ප්‍රීතිමත් ජීවිතයකට

දැනෙන්න ආදරේ කළොත් කසාද සහතිකේ අවලංගු වෙනවද ?

හිත්වල ආදරේ පිරිලා තිබුණත් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට දෙන්න බැරි වුණාම  තමයි පවුල් ජීවිත අවුල් වෙන්නේ. ප්‍රශ්න තිබ්බත් ආදරේ තියන තැනක ඒවාට උත්තර හොයාගන්න ලේසියි. අද මං මේ ලියන්නෙත් ඒ වගේ කතාවක්. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් වුණත් ඔබට ජීවිතයට යමක් ඉන් එකතු කරගත හැකියි කියන එකයි මගේ විශ්වාසය.

අද කොච්චර ආදරෙන් හිටියත් මීට අවුරුදු 7 කට උඩදී මගෙයි දහම්ගෙයි අතරේ ආරවුලක් ඇතිවුණා. එහෙම වුණේ මගෙන් සිද්ධ වුණ වැරැද්දක් නිසා. දහම් ගොඩක් කළකිරිලා ඒ වෙලාවෙ මට කිව්වේ “මං මේ ලෝකේ වැඩිපුරම විශ්වාසම කරපු කෙනා ඔයා. මගේ ජීවිතේ උඩින්ම හිටියෙ ඔයා. මගේ හොඳම යාළුවා වුණෙත් ඔයා. ඔයා නිසා මං මාර ආඩම්‍බරේකින් හිටියේ රෝසි. ඒත් දැන් ඒ හැමදේම නැති වුණා…” කියලා.

ඒ වචන ටික අහද්දී මට මං කරපු වැරැද්දත් අමතක වුණා. වැරැද්ද මගේ වුණත් ඇත්තටම මට තරහා ගියා. මං දහම්ට කිව්වා, “මට එහෙම දැනිලා නෑ. ඔයා මං ගැන ආඩම්බරෙන් ඉන්නවා කියලා මට දැනිලා නෑ. ඔයාගේ ජීවිතේ උඩින්ම හිටපු කෙනා මං කියලා මට දැනිලා නෑ. ඔයා මාව විශ්වාස කරා කියලා මට දැනිලා නෑ. ඔයාට එහෙම හිතුණා නම් ඇයි දහම් මට ඒවා දැනෙන්න දුන්නේ නැත්තේ? දැනෙන්න දුන්නා නම් මගෙන් මෙහෙම දෙයක් වෙන්නේ නෑ” කියලා. මං කෑගගහා අඬ අඬ දහම්ට බැන්නා. බොරුවට දැන් එහෙම දේවල් කියනවා කියලත් මං කිව්වා. දැනෙන්න නොදී හිතේ තියාගෙන ඉඳලා දැන් කිව්වාම හරිද කියලාත් ඇහුවා. ඒ වෙලාවේ එයා කිව්ව වචන ටික මට ඒ තරමට දැනුණා.

ඊටපස්සෙත් අපි දෙන්නාගේ ජීවිතේ ගොඩාක් දේවල් වුණා.

මං ගොඩක් මුරණ්ඩු වුණා. මගේ මතයේම හිටියා. හැබැයි දහම් මාව ඉවසුවා. මට ආදරේ විතරක්ම දුන්නා. ඉස්කෝලේ යන කාලේ අපි ආදරේ කළා වගේම. ඉතින් ඒ ආදරේ එක්ක මට ආපහු මගේ ජීවිතේ කැඩුණු, බිඳුණු, රිදුණු තැන් සුවපත් කරගන්න පුළුවන් වුණා .මං හිතින් විඳවපු කාරණා තවදුරටත් හිතේ හිරකරගෙන නොඉඳ එයාට කිව්වා. එයා ඒවාට දෙන්න පුළුවන් හොඳම උත්තර එයාගේ ආදරෙත් එක්ක මට දුන්නා.

පිරිමියෙකුට ජීවිතේ ගැන දැනුම් තේරුම් වැඩිවෙද්දි, පිරිමියෙක් වයසින් පරිණත වෙද්දි සම්බන්ධතා දිහා බලන්නෙත් ඒ විදියට. හැබැයි ගෑනු එහෙම නෑ. ගෑනු වයසින් පරිණත වෙන්න වෙන්න ආදරේ වැඩිපුර හොයනවා. ඒ වගේම බොළඳ වෙනවා. කසාද බැඳලා දරුවො හැදුවට මාත් එහෙම බොලඳ විදියට ආදරේ හොයන ගෑනියෙක් කියලා දහම් තේරුම් ගත්තා. ඒ නිසාමද මන්දා නරකට වුණා කියලා හිතුණ ගොඩක් දේ වුණේ හොඳට කියලා ආපස්ස හැරිලා බලද්දී මට අද හිතෙනවා.

ගෑනු අපි ඕන කෙනෙක් ආසයි අපි ආදරේ කරන පිරිමියාගේ ආදරේ අපිට දැනෙනවට. එහෙම කෙනෙක්ගේ එක බැල්මක් වුණත් ඇති හිත සතුටින් පුරවගන්න. එක වචනෙකුත් ඇති ආදරෙන් හිත නිවාගන්න. ගෑනු ආදරේට හරි ලෝබයි. හැබැයි පිරිමිත් එහෙමයි කියලා හිතන්න වෙලාවකට අපිට අමතක වෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න ඇති වුණාම පිරිමින්ට විතරක් චෝදනා කරනවා.

ඒත් ඒ ප්‍රශ්නෙන් පස්සේ මම තේරුම්ගත්තා තවදුරටත් ආදරේ හිතේ හිරකරගෙන ඉන්න අවශ්‍ය නෑ කියලා. අද මම කියන වචනෙන්, කරන පුංචි දෙයින් පවා මගේ ආදරේ පෙන්නන්න උත්සහ කරනවා. එහෙම කරලා අනිත් පැත්තට මං බලාපොරොත්තු වෙන්නෙ ආදරේම විතරයි. දහම් ඒක තේරුම්ගත්තා.

මට දැනෙනවා, එයත් හැමදේකින්ම මට ආදරේයි කියලා දැනෙන්න දෙනවා කියලා. එයාගේ ජීවිතේ ඉන්න වටිනම කෙනා මං කියලා මට හැමවෙලේම දැනෙන්න දෙනවා. මගේ පැත්තේ ඉන්නවා, මං වෙනුවෙන් ඉන්නවා කියලා මට දැනෙන්න දෙනවා. මගෙන් වුණ වැරැද්ද විහිළුවටවත් මතක් නොකර මාව සතුටින් තියන්න උත්සාහ කරනවා.

මං කියන්නේ නෑ මේ ලොකේ ඉන්න වාසනාවන්තම ගෑනු කෙනා මං කියලා. ඒත් මං මගේ වැරදි දහම්ගේ ආදරෙත් එක්ක නිවැරදි කරගෙන අලුතෙන් ජීවිතේ දිහා බලන්න පටන් ගත්තා. ජීවිතේට ආදරේ ලැබෙද්දී ආදරේ දැනෙද්දී ජීවිතේ බලන් ඉඳිද්දී ලස්සන වෙනවා. මං ඒක අත්දැකීමෙන් වින්දා. අදටත් විඳිනවා.

තමන් ආදරේ පිරිමියාගේ උරහිසේ ඔලුව තියන් ඉන්න එක, හිස පිරිමදින එක, අතින් අල්ලන් පාරේ ඇවිදන් යන එක ඇතුළේ තියන්නෙත් ආදරේ. ඒ නිසා පුංචි පුංචි දේවල්වලින් ආදරේ පෙන්වන්න කසාද සහතිකේ කියන එක බාධාවක් කරගන්න එපා. ප්‍රේමවන්තයින් වෙලා ඉන්න කාලේ තිබුණු ආදරේම විවාහ වුණාමත් විඳින්න පුළුවන්. ඒක හිතේ හිර කරන් අපි බැඳලා කියලා වැටක් ගහන් ඉන්න එපා. ඒකෙන් විනාස වෙන්නේ අපි ආදරෙන් ගොඩනගාගන්න හදන පවුල් ජීවිතේමයි. පුළුවන් හැමවෙලේම ආදරෙයි කියන්න. ඒ ආදරේ දැනෙන්න දෙන්න. පවුල් ජීවිතේ ඇතුළේ ආදරේ රැ‍‍ඳෙන තරමට පවුල් ජීවිතේ ශක්තිමත් වෙනවා.

හෂීණී මනමේන්ද්‍ර