ප්‍රීතිමත් ජීවිතයකට

සල්ලි හොයන්න දන්නේ නෑ ඒත් ආදරේ බෙදන්න මං දන්නවා

ජීවිතේ සතුට හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වුණාට කිසිම මහන්සියක් නැතුව දුක අපිව හොයාගෙන එන වෙලාවල් තියෙනවා. හැබැයි ඒවාට මුහුණදෙන්නත් අපි ශක්තිමත් වෙලා ඉන්න එක වටිනවා.

සමහරවෙලාවට මානසිකව කඩාගෙන වැටෙන සිදුවීමක් වුණාම අපේ ජීවිතේ එතැනින් ඉවරයි, ආපහු ජීවිතයක් නෑ වගේ හැඟීමක් අපිට දැනෙන්න ගන්නවා. හරියටම කිව්වොත් ජීවිතේ එකතැන නතර වෙලා වගේ. ඒත් ඇත්තටම එහෙම නතරවීමක් වෙන්නේ නෑ. ජීවිතේ පුරුදු විදියටම ගලාගෙන යනවා. මොකක් හෝ අනපේක්ෂිත දෙයක් වුණාම ඒ මත්තේ නැහි නැහි නතර වෙන්නේ අපි මිසක් ජීවිතේ නෙවෙයි. හැබැයි ඒ වෙලාවට ‘මේක හරි කරුමයක්’ කියලා අපි චෝදනා කරන්නේ මේ ජීවිතයට. මාව කඩාගෙන වැටුණ තැන්වල මාත් එහෙම කළා. එකතැන පල්වෙවී ජීවිතේට දෝෂාරෝපණය කළා. පස්සේ තේරුම්ගත්‍තා නතර වෙලා ඉන්නේ මම විතරක් බව. ජීවිතේ ගලාගෙන යනවා. ඒකත් එක්ක මාත් ඉස්සරහට නොගියොත් මට පැවැත්මක් නෑ කියලා මම තේරුම්ගත්තා.

අපි හැමෝටම නොහිතන දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. සමහර අයගේ පවුල් දෙකඩ වෙනවා, කසාද බඳින්න ඔන්න මෙන්න තියෙද්දි කසාද නොකෙරෙන තැනට හේතු යෙදෙනවා, දරුවෝ බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ පිළිසිඳගන්න කුළුදුල් දරුවා නැතිවෙනවා, නොහිතන විදියට අම්මා තාත්තා නැතිවුණාම ඒවා දරාගන්න බැරිව මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා.

මටත් එහෙම වුණා… මගේ තාත්තා නැතිවුණාම මට දැනුණේ මගේ මුළු ලෝකෙම නැතිවුණා වගේ. මට හිත හදාගන්න අමාරුවුණා. මිනිස්සු ඉපදෙනවා මැරෙනවා කියන දේ විශ්වාස කරන්න බැරිතරමට මං ඇඬුවා. මට හැමවෙලේම හිතුණා තාත්තාට තව ඉන්න තිබුණා කියලා. පිය සෙනෙහස ගැන ලියැවුණු කවියක් ගීයක් දැක්කත් මගේ ඇස්වල ඉබේම කදුළු පිරුණා. කසාද බැඳලා දරුවෝ හදලා හිටියත් ඒ වෙද්දි මට දැනුණේ මගේ ලෝකෙම නැති වුණා වගේ. ඒ පීඩනය එක්ක මං දහම් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා. මගේ ජීවිතේ ඇතුළේ පසුතැවෙන ප්‍රශ්න ඇතිකරගෙන මට මාව එපාවෙන තැනටම පත්වුණා.

තාත්තා ආස ඔයා අඬනවට නෙවෙයි සතුටෙන් ඉන්නවාට, එතකොටයි එයාට පිං ලැබෙන්නේ.” දවසක් දහම් මට එහෙම කිව්වා.

ඊටපස්සෙයි මම ටික ටික හිත හදාගත්තේ. හොඳ විදියට ජීවිතේ දකින්න ඕනේ කියන දේ තේරුම්ගත්තේ. ඉතින් මම ජීවිතේ අලුතෙන් පටන්ගත්තා. මගේ වැරදි අඩුපාඩු හදාගන්න ගමන් ජීවිතේට පොඩ්ඩ පොඩ්ඩ සතුට එකතු කරගත්තා. වැරදි අඩුපාඩු හදාගෙන මාව ගොඩ නගාගත්ත විදිය ගැන සමජමාධ්‍යවල ලිව්වා. මං ලිව්වේ සල්ලි හම්බකරන විදියවත්, කෝටිපතිනියක් වෙන්නේ කොහොමද කියලාවත් නෙවෙයි. මං ලිව්වේ හොඳ ගැහැනියක් වෙන විදිය. අඩුපාඩු හදාගෙන මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරන විදිය. අදටත් මං ඒ ගැන ලියනවා. මේ පුවත්පතට වගේම මගේ මුහුණුපොතේත් ලියනවා. ඒ දේවල් කියවලා තමන්ගේ ජීවිත එක්ක ගලපගෙන සතුටින් ඉන්න අය වයස් භේදයක් නැතුව මට කතා කරනවා, ස්තූතිවන්ත වෙනවා. ඉතින් ඒ දේවල් මගේ හිත සතුටෙන් සැනසීමෙන් පුරවනවා.

තාත්තා නැතිවුණ එකට තවමත් අඬ අඬ හිටියානම් හෂිණී මනමේන්ද්‍ර කියලා කෙනෙක් ඔයලා නොදැන ඉන්නත් ඉඩ තිබුණා. තාත්තාගේ වියෝව සහ එයින් පස්සේ ජීවිතේ වුණ සිද්ධීන් හින්දා උපරිමව මානසිකව වැටුණත් අද මං මාව ගොඩනගාගෙන තියෙනවා ශක්තිමත් සහ සතුටින් ඉන්න ගැහැනියක් විදියට. ඒ වෙනුවෙන් මාව දිරිමත් කරපු අය අතරේ උඩින්ම හිටියේ දහම්.

මට ඕන වුණේ මගේ හිතට එකඟව හොඳ ගැහැනියක් වෙන්න විතරයි. ලෝකේ ඉන්න හොඳම අම්මා නොවුණත් මගේ දරුවන්ට හොඳම අම්මා වෙන්න, මගේ සංසාරික ගමන් සගයාගේ ආදරණීය සහකාරිය වෙන්න. සුන්දර ගැහැනියක් වෙලා තව ගැහැනියකට ගැහැනුකම එපා නොවෙන විදියට ආදර්ශයක් වෙන්න. සල්ලි හොයන්න මං දන්නේ නෑ. ඒත් මං දන්නවා ආදරේ බෙදන්න.

මානසිකව කඩාගෙන වැටෙන කිසිම වෙලාවක ජීවිතේ එතැනින් ඉවරයි කියලා හිතන්න එපා. එහෙම කඩාගෙන වැටුණාම අපි වැරදිවලට යොමුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා එහෙම වෙලාවට ඔයාට වැඩියෙන්ම ලෙන්ගතු කෙනාට කතා කරලා හිත නිදහස් කරගන්න. නැත්තම් මනෝ උපදේශිකාවකගෙන් සහාය ලබාගන්න. ටික ටික හෙමීට ඔළුව උස්සගන්න. ඔයා ආසම දේ මුලින් කරන්න. ඒකෙන් සතුට හොයාගන්න. එතකොට ඔයාට කාටවත් හිරිහැරයක් නැති කරදරයක් නැති සුන්දර මාර්ග පෙනේවි. ඒ මාර්ගවල බය නැතුව යන්න. ඔයාගේ දක්ෂකම් ඔයාටම හොයාගන්න පුළුවන්. එතකොට ඔයාට දැනෙයි ජීවිතේ මග නතර වෙලා නෑ, ඔයයි නතර වෙලා හිටියේ කියලා. ඒ යන ගමනෙදි වචනෙකින්වත් කාටවත් වැරැද්දක් නොකර ඉන්නත් වගබලා ගන්න. ඔයාව විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවි.

ඔයා ඉරක් වෙන්න. මං එහෙම කිව්වේ ඇයි දන්නවද? මේ ලෝකේ මොන විපර්යාසය වුණත් ඉර පායනවා. ඒ නිසා මොන දේ වුණත් ඔයත් ඉරක් වගේ පායන්න.

මානසිකව කඩාගෙන වැටෙන දේවල් වෙන්නේ අපි කොව්චර ශක්තිමත්ද කියලා තේරුම්ගන්න මිසක් එතැන තැවිලා අපිව නැති කරගන්න නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් ශක්තිමත් වෙන්න. සමහර වෙලාවට අපිට තියන එකම තෝරාගැනීමත් ඒක විතරයි. ඉතින් ශක්තිමත් වෙන්න. ආයේ ඔයා දිහා හැරිලා බලද්දි ඔයා ගැන සතුටු හිතෙන විදියට ඔයාව ගොඩනගාන්න.

මේ අලුත් අවුරුද්ද ඒ වෙනුවෙන් හොඳ ආරම්භයක් කරගන්න කියලත් මම යෝජනා කරනවා. ඉතින්, ඔබ සියලුදෙනාටම ආදරය, සතුට ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

හෂීණි මනමේන්ද්‍ර