රූපලවන්‍ය

හැඩකාර පා යුගලකට දෙපා සත්කාර

හැත්තෑව දශකයේ අගබාගෙදි ඉතාලියේ රොසලින් කියන ගම්මානෙ හරි අරුම පුදුම උප්පත්තියක් සිද්ධවුණා. ඒ තමයි ෆ්‍රෑන්ක් ලෙන්ටිනී කියන දරුවාගෙ උපත. මේ උප්පත්තිය විශේෂ වෙන්නෙ ඇයි කියල කිව්වොත් ඔහුට සාමාන්‍ය මනුස්සයෙකුට පිහිටන කකුල් දෙකක් වෙනුවට කකුල් තුනක්ම පිහිටල තිබුණා. ඒ වගේම ඔහුට ලිංගේන්ද්‍රයනුත් දෙකක් පිහිටල තිබුණා. මේ බහු අවයව නිසා පුංචි කාලෙ ටිකක් දුක් වින්දට මොකද පස්සෙ කාලෙක ඇමරිකානු සර්කස් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න ෆ්‍රෑන්ක්ට පුළුවන් වුණා. රිංග්ලිං බ්‍රදර්ස් කියන මේ සර්කස් කණ්ඩායමට සම්බන්ධ වෙලා ඔහු පාද තුනෙන් විවිධ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කරද්දී මේ අරුම පුදුම කකුල් තුනේ මිනිසා දැක බලාගන්න මිනිස්සුත් වැල නොකැඩී සර්කස් බලන්න එන්න පටන්ගත්තා.  

හැබැයි මේ සියලු වැඩ කිඩ දාන ගමන් කකුල් තුනක් රැක බලාගන්න එක ෆ්‍රෑන්ක්ට ලේසි වෙන්න නැතුව ඇති කියලා අපිට හිතෙන්නේ කකුල් දෙකක් සහිත සාමාන්‍ය මිනිස්සු දැක්කමයි. මොකද තමන්ව නගා සිටුවන, තමන්ගේ සියලු බර දරන, අවැසි ඕනෑම තැනකට තමන්ව රැගෙන යන. ඒ විතරක් නෙවෙයි තමන්ගේ බාහිර පෙනුමටත් ඍජුව බලපාන දෙපා සඳහා බොහෝදෙනෙක් බොහොම අඩු සැලකිල්ලක් දක්වන බවක් තමයි පේන්න තියෙන්නේ. 

තමන්ගේ දෙපාවලට සාත්තු සප්පායම් කරන එක සහ දෙපා රැක බලාගන්න එක කොයිතරම් වැදගත්ද කියලා අන්න එහෙම අයට මතක් කරලා දෙන්න තමයි අද අපි මේ සත්කාර ටික පිළිබඳව කියන්නේ. 

—————-

නිතරම වගේ බාහිර පරිසරයට නිරාවරණය වෙලා තියෙන නිසා කකුල් දෙක කියන්නේ නිතරම විෂබීජ තැන්පත් වෙන තැනක්. ඉතිං ගමනක් බිමනක් ගිහින් ආවම කකුල් දෙකේ විෂබීජ අකාමකා දාන්න ඔබට පුළුවන් කොහොඹ කොළ ටිකක් අමු කහ කෑල්ලක් එක්ක හොඳින් තම්බලා ඒ වතුර ටික පෙරාගෙන දෙහි ගෙඩියක යුෂත් එකතු කරලා කකුල් දෙක විනාඩි විස්සක් තිහක් විතර ඒ වතුර එකේ දමාගෙන ඉඳලා හොඳින් සෝදා හරින්න.

නිතර දෙවේලේ ඇවිදින කෙනෙක්ගෙ දෙපා තෙහෙට්ටුව, දෙපාවල විඩාබර ගතිය ඉක්මනින්ම ඇතිවෙනවා. ඉතින් මේ තත්ත්වය සමනය කරගන්න ග්‍රීන් ටී බෑග් දෙකක් උණුසුම් වතුර එකකට දාලා පිරිසිදු මීපැණි මේස හැන්දක් වගේම ලෙමන් බෑයක යුෂත් එකතු කරලා ඒකටම රෝසලුණු (pink salt) ස්වල්පයක් එකතු කරලා දෙපා හොඳින් පොඟවාගන්න ඔයාට පුළුවන්.

දෙපා විඩාව නිවාගන්න තවත් ක්‍රමයක් තියෙනවා. සහල් පෙඟවූ වතුර කෝප්ප තුනකට රෝස ලුණු ස්වල්පයක්, බේකින් සෝඩා මේස හැඳි දෙකක් සහ ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කරලා මිනිත්තු විස්සක් පමණ දෙපා පොඟවාගන්න. මේ විදියටත් ඔයාගෙ කඩිසර දෙපාවල තෙහෙට්ටුව ඉක්මනින් සමනය කරගන්න පුළුවන්. 

හොඳ ෆුට් ස්ක්‍රබ්වල වෙළඳපොළ මිල ටිකක් ඉහළයිනෙ. ලාබෙට ගන්න ස්ක්‍රබ්වල කිසිම ගුණයක් නැහැ. සුපර්මාකට් එකේදි ෆුට් ස්ක්‍රබ් දැකලා ගන්දෝ නොගන්දෝ කියලා කල්පනා කරන ඔයාලට තමයි ගෙදරදීම හදාගන්න පුළුවන් මේ ෆුට් ස්ක්‍රබ් වර්ග ටික කියන්නේ. 

දෙපා විලුඹ ඉක්මනින් ඉරිතලන කෙනෙක් නම් ඒකට කදිම ස්ක්‍රබ් එකක් තමයි මේ. Epsom ලුණු කප් එකක්, පොල්තෙල් කප් 1/4ක්, විටමින් E කැප්සියුලයක තෙල්, ඔලිව් තෙල් ස්වල්පයක් හොඳින් මිශ්‍ර කරලා පිරිසිදු ජෑම් බෝතලයක ගබඩා කරගන්න. සතියකට වතාවත් ඒ මිශ්‍රණයෙන් ස්වල්පයක් අරන් විලුඹේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න. හරියට කළොත් දෙපාවල පැහැදිලි වෙනසක් ඔයාට පෙනේවි. 

අව්වට පිච්චිලා වේළිලා ගිහින් නිතරම කකුල්වල සම මැරෙනවා. ඒ මැරුණු සම් කොටස් අපේ අලුත් සම් කොටස් එක්කම එකතුවෙලා තමයි තියෙන්නෙ. ඉතිං මේ මැරුණු සම ඉක්මනින් ඉවත් කරගන්න අමුද්‍රව්‍ය තුනකින් ලේසියෙන්ම මේ ස්ක්‍රබ් එක ඔයාට හදාගත්තැකි.

දුඹුරු සීනි තේ හැන්දක්, ඔලිව් තෙල් ස්වල්පයක් සහ බේකින් සෝඩා තේ හැන්දක් සමඟ මිශ්‍ර කරලා කකුල් ස්ක්‍රබ් කරගන්න. ඊටපස්සෙ මිනිත්තු විස්සකින් කකුල් දෙක හොඳින් සෝදාහරින්න. 

ගොඩක් වෙලාවට අපේ අත් සියුමැලිව සුසිනිඳුව තිබ්බට කකුල් දෙක නම් ගොරෝසුයි. ඉතිං කකුල් දෙකත් මෘදුව තියාගන්න ඕන නම් සීනි තේ හැඳි 2ක් ගෙන කෝපි කුඩු ස්වල්පයක් සහ පොල්තෙල් තේ හැඳි 1ක් සමඟ මිශ්‍ර කරලා මිශ්‍රණය කකුල්වල ගල්වලා සම්බාහනය කර පසුව සෝදා හරින්න.

දෙපාවල කැළැල් ඇතිවෙලා තියෙනවා නම් පොල්තෙල් කෝප්ප 1/4ක්, සීනි කෝප්ප 2ක් සහ ලෙමන් ගෙඩියක යුෂ මිශ්‍ර කරලා ඒ මිශ්‍රණය කකුල්වල ගල්වලා හොඳින් ස්ක්‍රබ් කර සෝදා හරින්න. කාලයක් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරනකොට ඔයාගෙ කකුක්වල ඇතිවෙලා තියෙන කැළැල් මැකිලා යනවා.

නිතරම සපත්තු මේස් සෙරෙප්පු පළඳිනකොට කකුල්වල කුෂ්ඨ ඇතිවෙනවා වගේම කසන්න ගන්නවා. මේ තත්ත්වය සමනය කරගන්න අවශ්‍ය නම් රෝස ලුණු හා ඕට්මීල් ස්වල්පයකට බේකින් සෝඩා තේ හැඳි දෙකක් එකතු කරලා වතුර මේස හැඳි 2 – 3ක් එක්ක මිශ්‍ර කරගෙන දෙපාවල ගල්වලා හොඳින් සම්භාහනය කර සෝදා හරින්න.

දෛනික වැඩ රාජකාරි එක්ක දෙපාවලට මෙහෙම සත්කාර හැමදාම කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා දෙපා සත්කාරවලට සතියට එක දවසක් වෙන් කරගන්න පුළුවන්නෙ කොයි කාටත්. එදාට මේ ස්වභාවික සත්කාරවලට අමතරව කකුල් පිරිසිදුව තියාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක්ම තියෙනවා. 

සුවපහසු පාවහන් පළඳින්න. අපහසු පාවහන් පාවිච්චියේදි කකුල් තුවාල වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. පාවහන් පාවිච්චි කරාට පස්සෙ ටික වෙලාවක් අව්වෙ වේලෙන්න ඉඩ හැරලා නැවත පාවිච්චි කරන්න. එතකොට පාවහන්වල තියෙන බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවින් අව්රශ්මිය නිසා විනාශ වෙලා යනවා.

මේස් කුට්ටමක් වතාවක් පාවිච්චි කළාට පස්සෙ නැවත පාවිච්චි කරනකොට මේස් හොඳින් සෝදලා වේලලා පිරිසිදු කරගන්න එක නම් අනිවාර්යයෙන්ම කරන්න. එහෙම නැත්නම් ඉක්මනින්ම කකුල්වල දද, කුෂ්ඨ, බැක්ටීරියා ආසාධන ඇතිවෙන්න පුළුවන්. නිවසෙන් පරිබාහිර ස්ථානවලට ගිහින් ආවට පස්සෙ කකුල් දෙක සබන් දාලා හොඳින් සෝදගන්න අමතක කරන්න එපා. නිදාගන්න කලිනුත් කකුල් දෙක පිරිසිදු කරන් නිදාගන්න එක වැදගත්. ඒ වගේම තමා කකුල් දෙකට මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් දෙපා සේදීමෙන් පස්සෙ පාවිච්චි කරන එකෙන් නිතරම කකුල්වල තෙතමනය රැකගන්න උදව් වෙනවා. 

මෙහෙම හරි ලේසියෙන් කරන්න පුළුවන් ඊසි පීසි ටිප්ස් ඕනතරම් තියෙනවා. සුන්දර දෙපා යුවළක් හිමි කරගන්න කැමති හැමකෙනෙක්ම මේ දෙපා සත්කාර නිවාඩුපාඩුවේ කරලා බලන්න. ඉතිං සාඩම්බර කකුල් දෙකක් එක්ක ආඩම්බරයෙන් ඇවිදින ගමන් ඔයාගෙ හිතවතියන් එක්කත්, මේ දෙපා සත්කාර බෙදාහදාගන්න අමතක කරන්න එපා. 

පවනි වාසනා