ප්‍රීතිමත් ජීවිතයකට

ගැහැනු ස්වාධීන වෙන්න ඕන පිරිමින්ට පාඩම් උගන්වන්නද?

ගැහැනියක් ස්වාධීන වෙනවා කියන්නේ කාගෙන්වත් යැපෙන්නේ නැතිව තමන්ගේ දේවල් තමන්ම කරගන්න එකට. ඒ අය ගොඩක් වෙලාවට කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් තරම් හැමදේම තනියම කරන්නයි උත්සාහ කරන්නේ. ඒ අය තමන්ගේ වියදම් ගැන බලාගන්නවා. ඒ කියන්නේ එයාලා මූල්‍යමය අතින් ස්ථාවරයි. ස්වාධීන වීම කියන මාතෘකාව ගැන මගේ සරලම තේරුම්ගැනීම තමයි ඒක. කසාද බැඳලත් ස්වාධීනව ජීවත්වෙන ගැහැනු ඉන්නවා. ගෙදර වියපැහැදම්වලට එයාලත් සම සමව දායක වෙනවා.

ගෑනියෙක් වුණාම තමන්ටම කියලා ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ කියන වාක්‍යය කොහෙන්හරි දවස ගානේ මගේ ඇහැ ගැටෙනවාමයි. ඉතින් මං මේ ස්වාධීන ගැහැනු ගැන කතා කළේ, පහුගිය දවසක මං දහම් එක්ක කියව කියව ඉඳිද්දි ඔය ස්වාධීන කියන වචනෙ ඇදිලා ආව නිසා. එහෙම ඇදිලා ආවේ, මාත් සල්ලි හම්බකළා නම් මටත් ඕන දේවල් කරන්න තිබ්බානේ…” කියලා මං කිව්වට පස්සේ.

ඉතින් දැනුත් ඔයාට ඕන දේවල් ඔයා කරනවානේ, මං එපා කියන්නේ නෑනේ. අනික මං හම්බ කරන්නෙත් ඒකටනේ කියලා දහම් කිව්වා.

එතකොට මං කිව්වා කවුරුහරි අමාරුවෙන් ඉන්න වෙලාවක මගෙන් කීයක්හරි ඉල්ලුවොත් දෙන්න පුළුවන්නේ ඔයාගෙන් ඉල්ලන්නේ නැතුව…” කියලා. එතකොට දහම් හිනාවෙලා ඇහුවා ඔයාට සල්ලි හම්බකරන්න ඕන කියලා හිතුණේ බෙදන්නද? මං හිතුවේ ඔයා ආස දේවල් කරන්න, ආස දේවල් ගන්න මගෙන්වත් යැපෙන්නේ නැති කෙනෙක් වෙන්න ආසාවක් ඇවිත් කියලා. රෝසි ඔයාට සල්ලි හම්බකරන්න ආසම නම් කරන්න. හැබැයි පිටට දන්දෙන්න නෙවෙයි. මගෙන්වත් නොයැපී ඔයාගේ දේවල් කරගන්න. ගෙදර දේට, දරුවන්ගේ දේට සම සමව වියදම් දරන්න ඕන කියලා හිතෙනවනම් හම්බ කරන්න. එහෙම නැතුව තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් ඒවා වියදම් නොකර මගේ සල්ලි කියලා පුළුවන් තරන් පිං තකා දෙන්න නෙවෙයි. අපි ඒවා කරන්න ඕනේ අපේ වැඩ කරගෙන, ඉතුරු කරන දේවල් කරලා, ක්‍රෙඩිට් බිල් එකක්වත් ගෙවන්න නැතුව නිදහස් නම් විතරයි.’’

දහම් ඔය ටික විස්තර කරගෙන යන අතරේ මම වචනයකින්වත් බාධාවක් කරන්න ගියේ නෑ. මොකද ඒ හැමදේම ඇත්ත බව මම දැනගෙන හිටපු නිසා. හැබැයි දහම්ගේ කතාව තව ඉවර නෑ.

රෝසී මං ඔයාලා වෙනුවෙන් කරන්න තියෙන දේවල් මගඇරලා කවුරු දුක කියන් ආවත් සල්ලි දෙන්නේ නෑ. මොකද මං ඔයාගේ, දරුවන්ගේ උවමනා එපාකම් බලන්න ඕනේ. මං මහන්සි වෙලා හම්බ කරන්නේ ඒකට. කිසිම අඩුපාඩුක් නැතුව ඔයාලව හිතේ සතුටින් තියන්න. ඒ ඔක්කොමත් කරලා පුළුවන් නම් තමයි මං උදව්වක් ඕන කෙනෙක්ට උදව් කරන්නේ. මාව හිතක් පපුවක් නැති මනුස්සකමක් නැති මිනිහෙක් කියලා මිනිස්සු මොනවා හිතුවත් මට වැඩක් නෑ. මට ඔය හතරදෙනාව, ඔය හතරදෙනාගේ ඕනෑඑපාකම් ඒ හැමදේටම වඩා වටිනවා. ඔයා සල්ලි හම්බ කරන්න ඕන නම් කරන්න. රස්සාවක් කරන්න ආසයි නම් කරන්න. ඒ හම්බකරන දෙයින් ඔයාගේ වැඩ කරගෙන ගෙදර වියදම්වලට මට උදව් වෙන්න. එතකොට ඔයාටම තේරෙයි මේ හැමදේම කරන්න මං කොච්චර මහන්සි වෙනවාද, හැමදේම කොහොමද මැනේජ් කරන්නේ කියලා. සල්ලි හම්බකරන්නත් ලේසියි, වියදම් කරන්නත් ලේසියි. සල්ලි මැනේජ් කරගෙන මාසේ ගේම ගහන්නයි අමාරු. ඒ තැන්වලදි බොළඳ වුණොත්, සංවේදි වුණොත් අපිට වරදින්න පුළුවන් ඉඩ වැඩියි. අනික මං ඔයාලා ආස හැමදේම කරන්නේ අනවශ්‍ය කිසිම දේකට වියදම් නොකර. මං මේ ටික ඔයාට කිව්වේ, ඔයා සල්ලි හම්බකරන්න ඕනයි කියලා කිව්ව පරමාර්ථය නිසා මිසක් ඔයාට කියලා හම්බකරගන්න ඕන නිසා නෙවෙයි. අනිත් එක රෝසි ස්වාධීන වෙනවා කියන්නේ සල්ලි හම්බකරන එක විතරක්ම නෙවෙයි. තැනකට ගිහින් තනියම වැඩක් කරගන්න, බැංකුවකට හොස්පිටල් එකට තනියම ගිහින් වැඩක් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ජපන් ඩිංගක් ඉගෙනගෙන ඒ ටික කරගන්න පුළුවන් නම් මට ඒ හොඳටම ඇති.”

ඔය දේශනය අහලා ඉවර වෙනකොට ඉතින් මම පටන්ගත්තු ස්වාධීන කතාවේ මුල මතක් වෙලා මට හිනාගියත් එක්ක. ඒත් දහම්ට එයාගේ ස්වාධීන පාඩම ඉවර නොකර තවත් කියන්න දේවල් ඉතුරු වෙලා තිබුණා.

ඔයා දෙයක් කරද්දි හතරවටෙන්ම උදව් අරගෙන කරන්නේ නැතුව, කරන දේ හොඳට අධ්‍යයනය කරලා කරන්න. දැන් ඕන දෙයක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ස්වාධීන කියන වචනෙට වටිනාකමක් දෙන්න පුළුවන් විදියට ස්වාධීන වෙන්න. ඔයා හදන වීඩියෝ එහෙම මගෙන්වත් උදව් අරන් නෙවෙයිනේ කරන්නේ. ඔයාගේ හැකියාවෙන්. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අනික මේ දැන් වුණත් ඔයා මගෙන් යැපෙනවා කියලා එකක් මං දකින්නේ නෑ. ඔයා ගෙදර වැඩ බලාගන්නවා, මං ඒ ගෙදර වැඩවලට ඔයලාගේ අවශ්‍යතාවයන්ට හම්බකරනවා. අපි දෙන්නාම දෙවිදියකට පවුල වෙනුවෙන් කැපවෙනවා.” ඉතින් අන්තිමට මුල් කාලේ මං එකඟ නොවුණ දේවල්වලට පවා එකඟ වෙන්න මට හේතු ලැබුණා.

ඇත්තටම මුදල් හරිහම්බ කරලා පවුල වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ගැහැනියක් ගොඩක් ශක්තිමත්. ඒත් තමන් හම්බ කරනවා කියලා උඩඟුවෙලා, තමන්ගේ පිරිමියාව හෙලා දැකලා, පහත් කරලා කතා කරන අයත් මං දැකලා තියෙනවා. ඒ වගේ තැන්වලදි මං ගොඩක් වෙලාවට ඉන්නේ නිහඬව. මොකද මං මුදල් හම්බනොකරත් තෘප්තිමත්ව ජීවත්වෙනවා කියලා මගේ හිත හොඳටම දන්න නිසා. ඒ මගේ වගේම දරුවන්ගෙත් හැම ඕනෑඑපාකමක්ම දහම් හොයලා බලන හින්දා. ඒත් දැන් මට තේරෙනවා මාසෙ පඩියෙන් ඒ හැමදේම කරන්න එයාට හොඳ කළමනාකරණයක් තියෙනවා කියලා. වටේ ඉන්න අය සතුටු කරන ගමන් අපේ හැම පුංචි දෙයක්ම අතපසු නොකර කරන්න බෑ. වටේ අය සතුටු කරන එක එයාගේ ලිස්ට් එකේ තියන්නේ අන්තිමට. අංක එක අපි හතරදෙනා, ඊටපස්සෙයි අනිත් හැමදේම කියලා මට ආයෙම දැනුණා.

කොහොම වුණත් අනාගතයේ දවසක මාත් මං ආස දේකින් මුදල් උපයන ක්‍රමයක් හොයාගනීවි. හැබැයි ඒ මම ස්වාධීනයි කියලා ලෝකෙට අඬබෙර ගහලා කියන්නවත්, දහම්ව පහත හෙලන්නවත් නෙවෙයි. මගේ සතුට වෙනුවෙන්.

හෂීණි මනමේන්ද්‍ර