනි. එය දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ඇයයි.

රියෝ ඔලිම්පික් හිදී මීටර 200 නිදහස් ආර සහාය ඉසව්වෙන්ද ඇයට රන් පදක්කමකි. එහෙත් ආබාධයක් හේතුවෙන් ඒකල අවසන් තරග සහභාගිත්වය මිසීට අහිමි විය.

පිහිනුම් ක්‍රීඩාව ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා නිරන්තරයෙන් දායක වන මිසී බොහෝ සුහදශීලීය. දරුවන්ටද සමීපය. 2015 දී ඇගේ ශ්‍රී ලංකා සංචාරයේදීත් එම ලක්ෂණ කැපී පෙනිණ. ලොව කොතැන සිටියද සිය පුහුණුව, ආහාර රටාව නියමිත ක්‍රමවේදයට අනුව පවත්වාගැනීම ඇගේ විශේෂත්වයකි. නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිසී ෆ්‍රෑන්ක්ලින්ගේ චරිතයෙන් උගත හැකි දේ අප්‍රමාණය.

රෂ්නිකා ලියනගේ