ප්‍රීතිමත් ජීවිතයකට

පිරිමින්ට බැරිද හුරතල් වෙන්න?

ආදරේ විඳින්න, ආදරේ කරන කෙනා ළඟ ටිකක් හුරතල් වෙන්න ආස ගෑනු අය විතරයි කියලා හිතුවට පිරිමි අයත් ඒකට ඒ වගේම ආසයි. තමන් ආදරේ කරන කෙනා ළඟදි පිරිමියෙක් පොඩි දරුවෙක් වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා නම් ඒ ආදර කතාව ගොඩක් ලස්සනයි. ආදරේ කරද්දි අපේ හිත් රිදෙනවා වගේම පිරිමි අයගෙත් හිත් රිදෙනවා. සමහර විට ඒ අපි නොහිතන පුංචි දේවල්වලට වෙන්න පුළුවන්. අපි ගණන් නොගෙන මගහරින දේකට වෙන්නත් පුළුවන්. ඉතින් මං මේ අද ලියන්නේ මගේ ජීවිතේ වුණ එහෙම සිද්ධියක්.

මේ මාසේ දෙවැනි සුමානේ දවසක දහම්ට වැඩ වගේකට දුර පළාතකට යන්න වුණා. එයා එහෙම ගියාම දරුවෝ නිදාගත්තාට පස්සේ එයාට කෝල් එකක් ගන්න එක හරි කෙටිපණිවිඩ හුවමාරු කරගන්න එක හරි පුරුද්දක් වෙලා. ඉතින් මේ සැරේ දහම් ගියාට පස්සෙ දවස් කීපයක්ම ඒ වැඩේ කරන්න බැරිවුණා. මොකද මටත් කලින්ම නින්ද ගිහින්. ඒකට එයාගේ හිත රිදිලා මාත් එක්ක ටිකක් නෝක්කාඩුවෙන් හිටියේ.

දහම් රෑ මට කෝල් කරලා ඇහැරවලා කතා නොකරම කෝල් එක කට් කළා. බලද්දී Phone එකේ මැසේජ් වගයක් තිබුණා. ඒවා කියවද්දී තේරුණේ පොඩ්ඩක් විතර තරහා ගිහින් කියලා. තරහා ගිහිල්ලාටත් වඩා දුක හිතිලා කියලා. මහන්සියට නින්ද ගියා කිව්වාම නෝක්කාඩුවට පොඩි පොඩි වචන ටිකකුත් කීවා. මං මොකුත්ම කීවේ නෑ. ඉස්සර නම් හැරෙන තැපෑලෙන් මගෙනුත් හොඳ හොඳ ඒවා කියවෙනවා. ඒත් මං දැන් එහෙම නෑ. එක්කෙනෙක් ඇවිලෙද්දී එක්කෙනෙක් නිවෙන්න ඕනේ. ඒ ඉවසීම පවුල් ජීවිතේට ගොඩක් වටිනවා.

එයා නොක්කාඩුවෙන්ම එවන පණිවිඩවලට ආදරෙන්ම පිළිතුරු පණිවිඩ යවලා, පැටව් තුන්දෙනාම ඉස්කෝලේ යන නිසා හෙට උදෙන්ම නැගිටින්න ඕනනේ කියලා මං නිදාගත්තා.

පහුවදා උදෙත් ඇහැරලා සුපුරුදු විදියටම එයාට කෝල් එකක් අරගෙන කතා කරලාම මගේ උදේ වැඩ පටන් ගත්තේ. උදේ ඉඳන් එක එක මැසේජ් එවනවා. මට ඇඳුම් වගයක් අරන් ඒවාගේ පින්තූරත් එවනවා. හැමදාම අහලා එවන මැසේජ්වලට අමතරව වෙනදා අහන්නේ නැති ඒවාත් අහනවා. මට තේරෙනවා කලින් දවසෙ එයාගේ හිත රිදිලා කියපුවට මට දුක ඇති කියලා හිතිලයි මේ විදියට හැසිරෙන්නේ කියලා. ඔන්න ඉතින් Sorry කියලත් එවනවා.

ඇත්තටම මං හරි ආසයි දහම්ගේ ඒ ගතිගුණේට. සම්බන්ධෙකදී තමන්ගේ අතින් හිත රිදුණා කියලා තේරුම් අරන් සමාවෙන්න කියන එක ගොඩක් පිරිමි කරන්නේ නෑ. ඒක එයාලට මදිපුංචිකමක් වගේ. මං එහෙම කියන්නේ මගෙම අත්දැකීමෙන්. මගේ ජීවිතේ එහෙම පිරිමි හම්බවෙලා තියන නිසා. එයාලගේ වැරැද්දකට මගේ හිත රිදුණාම ඒ වැරැද්ද මගේ වැරැද්දක් කරලා මාව හිතින් තව වට්ටලා මං ලව්වා සමාව අරන් තියන පිරිමි හම්බවෙලා තියනවා. ඒ නිසාමද මන්දා මට දහම්ගේ මේ ගතිගුණේ හරි සුවිශේෂීව දැනෙනවා.

ඉස්සර මේ වගේ දෙයක් වුණාම පහුවදාට මං කතා කරන්නේ නෑ. පොඩ්ඩක් ගණන් උස්සලා ඉන්නේ. ඔව්, නෑ, බෑ, හා, පුළුවන් වගේ කෙටි උත්තර තමයි මැසේජ්වලින් යවන්නෙත්. ඕනම කෝල් එකකට වචනෙන් දෙකෙන් උත්තර දීලා ‘බුදුසරණයි’වත් නොකියා මං කට් කරනවා. ඒත් ඒවා මහා මෝඩ වැඩ කියලා පස්සේ පස්සේ මට ​තේරුණා. අපි දෙන්නාගේ මේ ජීවිතේ පුංචි වචන හුවමාරුවලට මොන පලිගැනීම්ද? ‘එයා එහෙමනම් කරන්නේ මං මෙහෙම කරනවා’ වගේ සිතිවිලි අපිව අපෙන් ඈත් කරගන්න මහා වැඩකට නැති දේවල් කියලා මං පස්සේ තේරුම්ගත්තා.

ඇත්තටම එදා දහම් මට ‘සොරි’ කියන්න ඕන නෑ. ගෙදරින් ඈත්වෙලා ඉන්න පුංචි දවස් ගාණට එයා එයාගේ වැඩ ඉවර කරලා හෝටලේට ඇවිත් නාගෙන දරුවෝ එක්ක කතා කරලා, මගෙත් එක්කත් කතා කරලා දරුවෝ නිදියගත්තාම ආපහු පොඩ්ඩක් මං එක්ක නිදහසේ කතා කරන්නයි එයාට ඕන. මටත් නින්ද ගියපු එකට එයාට හිත රිදිලයි පොඩ්ඩක් නෝක්කඩුවෙන් හිටියේ.

මහන්සිවෙලා ආවාම අපිත් ළඟ නැති නිසා ආපහු එනකම් ඒ පාලුව මකාගන්න මටනේ කතා කරන්නේ. ඉතින් මගෙනුත් වුණේ වැරැද්දක් කියලා මට තේරුණා. ගෙදර වැඩ එක්ක මට ඒක හිතුණේ නෑ. මට එයාගේ ආදරේ ඕනේ වගේම මගේ ආදරෙත් එයාට ඕන කියලා මට ​තේරුණා. විශේෂයෙන් පවුලෙන් ඈත්වෙලා රාජකාරී වැඩවලට තනියෙන් ගිහින් ඉන්න වෙලාවට ආදරේ, අවධානය වැඩියෙන්ම දෙන්න ඕනේ කියලා මට තේරුණා. මාත් ඉතින් සොරි කිව්වා.

වයසට වඩා ජීවිතේ ගැන දැනුම් තේරුම් ඇති දහම් මං ළඟදී වෙලාවකට පුංචි දරුවෙක් වගේ. ආදර බැඳීමකදී පිරිමියා දරුවෙක් වගේ වෙලා ගැහැනියක් ළඟ හුරතල් වෙනවා නම් එතැන තියෙන්නේ ලස්සන ආදර කතාවක්. මේ වගේ පුංචි පුංචි දේවල් සමහර විට ලොකු දේවල් වෙලා නැති ප්‍රශ්න ඇතිවෙලා පවුල් අවුල් වෙලා යනවා.

අපි නොහිතන අපේම පුංචි අතපසුවීමක් අපේ අනික් පාර්ශවයට ගොඩක් හිත රිද්දන ලොකු දෙයක් වෙන්න පුළුවන්. එවලෙට කැත්තට පොල්ල වගේ නොයිඳ, තමන් හැමවෙලේම හරි කියන තැන නොයිඳ, තමන්ට වගේම අනිත් කෙනාටත් තියන්නේ හිතක් කියලා තේරුම් ගත්තාම ගොඩක් ප්‍රශ්න ලස්සනට විසඳගන්න පුළුවන්.

පවුල් ජීවිතේ කියන්නේ සුන්දර දෙයක්. ඒක හිතයි ඔලුවයි දෙකම පාවිච්චි කරලා සුන්දර කරගන්න ඕනේ. තමන් ගැනම විතරක් නොහිතා තමන්ට බැඳිලා ඉන්න කෙනා ගැනත් හිතද්දී ඉබේම ජීවිතේ සුන්දර වෙනවා.

හෂීණී මනමේන්ද්‍ර