ප්‍රීතිමත් ජීවිතයකට

වද දෙන නෑයොන්ට වඩා වේයො හොඳයි

සමහරවෙලාවට අපේ ළඟම ඉන්න අය අපි නොහිතන වෙලාවල්වල, නොහිතන විදියට අපේ ඔලුව අවුල් කරනවා. හිතාමතාම හෝ නොහිතා කරන එහෙම දේවල් නිසා ඒ වගේ වෙලාවට අපෙත් හිත් පෑරෙනවා වැඩියි. හිත් පෑරිලා, ඔලුව අවුල් වුණාම මුලින්ම වෙන්නේ අපේ පවුලේ සතුට නැතිවෙලා යන එක. ඒ නිසා ඒ වෙලාවට හදවතින් තීරණ අරගෙන වැඩ කරනවට වඩා ටිකක් මොළේ කල්පනා කරලා වැඩ කරන එක තමයි හොඳ. එහෙම කරන්න අමාරුනම් හොඳම දේ ඔයාට ඇහුම්කන් දෙන, ඔයාව තේරුම්ගත්ත කෙනෙක් එක්ක කතා කරන එක. ප්‍රශ්නෙට හොඳම උත්තරේ ගොඩක්වෙලාවට ඒ වගේ කතාබහකින් ලැබෙන්න පුළුවන්.

ඉස්සර මම නිතරම හිතුවා පවුලේ සමබරතාවය රැකෙන්නේ බිරිඳ සහ සැමියා කියන දෙන්නගෙම අවබෝධය මත කියලා. ඒත් එක සිද්ධියකින් පස්සේ මං තේරුම්ගත්තා පවුලේ සමබරතාවය රැකෙන්න වැඩිපුරම බලපාන්නේ ගෙදර අම්මා, එහෙමත් නැත්නම් බිරිඳ හිතන පතන, වැඩ කරන විදිය කියලා.

මම මුහුණදීපු ඒ වගේ අත්දැකීමක් විස්තර කරන්න තමයි මේ කතාව කියන්න හිතුවෙ. මාසෙකට විතර උඩදි මගේ ළඟම ඥාතියෙක් කරපු දෙයක් නිසා මං ලොකු අපහසුතාවයකට පත්වුණා. ඇත්තටම පස්සේ කල්පනා කරලා බලද්දී ඒ සිද්ධිය මට අදාළ එකකුත් නෙවෙයි. මට අදාළත් නැති සිද්ධියකට හිතාමතාම මාවත් ඇදගෙන ඒ අය කළේ මගේ ඔලුවත් අවුල් කරපු එක කියලා පස්සේ තේරුම් ගියාට දවස් ගාණක් යනකල් ඒ සිද්ධිය මගේ හිතට තදින්ම වද දුන්නා. අපි කවුරුවත් සර්වසම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ. ඉතින් කොච්චර ශක්තිමත්ව, සුබවාදීව ඉන්න බැලුවත් ඒ වගේ අනපේක්ෂිත දේවල් නිසා ඔලුව අවුල්වෙන වෙලාවල් තියෙනවා.

ඉතින් වෙලාවක් කලාවක් නැතුව මේ සිද්ධියම මතකෙට එද්දී මට ඕන වුණේ කොහොමහරි ඒ දේ අමතක කරන්න. අනිත් අතට මගේ ඥාතිවරයාට කතා කරලා ඒ කරපු වැරැද්දේ බරපතළකම පෙන්නලා දෙන්න හිතුණත්  මම අමාරුවෙන් ඒ හැඟීම යටපත් කරගත්තා. ඒ නිසා මම හිතුවා දහම් ගෙදර ඉන්න වෙලාවක් බලලා මේ සිද්ධිය ගැන කතා කරන්න ඕන කියලා.

මං මේ කියන දේ අහලා ඔයා මට බනීද දන්නෙ නෑ එකම දේ හිත හිත ඉන්නවා කියලා. ඒත් මට මේක ඔලුවට වදයක්. මේ ගැන කතා කරන්න ඉන්න හොම කෙනා ඔයා නිසයි මං අහන්නේ. මං කතා කරලා එයාලට කියන්නද කරපු දේ වැරදියි, ආපහු එහෙම කරන්න එපා කියලා? මට එහෙම කරන්නමයි  හිතෙන්නේ කියලා දහම්ගෙන් ඇහුවා.

එතකොට එයා වැඩ කර කර ඉඳපු ඉරියව්වෙන්ම ලැප්ටොප් එක දිහා බලාගෙන එපා කියලා තනි වචනෙන් උත්තරයක් දුන්නා. මං හිතුවේ දහම්ට තරහ ගියා කියලා. ඒත් එයා වැඩේ නතර කරලා මං ගාවට ඇවිත් මගේ ඉන දෙපැත්තෙන් අත දාලා මාව එයාට ළං කරගත්තා. පස්සේ මට කිව්වා, රෝසී ඔයා හදන්නේ ඔය නැති ප්‍රශ්නයක් දාගන්න. මං මේ ඔයාට කාටවත් වෛර කරන්නවත් තරහා වෙන්නවත් කියනවා නෙවෙයි. ඒත් ඒ අය අතෑරලා දාන්න. ඒකයි කරන්න පුළුවන් හොම දේ. එතකොට ඔයාට ඔය සිද්ධියත් අමතක වේවි. අනික මගේ ඔලුවේ අනවශ්‍ය කිසිම දෙයක් නෑ. මගේ ඔලුවේ ඉන්නේ ඔය හතරදෙනා විතරයි. මට අදාළ නැති දේවල් හිතන්නෙම නෑ. අදාළ නැති දේකට මාව සම්බන්ධ කරගන්න හැදුවත් මං එතැනින් ඈත් වෙනවා මිසක් හිත හිත කල්පනා කරන්නේ නෑ. මාසයක් තිස්සේ ඉන් ඔයා ඔය සිද්ධිය හිත හිත විවනවා. වැරැද්ද ඔයාගෙත් නෙවෙයි. වෙන කෙනෙක් කරපු කියපු දෙයක් හිත හිතා දුක්වෙන්නෙ ඔයා. ඒකෙන් වැරද්දක් අඩුපාඩුවක් වුණොත් වෙන්නේ මටයි, අපේ දරුවෝ තුන්දෙනාටයි රෝසි. ඔයයි අපේ පවුල ඇතුළේ අපිව බැලන්ස් කරන කෙනා. ඔයා අනවශ්‍ය දේවල් හිත හිතා ඉිද්දි කොහොමද ඔයා ඔයාව කන්ට්‍රෝල් කරගන්නේ..? මං ඔයාට හැමවෙලේම කියනවානේ ඔයාට පාලනය කරන්න බැරි දේවල් ගැන හිතන්න එපා කියලා. අනවශ්‍ය දෙයක් ඔලුවට එද්දි ඔයා අපි ගැන හිතන්න. ඉස්සරහට අපි කරන්න ඉන්න දේවල් හිතන්න. ඔයා කොහොමත් එහෙම ප්ලෑන් කරන්න ආසයිනේ. නැත්නම් ඔයා ආස දෙයක් කරන්න. ඔයා හැමවෙලේම ඔලුව අවුල්වෙන දේකිනුත් සතුටුවෙන්න දෙයක් හොයාගන්නවානේ. මේ සිද්ධියෙනුත් ඔයාට සතුටුවෙන්න පුළුවන් දෙයක් ලැබෙයි. ඒ නිසා අනවශ්‍ය දේ ඔලුවේ දාගෙන අවුල් වෙන්න එපා. ඒක අපි හැමෝටම බලපානවා. ඔයාගේ මූණේ හිනාව තියෙද්දී දරුවොත් සතුටෙන් ඉන්නේ. ඔයා දුකෙන් හිටියොත් ඒක දරුවන්ට දැනෙනවා. ඒ නිසා හො ළමයා වගේ අතෑරලා දාන්න. හිතෙන්ම අතාරින්න කියලා ගොඩාක් ආදරෙන් කිව්වා.

ඒ වචන ටිකෙන් මට තේරුණා මගේ පවුලේ සමබරතාවය රැකෙන්නේ මගෙන් කියලා. ඒක රකින්නේ මම. මට දැනුණේ මගේ පවුලේ පිටකොන්ද මම කියලා. එච්චර තැනක් මට මගේ පවුල ඇතුළේ ලැබිලා තියෙනවා.

මට වගේම ඔයාටත් ඔයාගේ පවුල ඇතුළේ ඒ තැන ලැබිලා ඇති. අපේ ඔලුව අවුල් කරන අනවශ්‍ය දේවල් මගහැරලා, අනවශ්‍ය පුද්ගලයන් ඈත් කරලා ඉන්න තරමට අපේ මනස නිදහස්. පුළුවන් තරම් එහෙම දේවල්වලින් ඒ විදියේ පුද්ගලයන්ගෙන් දෙපාරක් නොහිතා ඈත්වෙන්න. හැමදේටම වඩා වටින්නේ අපේ පවුල. පවුලේ සමබරතාවය නැතිවෙන විදියේ කිසිම දෙයක් නොවෙන්න ඔයාගේ පවුල ආදරෙන් රැකබලාගන්න. ඔයාගේ පවුලේ කශේරුකාව ඔයා. ඔයාව මානසිකව වැටුණොත් ඒකෙන් පවුලට වෙන හානිය සුළුපටු නෑ. බිරිදක් විදියට, අම්මා කෙනෙක් විදියට කිසිම විදියකින් මානසිකව වැටෙන්නැතුව කෙළින් ඉන්න පුළුවන්නම් පවුලේ සමබරතාවය බිඳිලා යන්න නොදී පවුලේ සතුට රැකගන්න පුළුවන්. ගෙදරක ගැහැනිය මනසින්, හිතෙන් ශක්තිමත්ව ඉන්න තරමට ඒ පවුල ඇතුළට අනවශ්‍ය පීඩාවන් එන එක ගොඩක් අඩුවේවි.

 

හෂිණි මනමේන්ද්‍ර