නවතම ප්‍රවෘත්ති

“අපේ ආදරේට අවුරුදු 15යි” – FM Derana 15th Anniversary

දැන් කාලේ බස් එකේ, කඩපිලේ, ජංගම දුරකතනයේ ආදී එකී නොකී සියල්ලන්ගෙන්ම අහන්න පුළුවන් වුණාට 90 දශකය වෙනකන් ලංකාවේ මිනිස්සු රේඩියෝ ඇහුවේ සල්ලි ගෙවලා, වාර්ෂික බලපත්‍රයකුත් අරගෙන. ඒ කාලේ ඒ බලපත්‍රය අලුත් කරන්න තැපැල් කන්තෝරුවලට ගිහින් මුදල් බඳින්න සිද්ධවුණා. ඔය බලපත්‍ර නිකුත් කරපු මුල්ම අවුරුද්දේ ලංකාවේ රේඩියෝ අහන මිනිස්සු හිටියේ 179 දෙනයිලු. කොහොමින් කොහොමහරි 79 අවුරුද්ද වෙනකොට මිලියනයකට වැඩි රේඩියෝ ශ්‍රාවකයෝ පිරිසක් බිහිවුණත් විවෘත ආර්ථිකේ එක්ක රේඩියෝවලට ඇටෑක් කරන්න පුළුවන් කෙරුමෙක් 80 දශකයේ ලංකාවට ආවා. ඒ තමයි රූපවාහිනිය. එයින් පස්සේ රේඩියෝ අත්කරගන ඉඳපු මාධ්‍ය අධිකාරිය යම්තරමකට බිඳ වැටුණත් ශ්‍රව්‍ය-දෘශ්‍ය කියන අංශ දෙකේම වැඩ පෙන්වපු රූප පෙට්ටියට රේඩියෝ අධිකාරිය පාගලා දාන්න නම් බැරිවුණා. අදටත් දෙනෝදාහක් අසන්නන්ගේ සරතැස නිවන මාධ්‍යයක් බවට රේඩි​යෝව පත්වෙලා තියෙන්නේ ආන්න ඒ නිසා.

ඉතින් මේ අටුවා, ටීකා, ටිප්පනි ටික කිව්වේ වෙන කතාවක් කියන්න. ධරණීඅයත් දෙරණ මාධ්‍ය පවුලේ ‘FM  දෙරණසහෝදර නාලිකාවට ඔන්න අවුරුදු 15ක් සපිරිලා. මාර්තු 29 වැනිදා තමයි FM දෙරණ 15 වැනි උපන්දිනය සැමරුවේ. ඉතින් මේ සහෝදර නාලිකාවට අපෙන් දෙන උපන්දින තෑග්ග විදියට ගිය පාර වගේම මේ පාරත් FM දෙරණ නාලිකාවේ සොඳුරු නිවේදිකාවන් කිහිපදෙනෙකුගේ රුවින් ධරණී කවරය සරසන්න අපි තීරණය කළා.

මේ රූප සුන්දරියන්ගේ පැටිකිරිය සහ FM දෙරණේ පැටිකිරිය අහගන්න හොඳම කෙනා බණ්ඩාර විජයරත්න නිසා අපි ඒ වැඩේට කතා කළේ ඔහුට. ඔහු තමයි FM දෙරණ නාලිකාවේ සාමාන්‍යධිකාරිවරයා විදියට කටයුතු කරන්නේ. එහෙම කිව්වම නොදන්නවා වුණත් හැමදාම උදේට ‘අනූපමා’ කෝච්චියේ යන බණ්ඩාරව නොදැනගන්න හේතුවක් නෑනේ. අන්න එයා තමයි මෙයා… 

“මේ වෙනකොට LMRB දත්ත සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ අංක එකේ ගුවන්විදුලි නාලිකාව FM දෙරණ. අවුරුදු 7ක් පුරාවට අපි එතැන ඉන්නේ. 2021 අවුරුද්දේ තිබුණු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ තාරුණ්‍යයේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව වෙන්නත් අපිට හැකියාව ලැබුණා. ලංකාවේ 27 වැනි නාලිකාව විදියට බින්දුවේ ඉඳලා පටන් අරන් මේ ඇවිත් තියෙන දුර ගැන හරිම ආඩම්බරයි. දැන් ගුවන්විදුලි නාලිකා 37ක් විතර අපේ රටේ තියෙනවා. ඒ හැමෝම අතරින් තමයි අපි අංක එක වෙලා ඉන්නේ”

සතියේ දවස්වලට FM දෙරණේ උදේ 7.00 ඉඳන් 10.00 වෙනකල් යන සීඝ්‍රගාමිව හිනායන රේඩියෝ කෝච්චිය වෙන ‘අනූපමා කෝච්චිය’ ගැනත් අපි ඔහුගෙන් ඇහුවා. FM දෙරණට අවුරුදු 15ක් පිරෙද්දි අනූපමා කෝච්චියටත් දැන් අවුරුදු 13ක්ලු.

“එදා මමත් අනුරාධ සිගේරාත් තමයි අනූපමා කෝච්චිය පටන්ගත්තේ. ඒක අපි දෙන්නගේ සංකල්පයක්. දිනපතා එකම කෝච්චියේ එක ළඟින් ඉඳගෙන වැඩට යන තුන්දෙනෙක් ඔවුන් බහින ස්ටේෂම එනකල් කතා කරකර යන රසමුසු දේවල් තමයි අනූපමා කෝච්චියෙදී අපි කතා කරන්නේ. අපි දෙන්නා එක්ක ඒක කරන්නේ තක්ෂිලා. 2011 අවුරුද්දේ ඉඳන් අවුරුදු 13ක් අඛණ්ඩව කළා. ඒක අද LMRB දත්ත සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ ජනප්‍රියම උදෑසන වැඩසටහන (Morning Show) වෙලා තියෙනවා. ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ ඒක අවුරුදු ගාණක්ම ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහනටත් නිර්දේශ වුණා.”

රැකියාව කියන්නේ සමහරුන්ට ජීවිතේ කොටසක් වුණාට බණ්ඩාරට නම් ජීවිතේම මේ රේඩියෝ රස්සාවලු. කෙටි කාලයකින් FM දෙරණ මේ ඉන්න තැනට එන්න ඔවුන්ගේ මේ කැපවීමත් අනිවාර්යයෙන්ම බලපාන්න ඇති කියලයි ඒක ඇහුවම අපිට හිතුණේ.

“මේ වෙනකොට ඇතැම් ශ්‍රාවකයෝ FM දෙරණ ඔවුන්ගේ ජීවිතේ කොටසක් කරගෙන තියෙන්නේ. ‘ආදරේ නිසයි අහන්නේ’ කියලා අපේ තේමාව විදියට අපි යොදාගෙන තියෙන්නෙත් ඒ නිසා. අපේ වැඩසටහන් පෙළගැස්ම ගත්තොත් උදේ 6.00 – 7.00 ආයුබෝවන් දෙරණ යනවා.7.00 – 10.00 වෙනකල් අනූපමා කෝච්චිය. 10.00 -1.00 වෙනකල් දේදුනු පාලම. දවල් 1.00 – 4.00 වෙනකල් සමන් එදිරිමුණි ලියන තාමත් ආදරෙයි මං ගුවන්විදුලි නාට්‍යය. 4.00 – 6.00 වෙනකල් චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි වැඩසටහන. හවස 6.00ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. ඊටපස්සේ බෝධි පූජා කවි.7.00 – 10.00 වෙනකල් කෙම්මුර අඩවිය යනවා.10.00 ඉඳන් පහුවදා 6.00 වෙනකල් දිගටම දම්සක් නද රාත්‍රි සෙත් පිරිත්, සෙත් කවි යනවා.”

මේ වෙද්දි FM දෙරණ ගුවන්විදුලි නාලිකාවේ නිවේදිකාවන් 12ක් වගේම නිවේදකයින් 20කට ආසන්න ගණනක් ඉන්නවලු. ඔවුන් සියල්ලන්ම අවුරුදු ගණනක් පුරාවට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ රැඳුනු අත්දැකීම් බහුල පිරිසක් කියලයි බණ්ඩාර මහතා අපිත් එක්ක කිව්වේ. ඒ අතරින් අපි නිවේදිකාවන් ගැන ටිකක් වැඩිපුර අහලා බැලුවේ අද අපේ කවරය හැඩකරන්නෙත් ඔවුන්ගේ රුවෙන් නිසා.

“අපි ළඟ ඉන්නේ ගුවන්විදුලි ක්ෂේත්‍රය තුළ වසර ගණනක අත්දැකීම් තියෙන අය. ඔවුන් ඔවුන්ගේ රැකියාවේ අවසන් නවාතැන්පොළ විදියටයි FM දෙරණ මේ විදියට තෝරගෙන ඉන්නේ. මේ වෙද්දි හැම ගුවන්විදුලි නිවේදිකාවකගේම එක හීනයක් තමයි FM දෙරණ පවුලට එකතු වෙන එක. ඒ වාසනාව උදාකර ගත්තු වාසනාවන්තියෝ තමයි දැන් මේ අපිත් එක්ක ඉන්නේ.”

බණ්ඩාර මහතා එහෙම කියද්දි අපිට ඊළඟ ප්‍රශ්නයට යන්න කලින් ඒ ගැන හාරඅවුස්සලා අහන්න හිතුණේ ඒ විදියට හීන දකින්න තරම් FM දෙරණ ඇතුළේ තියෙන විශේෂත්වය දැනගන්න.

“මෙතැන අපි හැමෝම එක පවුලක් විදියට වැඩ කරන්නේ. කැපිලි කෙටිලි නෑ. මොන ආයතනයක් වුණත් දියුණු වෙන්නේ, සාර්ථක වෙන්නේ සේවකයෝ එතැන සතුටින් ආසාවෙන් වැඩ කළොත් විතරයි. අපි ඒ තැනට FM දෙරණ දැන් පත්කරලා තියෙනවා. මේක ඇතුළේ හැම නිවේදිකාවම තමන්ගේ රාජකාරිය ඉටු කරන්නේ ලොකු මානසික නිදහසකින්. ඒ වගේම වැඩකරන්න පුළුවන් විදියට අපි මේ පරිසරය හදලා තියෙනවා. ඔවුන්ගේ සේවයට හොඳ වැටුපක් දෙන ගමන්ම හැකියාවටත් තැනක් දෙනවා. ඒ වගේම ඉහළ කළමනාකාරිත්වයෙන් ඔවුන්ට කිසිම බලපෑමක් නෑ. උපරිම ගෞරවනීය විදියට වැඩ කරන්න පුළුවන් විදියට FM දෙරණ අපි අද ගොඩනගලා තියෙනවා.”

ගොඩාක් කාන්තාවන්ට රැකියාව නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු නිසියාකාරව කළමනාකරණය කරගන්න අපහසු වෙනවා. හැබැයි කිසිඳු පීඩනයක් නැතිව රැකියා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතෙත් කළමනාකරණය කරගන්න FM දෙරණෙන් ඔවුන්ට ලොකු සහායක් ලැබෙනවලු. ඒ කතාව අපිත් එක්ක කිව්වේ ඌෂා ගයානි අල්විස්. ඇය FM දෙරණ නාලිකාවේ ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාරවරිය. ඒ වගේමයි නිවේදක කටයුතුත් කරනවා.

“මං විවාහවෙලා දරුවෝ ලැබෙන්න ඉන්නකොට ටිකක් අමාරුවුණා. මට නිවුන්නු ලැබෙන්න හිටියේ. එතකොට මං FM දෙරණට ඇවිත් අවුරුදු තුනක් වගේ ඇති. ඉතින් ඒ ටිකේ වැඩට එන්න බැරිවුණා. දරුවෝ ලැබුණමත් හොඳටම අමාරුවුණා. මාස කීපයක්ම නිවාඩු දාන්න වුණා. ඒ සැරේ මට ලොකු බයක් දැනුණා ජොබ් එක ගැන. ඒත් එහෙම කිසිදෙයක් වුණේ නෑ. නිතර නිතරම මෙහේ අය මට කතා කරලා දුක සැප ඇහුවා. ගොඩාක් කාන්තාවන්ට රැකියාව නිසා පෞද්ගලික ජීවිතේ දේවල් කළමනාකරණය කරගන්න අමාරුයි. ඒත් මේ ආයතනය අස්සේ අපිට එහෙම පීඩනයක් නෑ.”

ඌෂා එහෙම කියලා පහළට ගියේ ඇයව මුණගැහෙන්න කවුදෝ පිරිසක් ඇවිදින් කියාගෙන. එතකොටයි බණ්ඩාර ඔහුට මගඇරෙන්න ගිය දෙයක් අපිත් එක්ක මේ විදියට කිව්වේ.

“කවුරු හරි පහළ ඇවිත් ඇති. මෙයාලාට ආදරේ අය මෙයාලව බලන්න නිතරම වගේ මෙහෙට එනවා. කාන්තා උදවිය තමයි වැඩිපුරම එන්නේ. සමහරු කෑමබීම එහෙම හදාගෙන තෑගිබෝගත් අරන් එන්නේ. ඒ බැඳීම අමුතු එකක්. සමහර අය එන්නේ තමන්ගේ දුවක් බලන්න එනවා වගේ. ඒ ඇවිත් කතාබහ කරලා යනවා. ඒ වගේම තමයි එයාලා වැඩසටහන් කරද්දි කටහඬේ අමුත්තක් එහෙම දැනෙන්න බෑ. ඒ සැනින් එයාලට ආදරේ ශ්‍රාවකයෝ කතා කරලා අහනවා අද අසනීපෙන්ද ඉන්නේ කියලා. ඒ තමයි FM දෙරණයි ශ්‍රාවකයයි අතරේ තියෙන බැඳීමේ තරම.”

FM චැනල්වල නිවේදිකාවෝ ගිරව් වගේ කියවන්න විතරයි දන්නේ කියලා අපේ සම්භාව්‍ය සහ විදග්ධ සමාජයේ නෝනා මහත්වරු කියනවනේ. ඒ චෝදනාව ගැනත් ඔහුගෙන් නෑසුවොත් අඩුවක් කියලයි අපිට හිතුණේ.

“ඒක ඇවිල්ලා ජනප්‍රිය සංස්කෘතියත් එක්ක ඇතිවුණු දෙයක්. සමහරක් ජෝතිපාලටත් පීච්චං ගායකයා කියලා බැනපු කාලයක් තිබුණනේ. ඒ වුණාට දැන් බනිනවද බලන්නකෝ. කාලයත් එක්ක අපි හැමෝම අප්ඩේට් වෙන්න ඕන. නැත්නම් එකතැන පල්වෙලා ෆේල් වෙන එකයි වෙන්නේ. ඉස්සර බොහොම ඉහළින් වැජඹුනු සමහර ගුවන්විදුලි නාලිකා අද පල්ලෙහාට වැටිලා තියෙන්නේ ඒ නිසයි.”

කාන්තාවන් වෙනුවෙන් FM දෙරණ නාලිකාව මේ වෙනකොට කරගෙන යන සුවිශේෂී වැඩසටහන් මොනවද කියලයි ඊළඟට අපි ඔහුගෙන් අහලා බැලුවේ.

“දවල් 1.00ට යන ගුවන්විදුලි නාට්‍යය එක්ක වැඩිපුරම එකතුවෙන්නේ කාන්තා උදවිය. ඒ වගේම දේදුනු පාලම ගොඩාක් අහන්නේ තරුණියෝ. අපට දැනගන්න ලැබුණා ගාමන්ට්වල එහෙම වැඩ කරන අතරේ අපේ නාලිකාව දාන්නේ කියලා. ඒ වගේමයි වැඩිහිටි කාන්තාවෝ දම්සක් නද රාත්‍රි සෙත් පිරිත්, සෙත් කවි අහලා තමයි නින්දට යන්නේ. ඒ අයගෙන් 100ක් තෝරලා එන සැප්තැම්බර්වල දඹදිව වන්දනාවේ යන්න අවස්ථාවක් උදාකරලා දෙනවා.”

15 වැනි සංවත්සරයට සමගාමීව සිදුකරන සුවිශේෂී වැඩසටහන් ගැනත් ඔහු මේ විදියට මතක් කළා.

“පසුගියදා අපේ ආදරේට දැන් අවුරුදු 15යි කියලා දෙරණ මැදිරියේ රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් එක්ක ලොකු සංගීත ප්‍රසංගයක් කළා. ඒ වගේම සංවත්සරයට සමගාමීව වෙනදට අපි කරන ඇටෑක් ශෝ එක මෙවර කළේ නෑ. ඒ මුදලෙන් මේ රටේ දුප්පත් දරුවන් වෙනුවෙන් අපි ‘FM දෙරණ දරු නැණ දිරි’ කියලා සමාජ සත්කාරයක් පටන්ගත්තා. අනික තමයි අපි රේඩියෝ වංශකතාව අලුත් කරලා රේඩියෝවේ රූප භාෂාව නමින් අපේ රටේ පළමුවරට Visual Radio එකක් පටන්ගත්තා. FM දෙරණ වෙබ් එකෙන් යූටියුබ් සහ ෆේස්බුක්වලින් ඒ අත්දැකීම විඳගන්න පුළුවන්. තෑගි නම් ඉතින් අපේ ශ්‍රාවකයින්ට හැමදාම අපි දෙනවනේ.” 

කතාබහ අතරවාරයේ දෙරණ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති දිලිත් ජයවීර, උපසභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලක්සිරි වික්‍රමගේ, අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල, දෙරණ සමූහ වෙළඳ සහ අලෙවි අධ්‍යක්ෂක තුෂාර පෙරේරා සහ කාර්ය මණ්ඩලයත් මතක් කරන්න FM දෙරණ සාමාන්‍යාධිකාරිවරයා අමතක කළේ නෑ. ඒ වගේම කතාබහ අවසානයේ ඔහු අවුරුදු 15ක් පුරාවට FM දෙරණ එක්ක හිටපු ශ්‍රාවක පිරිසට මෙන්න මෙහෙම පොරොන්දුවකුත් වුණා.

“අවුරුදු 15ක් අපිත් එක්ක හිටපු ඔබට ගොඩාක් ස්තූතියි. අප්‍රේල් 01 ඉඳන් අපි ඔබේ හදවතේ රසඥතාවයට ගැළපෙන විදියට තවත් අලුත් දේවල් වැඩසටහන් පෙළගැස්මට එකතු කරනවා. ඒ නිසා මේ හිටියා වගේම දිගටම 92.2 සහ 92.4න් FM දෙරණ එක්කම ඉන්න කියලා ඔබට ආදරෙන් මතක් කරනවා.”

රුවන් එස්.සෙනවිරත්න