විශේෂාංග

‘මට සර් කියලා කතා කරන්න’ රජයේ නිලධාරියෙක් දැන්වීමක් ගහලා

ඉන්දිකා ප්‍රනාන්දු

මනෝ උපදේශිකා

සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී

———-

ඉස්සර අපේ ජනසමාජේ කුල භේදය කියන එක බොහොම දරුණුවට ඉස්මතුවෙලා තිබුණා. අඩු කුලවල මිනිස්සු මූණට මුනිච්චි වෙනවටවත් රදලයෝ කැමති වෙලා නෑ. ඒ වගේ උදවිය ඉස්සරහට එද්දි අඩු කුලේ මිනිස්සු කාණුවකට බැහැලා ඉඩ දෙන්න ඕනා. රජතුමා ඉස්සරහදි විතරක් නෙමේ රදලයෝ ඉස්සරහට ගිහිල්ලත් “බලුගැත්තාට අවසරයි” කියලා කොන්ද පහත් කරන්න ඕනේ. ඒ කාලේ ගෙවල්වල සුදු පිරියම් කරන්න වුණත් අවසර තිබ්බේ කුලෙන් උසස් නම් විතරයි කියලා රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ පොතේ ලියලා තියෙනවා. රදල මිනිස්සු ඉස්සරහා තමන් ඒ අයගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑයි කියලා අර අඩු කුලේ කියන මිනිස්සුත් පිළිගත්තු එකනේ වැඩේ.

තමන් පහත් කියලා තමන්ම හිතාගෙන ජීවත්වෙන එකට කියන්නේ හීනමානය කියලා. ඉස්සර ඉඳලම අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුවල හීනමානේ පැළකළ නිසාදෝ අදටත් අපේ රටේ හීනමානෙන් ජීවත්වෙන මිනිස්සු වැඩියි. තමන්ගේ බඩට නොකා ඉඳලා හරි තමන්ගේ පක්ෂේ නායකයාව දිනවන එක උසස් වැඩක් කියලා හිතන මිනිස්සු හැදෙන්නෙත් හීනමානය නිසාම තමයි. සමාජ ගැටලු රාශියකටම මූලබීජ වෙන හීනමානය ගැන අපි කතා කරන්නම ඕනේ.

අවුරුදු ගාණකට කලින් මගේ ළඟම මිතුරෙක්ට වුණු සිදුවීමකින් මාතෘකාවට අවතීර්ණ වෙන්නම්. හැඳින්වීමේ පහසුව සඳහා මම ඔහුට කසුන් කියන්නම්. කසුන් යමක්කමක් ඇති පවුලක බාලයා. අධ්‍යාපනයෙන් පස්සේ ඔහු කලාවට යොමුවුණා.

කසුන් විවාහ කරගත්තේ ඔහුට වඩා අවුරුදු පහක් විතර වැඩිමහල් කාන්තාවක්. මේ කාන්තාවගේ පවුලට කසුන්ලට තරම් වත්කම් තිබුණේ නැහැ. එහෙමයි කියලා කසුන්ගේ පවුලේ උදවිය විවාහයට අකමැති වුණේ එහෙම නැහැ. තව කාරණාවක්, කසුන් බොහොම  පැහැපත් කඩවසම් තරුණයෙක්. ඔහුගේ බිරිඳ ටිකක් පැහැයෙන් අඩුයි. හැබැයි ඇයත් දැකුම්කළු සුන්දර කාන්තාවක්.

විවාහ වෙලා ටික දවසකින් කසුන්ගේ කලා කටයුතු සාර්ථක වෙන්න ගත්තා. ඒත් එක්කම ඔහු තරමක් ප්‍රසිද්ධ  වුණා. ප්‍රශ්නේ පටන්ගත්තේ එතැනින්.

සැමියා තමන්ට වඩා ලස්සනයි, ප්‍රසිද්ධයි, වයසෙනුත් අඩු නිසා වෙන සම්බන්දයක් ඇති කරගනී කියලා හිතපු බිරිඳ ඔහුව නිතරම සැක කරන්න ගත්තා. කල් යන්න යන්න සැක කිරිල්ල නිසා මේ ගෙදර ප්‍රශ්න වැඩිවුණා. ඊටපස්සේ මේ බිරිඳ කසුන්ගේ චරිතය හොඳ නැහැ ඇයට සලකන්නේ නැහැ කියලා හැමෝටම කියන්න පටන්ගත්තා. මේ ප්‍රශ්න නිසා මගේ මිතුරා ඔහුගේ වෘත්තීය පවා නතර කළා. එහෙමයි කියලා ප්‍රශ්නේ ඉවර වුණේ නැහැ. එයින් කාලෙකට පස්සේ මේ කාන්තාව සැමියගේ අනියම් සම්බන්ධ නිසා සියදිවි නසාගන්නවා කියලා ලිපියකුත් ලියලා සියදිවි නසාගෙන තිබුණා.

ඒ වෙනකොට ඔවුන්ට දරු දෙදෙනෙක් පවා හිටියා. බිරිඳගේ වියෝව එක්ක කසුන් මානසිකව වැටුණා. දැන් ඔහු දරු දෙන්නා එක්ක විදේශ රටක ජීවත්වෙනවා.

සැමියගේ/බිරිඳගේ පෙනුම නැත්තම් තත්ත්වේ තරාතිරම ලොකුයි කියලා තමන් ගැන හීනමානයක් ඇති කරගෙන  පවුල් ප්‍රශ්න ඇතිකරගන්න පිරිස අනන්තයි. ඒ විතරක් නෙමෙයි සමාජ ප්‍රශ්න බහුතරයකට මිනිස්සු ඔළුව ඇතුළේ හදාගන්න මෙන්න මේ හීනමානය හේතු වෙනවා.

අනිත් අයට සාපේක්ෂව තමන් පහත් කියලා හිතන එකටයි හීනමානය කියන්නේ. ඒක රූපයෙන්, ආර්ථිකෙන් නැත්තම් දැනුමෙන්, උගත්කමෙන් ඔය ඕන එකකින් වෙන්න පුළුවන්. හැම මනුස්සයෙක්ගෙම හිතේ යම්කිසි හීනමානයක් තියෙනවා. හීනමානය මානසික ව්‍යාධියක් දක්වා දුර යන අවස්ථාත් තියෙනවා. බුදුන් වහන්සේ පවා මේ හීනමානය ගැන නිතර දේශනා කර තියෙනවා.

“සෙය්‍යස්ස හීනෝ හමස්මීනි මානෝ” අනිත් පුද්ගලයන් අතර තමා පහත්කොට සැලකීම හීනමානය කියලයි උන්වහන්සේ දේශනා කළේ.

කෙනෙක්ගේ හිතේ මුලින්ම හීනමානය ඇති කරන්නේ ඔහුගේ පවුලේ අය කිව්වොත් හරි. බහුතරයක් දෙමාපිය වැඩිහිටියන් දරුවන්ව ඒ පවුලෙම දරුවන් එක්ක නැත්තම් වටපිටාවේ දරුවෝ එක්ක සංසන්දය කරන්න යනවා.

“ඔයා කළුයි, ඔයාට වඩා අක්කා ලස්සනයි, එහා ගෙදර ළමයා ඉගෙනගන්න දක්ෂයි. ඔයාට තමයි බැරි.” පුංචි දරුවන්ට මෝඩයි, කැතයි, ඔයාට බැහැ වගේ වචන කිව්වහම එයාලා ඒ දේවල් ඇත්ත කියලා හිතන්න ගන්නවා. ඒ ඇතිවෙන හීනමානය වයසත් එක්කම පිළිලයක් වගේ දලු දානවා.

මේ කෙනා සමාජයට ගියගම එතැනිනුත් ඔලුව කුරුවල් වෙනවා. ටිකක් කොට පිරිමි ළමයෙක්ව උදාහරණෙට ගන්නකෝ. කොල්ලෙක් වුණාම උසට මහතට ඉන්න ඕන කියලා සමාජ මතයක් තියෙනවානේ. එතකොට අර උස අඩු පිරිමි ළමයට සමාජය කොටා, මිට්ටා වගේ වචන කියන්න ගන්නවා. ඒකෙන් අර පුද්ගලයා තුළ තිබ්බ හීනමානය වැඩි වෙනවා. පැහැයෙන් අඩු අයට මහත අයට වුණත් වෙන්නේ මේ දේම තමයි.

මේ වගේ වුණාම ඒ කෙනාට සමාජය ගැන අනාරක්ෂිතබවක් දැනෙනවා. මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න බලනවා.

තමන්ව අනිත් අයත් සංසන්දය කර කර හිතින් විඳවනවා. සමහරු මුළු ගැහෙනවා. තමන් යමකට නුසුදුසුයි කියලා හිතනවා. විශාදය, සමාජ භීතිකාව, කාංසාව වගේ මානසික ලෙඩ හැදෙනවා. සමහරුන්ට පෞරුෂ වෙනස්කම් ඇතිවෙනවා. හීනමානයේ මේ අන්තයට යන අයව බොහොම පහසුවෙන් අනිත් අයගේ අතකොළු කරගන්න පුළුවන්.

තමන් සත පහකට නොවටිනා බව හිතලා සමාජෙන් පළිගන්න බලන කොටසකුත් ඉන්නවා. තමන්ට නුසුදුසුයි කියලා හිතෙන දේවල් බලෙන් ගන්න හදනවා. මතකද එක පාරක් ආණ්ඩුවේ ආයතනයක සභාපති කෙනෙක් තමන්ට “සර්” කියන්න කියලා දැන්වීමක් අලවලා තිබ්බා. ඒ තනතුරට සුදුසු නැහැයි කියලා හිතාගෙන අනිත් අය සර් නොකියයි කියන හීනමානය නිසා තමයි ඔහු ඒ දේ කළේ.

තමන්ට යමක් සුදුසු නැහැයි කියලා හිතද්දි වැරදි පාරවලින් ඒ තැන්වලට යන්න හදන එකත් හීනමානයක්. ඔෆිස් එකේ යම් තනතුරකට හරි මාර්ගෙන් ගන්න ගියොත් තමන්ට කවදාවත් ඒ තැනට යන්න බැහැ කියලා හිතන කෙනෙක් ගැන හිතන්නකෝ. එතකොට එයා වැරදි පාරකින් හරි ඒ තැනට යන්න හදනවා.

ඒ විතරක් නෙමෙයි හීනමානය තියෙන සමහරු තුළ ආක්‍රමණශීලී හැසිරීම් වගේම අධික තරඟකාරීබවකුත් තියෙන්න පුළුවන්. ඒ සමහරු අනුන්ව කපාගෙන හරි උඩට යන්න බලනවා.

අනික මේ අය නිතරම අයහපත් දේ ගැනම උපකල්පනය කරනවා. “මම කළු නිසා මට පිරිමි ළමයෙක් හොයාගන්න බැරිවෙයි, මම විභාග​ය ෆේල් නිසා මගේ අනාගතේම විනාශ වෙයි.” මේ වගේ සිතුවිලි සියදිවිනසාගැනීමක් දක්වා දුර යන්නත් පුළුවන්. මොකද හීනමානය තියෙන සමහරු විවේචනවලට බොහොම සංවේදියි.

හීනමානයක් නැති මනුස්සයෙක් හදන්නේ කොහොමද කියන එකයි වැදගත්ම කාරණාව. ඒක මුළු සමාජයටම පැවරෙන වගකීමක්.

මුලින්ම අපි රුවෙන්, ආර්ථිකයෙන්, ජාතියෙන්, ආගමෙන්, කුලෙන් මිනිස්සු මනින එක නතර කරන්න ඕනේ. සමානාත්මතාවය තියෙන සමාජයක හීනමානය පිරුණු මිනිස්සු අඩුයි.

ඊළඟට දෙමාපියන් දරුවන් එක්ක කතා කරද්දී වචන ගැන පරිස්සම් වෙන්න. O/L, A/L ෆේල් වුණාය කියලා මිනිස්සුන්ගේ දක්ෂතා නැති​වෙන්නේ නැහැ. හැම මනුස්සයෙක්ටම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙනවා. ඒ පැත්ත හොයාගෙන එතැනින් ඉස්සරහට යන එකයි කරන්න ඕනේ. ඒ නිසා මෝඩයා, විභාග ෆේල් වුණා මූණේ දැලි ගෑවා කියලා ඩෙගා නටන්න ලෑස්ති වෙන්න එපා.

නිතරම තමන් පහත් කියලා හිතෙන කෙනෙක්ටයි ඊගාවට මම කතා කරන්නේ. මේ ලෝකේ උස් මිනිස්සු පහත් මිනිස්සු කියලා මිනිස්සු ජාති නැහැ. හැමෝම ඇට, ලේ, මස්වලින් හැදුනු මිනිස්සු. හැමෝටම වටිනාකමක් තියෙනවා. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අඳුනගෙන තමන්ට ආදරේ කරන්න. ඒ වගේම විෂ සහිත මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ඔයා කැතයි, ඔයාට සල්ලි නෑ වගේ කතා කියන ඍණාත්මක මිනිස්සුන්ගෙන් අයින් වෙලා ධනාත්මක දේ කතා කරන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න.

තමන් ගැන විශ්වාසයක් ඇති කරගන්න. විභාගයක් ෆේල් වුණත් වෙනත් කුසලතාවලින් උඩට යන්න. මහත කෙනෙක් නම් කෑම එහෙම ටිකක් පාලනය කරලා ඇඟ හදාගන්න.

අඩුපාඩුත් එක්ක ඉපදිලා සාර්ථකත්වය ළඟා කරගත්තු මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. එහෙම මිනිස්සුන්ගේ කතා කියවලා තමන් ගැනත් ආත්මවිශ්වාසයක් ඇති කරගන්න.

 

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි