විශේෂාංග

ඇස් ලස්සන කරගන්න කිඹුල් අස්ථි පුච්චන්න ඕනද?

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික කලාගාරයේ ‘Ginevra de Bencil’ කියලා කලාත්මක ස්ත්‍රී සිතුවමක් තියෙනවා. මේ සිතුවම ඇඳලා තියෙන්නේ ලෝක ප්‍රකට කලාකරුවෙකු වෙච්චි ඉතාලි ජාතික ලියනාඩෝ ඩා වින්සි. ඇමෙරිකාවේ මහජන ප්‍රදර්ශනයට තියලා තියෙන ඔහුගේ එකම චිත්‍රය මේකලු.

මේ චිත්‍රයේ ඉන්න ජෙනෙව්රා කියන යුවතිය බොහොම සුරූපී රෝම යුවතියක්. ඒ කාලේ ඒ පළාතෙම හිටපු ලුයිගි නිකොලිනි කියන වංශාධිපතියා ඇයට ඔහුත් සමඟ විවාහ වෙන්න අණ කරලා තියෙනවා. ඔන්න ඉතින් විවාහයට කලින් දවසේ ලියනාඩෝට ජෙනෙව්රාගේ මේ චිත්‍රය අඳින රාජකාරිය පැවරිලා. හෙට විවාහ වෙන්න ඉන්න මේ තරුණිය සතුටින් නෙමෙයි කියලා දැනගත්තු ඔහු මේ යුවතියගේ මුහුණ බොහොම දුක්බර විදියට ඇන්දලු. ජෙනෙව්රාගේ මළානික බව පෙන්වන්න ලියනාඩෝ භාවිත කරපු හොඳම උපක්‍රමය මොකක්ද දන්නවද? ඒ තමයි මළානික වෙලා අඳුරු වුණු ඇස්.

ඔන්න ඉතින් ලියනාඩෝ ඇඳපු චිත්‍රයේ ජෙනෙව්රාගේ අඳුරු වුණු ඇස් දැක්ක අර වංශාධිපතියා ජෙනෙව්රා තමන්ට අකමැති බව දැනගත්තලු. හැබැයි ඉතින් ඊටපස්සේ ඒ කතාවට මොකද වුණේ කියලානම් පොත්පත්වල සඳහනක් නෑ.

ඇස් ව‍ටේ කළුවෙලා, මළානික වෙලා ගිහින් නම් ඒ කෙනා දුකින් ඉන්න බවට කෙරෙන අනුමානය අදටත් වලංගු දෙයක්. සමහරවිට ඇස් කතා කරනවා කියන්නේ ඒකට වෙන්න ඇති.

පැන්ඩා කියන්නේ හරි හුරතල් සත්තු ජාතියක්නේ. ඉතින් පැන්ඩගෙත් ඇස් වටේ කළුයිනේ. හැබැයි ඒකෙන් එයාලගේ ලස්සන වැඩි වුණාට අපේ ඇස් වටේ කළු වුණාම මූණේ ලස්සන දෙපිටින් යනවා. අනික ඒක වයසට වඩා වයස්ගත පෙනුමක් උරුම වෙන්නත් හේතුවක්. එතකොට ඉතින් මූණ කොච්චර ලස්සන වුණත් පැහැපත් වුණත් වැඩක් නෑ ඒකෙන් මූණේ තියෙන ලස්සන ඉ​බේටම වියැකිලා යනවා. ‘ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං’ කියලා එතකොට ඉතින් ඔය කවුරුත් කියන එකක් නැහැ. ඒ නිසා අද අපි ඒ ගැන ටිකක් කතා කරමු.

ගොඩක් අය ඇස් ගැන හිතෙන්නෙම නැති තරම්. ඇස්වලට ඔය හැටි වද දෙන්නෙත් ඒකනේ. අපි අවධියෙන් ඉන්න කාලය පුරාම අපේ ඇස් දෙක ක්‍රියාත්මකයි. හරි අපි රැකියාවක් කරන කෙනෙක්ව උදාහරණයට ගමු. ඔන්න මේ හාදයා දවල් තිස්සේම පරිගණක එක්ක වැඩ කරලා කරලා ගෙදර ඇවිල්ලා රෑ මැදියමක් වෙනකල් ෆෝන් එක දිහා නැත්නම් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්න. ඉතින් එතකොට ඇස්වලට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නැහැ. ඇස්වලින් එක දිගටම ඔහොම වැඩ ගන්න ගියාම ඇස් වටා තියෙන රුධිර නාල අවහිර වෙනවා. ඊටපස්සේ ඒ ප්‍රදේශය තෙහෙට්ටු වෙලා මළානික වෙලා අඳුරු වෙන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. පස්සේ කාලෙක පෙනීමේ දුර්වලතා ඇතිවෙන්නත් මෙන්න මේ හේතුව බලපානවා. අනේ ඉතින් ඒ නිසා ඇස්වලට අනුකම්පා කරලා හරි පැය හතක අටක සුව නින්දක් ලබාගන්න බලන්න. එතකොට ඇස්වලට අවශ්‍ය කරන විවේකය ඉබේටම වගේ ලැබෙනවා.

මානසික පීඩනය නිසා ගොඩක් වෙලාවට වන්දි ගෙවන්නේ අපේ ඇඟේම කොටස්. ඉතින් එයින් ප්‍රධානම එකක් තමයි ඇස්. කෙනෙක්ගේ මානසික පීඩනය වැඩිවෙන තරමට ඒ කෙනාගේ නින්ද අවම වෙලා ඇස් වෙහෙසට පත්වෙනවලු. ඊටපස්සේ ඉතින් හෝන්දු මාන්දු වෙලා අවුලෙන් ඉන්න බව මූණෙන්ම පේනවා.ඇස් වටේ කළු වෙන්න බලපාන තව හේතුවක් තමයි ඕන එකටයි එපා එකටයි හැම එකටම ඇස් කසන්න යන එක. ඔහොම අනවශය විදියට ඇස් තෙරපන්න ගියාමත් ඇස් වටේ තියෙන රුධිර වාහිනී බිඳ වැටෙන්න ඉඩ තියෙනවා.

ඊළඟ කාරණාව ඇස්වල ලස්සන වැඩි කරන්න භාවිතා කරන ආ​ලේපන.

නේත්‍ර යුගළේ අලංකාරය වැඩි කරගන්න ලලනාවෝ යම් යම් ආලේපන භාවිතා කළේ අදක ඊයෙක ඉඳලා නෙවේ. සීගිරි ලලනාවන් සීගිරි බිතු සිතුවම්වලට පෙනී සිටියෙත් කුංකුම අංජන කස්තුරි කල්කය ගල්වලා කියලා ඇතැම් පතපොතේ සඳහන්.

කවුරුහරි කෙනෙක් මුහුණ දිහා බැලුවම මුලින්ම කැපිලා පේන්නේ ඇස් දෙක කියලා සමහරු කියනවා. ඔන්න ඒ කතාව ක්ලියෝපැට්‍රාත් විශ්වාස කළාලු. ඒ නිසා ඇය ඇහිපියන් මත ඊයම්, ලෝහ, තඹ වගේ දේවල් ආලේප කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කිඹුල් අස්ථි පුළුස්සලා අයිලයිනර් එකක් විදියටත් ආලේප කළාලු. ඒ කාලේ ඉඳලා ආපු ඒ පුරුදු නිසාද මන්දා ඇස් දෙක ලස්සනට තියාගන්න අපේ ලලනාවන් නොයෙකුත් රූපලාවණ්‍යය ආලේපන භාවිතා කරනවා. ලස්සනට ඉන්න එක කොහොමත් හොඳ දෙයක්. හැැබයි බාල තත්ත්වයේ සහ කල්ඉකුත් වූ අයි මේකප් නිසා ඇස් පියන් සහ ඇස් යට ප්‍රදේශය අවපැහැගැන්වෙන්න බලපානවා.

මේ කිව්ව හේතුවලට අමතරව කාලගුණ තත්ත්වයන්, හෝර්මෝන ගැටලු, යම් යම් ආසාත්මිකතා සහ ශරීර අභ්‍යන්තර ලෙඩ රෝග නිසාත් ඇස් වටේ කළු වෙන්න ඉඩ තිබෙනවා.

ඇස් වටේ කළුවෙන එකට දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකර හිටියොත් ඒ ප්‍රදේශයේ පිග්මන්ටේෂන් ඇතිවෙන්න පුළුවන්. මෙන්න මේවා ආවොත් නම් ඉවත් කරන එක ලේසි නෑ. ආසියානු සහ අප්‍රිකානු අයගේ ජානමය තත්ත්වයන්ට අනුව මේ අයි පිග්මන්ටේෂන් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එකත් මතක තියාගන්න.

නෙත් යුවළ ආකර්ශනීයව දීප්තිමත්ව තියාගන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි මෙතැන ඉඳලා බලමු. මුල්ම දේ ඇස්වලට විවේකය ලබාදෙන එක. ඒක අපි ඉහතින් කතා කළානේ. ඒ වගේම ඇස්වල මාංශපේශි ලිහිල් වෙන ව්‍යායාම කරන එකත් බොහොම හොඳ දෙයක්. ඒ වගේම පෝෂණීය ආහාරපාන ගැනත් සැලකිලිමත් වෙන්න.

සම රැකගන්න විවිධ ආලේපන ගල්වනවා වගේම ඇස් වටා ප්‍රදේශයටත් ප්‍රමිතියෙන් යුතු මොයිස්චරයිසර් එකක් ගල්වන්න ඕනේ. ගොඩක් අය කරන්නේ මුහුණට ගල්වන ආලේපනයම ඇස් වටේත් ගාන එකයි. අන්න ඒකත් වැරදියි.

චර්ම රෝග වෛද්‍යවරු මෙන්න මේක පැහැදිලි කරන්න අපූරු උදාහරණයක් පෙන්වලා දෙනවා. අපේ ඇස් වටා සම හරියට සේද වගේලු. එතකොට මුහුණේ සම කපු, ශරීරයේ සම ඩෙනිම්. ඉතින් කපුවලටයි, ඩෙනිම්වලටයි දාන සේදුම්කාරක සේදවලට ගැළපෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි ඇස්වලට ආලේප කරන්න ඒ වෙනුවෙන්ම වෙන්වුණු ආලේපන තෝරගන්න එක වැදගත්. විටමින් C, Kojic Acid, Arbutin, විටමින් E වගේ සංයෝග තියෙන ඇස් ආලේපන තෝරගන්නත් අමතක කරන්න එපා.

ඊළඟට ඇස්වලට හිරු කිරණින් වෙන හානිය අවම කරගන්න අව් කණ්ණාඩි, හිස් ආවරණ වගේ දේවල් පළඳින එකත් වැදගත්.

ඉස්සර අ​පේ රටේ හිටිය කාන්තාවන්ගේ ඇස් දිස්නේ ගස්සන්න අංජන නැත්නම් අඳුන් භාවිතා කළාලු. දේශීය ඔසුවලින් හදපු මේ අංජන දැනටත් සමහර ආයුර්වේද වෙළඳසැල්වලින් මිලදී ගන්න පුළුවන්.

එළකිරි, කොකුම් පොතු, කස්තුරි කහ, ජලය මේ සියල්ලම එකට මිශ්‍ර කරලා ඇස් වටේ සියුම්වට ආලේප කරලා විනාඩි 5කින් විතර සෝදලා හරින්න.

ඇස් දෙක මළානික වෙලා නම් කොට්න් පෑඩ් එකක් අයිස් වතුරෙන් පොඟවලා විනාඩි දහයක් විතර ඇස්වල තියාගෙන ඉන්න. ඒකෙන් ඇස්වල මළානික බව අඩු වෙනවලු.

සිහින්ව කපාගත්තු පිපිඤ්ඤා පෙති දෙකක් තරමක් ශීත කරලා විනාඩි 15ක් විතර ඇස්වල තියාගෙන ඉන්න එකත් ඇස්වලට හොඳ සත්කාරයක්.

ඒ වගේම ග්‍රීන් ටී බෑග් දෙකක් වුණත් මේ විදියට ඇස්වල තියාගෙන ඉන්න පුළුවන්.

අල සහ තක්කාලිවලත් ඇස්වලට ගුණ දෙන විටමින තියෙනවා. ඉතින් ඒවත් තරමක් සීතල කරලා ඇස්වල තියාගෙන හිටියට කමක් නැහැ.

පිරිසුදු පොල්තෙල් බිංදු හතරකට ආමන්ඩ් තෙල් මිශ්‍ර කරලා ඇස් වටේ ආලේප කරලා විනාඩි දහයක් විතර සියුම්ව සම්බාහනය කරන්න.

දැනටමත් පිග්මන්ටේෂන් ඇතිවෙච්ච කෙනෙක් නම් රෙටිනොල් අඩංගු අයි ක්‍රීම් එකක් භාවිතා කරන්න පුළුවන්. මාස තුනකට පස්සෙ ඒ අලේපනය නතර කරලා නැවත හයලුරොනික් අඩංගු ආලේපන භාවිතා කරන්න. මේකෙන් අයි පිග්මන්ටේෂන් තත්ත්වය තරමක් දුරට හෝ අවම කරන්න පුළුවන්. මේ හැමදෙයක්ම බාහිර ආලේපන විදියට විතරයි ඇස් ඇතුළට නම් ගාන්න යන්න එපා කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ.

ඉතින් මේ දේවල්වලිනුත් ඇස් වටේ තියෙන අවපැහැගැන්වීම් ඉවත් වෙන්නේ නැත්නම් ශරීරයේ අභ්‍යන්තර රෝග ගැන සැළකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි