ප්‍රීතිමත් ජීවිතයකට

පද හදන අය ඉදිරියේ පරදින එකම තමයි දිනුම!

ගොඩක් වෙලාවට ගැහැනියකට නින්දා, අපහාස කරන්නේ පිරිමි පාර්ශවයට වඩා ගැහැනුමයි කියලා කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වෙයිද මම දන්නේ නෑ. සාමාජ මාධ්‍යවල විතරක් නෙවෙයි, සමාජයේ බොහෝ තැන්වල මේක සිද්ධ වෙනවා මම දැකලා තියනවා. ඒ ගැහැනු අතර තමන් වඩාත්ම විශ්වාස කරපු යෙහෙළියන්, නෑදැයින්, කාර්යාල සගයින් වගේම සියලු තරාතිරම්වල අය ඉන්න පුළුවන්.

ඒකෙන් කියැවෙන්නේ නැහැ ගැහැනුන්ව අපහසුතාවයට පත්කරන අය අතරේ පිරිමි නැහැ කියලා. ඒත් පිරිමින්ට සාපේක්ෂව ගැහැනුන් අතින් මේ වැඩේ වැඩිපුර වෙනවා කියන එකයි මගේ අත්දැකීම.

ඉතින් මං හැමදාම ලිව්වේ මගේ පෞද්ගලික අත්දැකීම් නිසා, මේ කාරණාව සම්බන්ධයෙනුත් මගේ අත්දැකීමක් ඔයාලා එක්ක බෙදාගන්නම්. මටත් ගොඩක් වෙලාවට නොහිතපු කාරණා එක්ක ගෑනු අයගෙම සම්ච්චලේට, අපහාසයට ලක්වෙන්න වුණු අවස්ථා තිබුණා. ගොඩක් වෙලාවට මං ලියන ලිපි, හේතුවක් කරගෙන මාව සමච්චලේට ලක්කරපු අවස්ථා වැඩියි. එහෙම වුණත් අදටත් මට සතුටු වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, මං ඒ අය එක්ක ඇවිලිලා පැටලෙන්න නොගිය නිසා. ඒ වගේම ඒ අපහාසවලට බයේ මං කරන කියන හොඳ දේවල් නතර නොකරපු නිසා.

හැබැයි ඉස්සර කවුරුහරි මට එකක් කිව්වොත් එකට තුනහතරක් කියලායි මං පස්ස බලන්නේ. පස්සේ කාලයක් යද්දි මටම තේරුණා ඒ කරන දෙයින් මාවම පහතට දාගන්න එකයි කරන්නේ කියලා. කවුරුහරි මට සමච්චල් කරද්දි හේතු හොයාගෙන අපහාස කරද්දි, මාත් ඒ කෙනාගේ ගඳ ගහන කොටස හොයාගෙන අවනම්බු කරන්න ගියාම ඒ දුර්ගන්ධයෙන් කොටසක් මගේ ඇඟේත් වදින බව මම තේරුම්ගත්තා. ඒ නිසා දන්න කෙනෙක් වුණත් නොදන්න කෙනෙක් වුණත් මාව අපහසුතාවයට පත්කරන්න උත්සාහ කරපු බොහෝ අවස්ථාවල දැක්කේ නැති ගාණට ඉන්න තරමට මං හිත හදාගත්තා. ඇවිලෙන්නවත් පැටලෙන්නවත් ගියේ නෑ.

හැබැයි ඒ අතරේ මේ දේත් තේරුම්ගන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ගැහැනියෙකට නින්දා කරන, අතීත සිද්ධීන් අවුස්සලා මඩ ගහන ගැහැනියක් ගාව ඊට වඩා නිරාවරණය නොවුණු කොටසක් තියෙනවා කියලා. ඒ අයට වෛර කරනවා වෙනුවට අනුකම්පා කළ යුතු බව වගේම වඩාත් කාරුණික විය යුතු බව මම තේරුම්ගත්තා. ඒක ගැහැනියකට විතරක්ම නෙවෙයි පිරිමියෙකුටත් පොදු දෙයක්. ඒ දේ තේරුම්ගත්ත දවසට ගැහැනුකම කියන එක වඩාත් සුන්දර වෙනවා කියන එකයි මගේනම් හැඟීම.

ඉතින් සමහරවිට ඔයාටත් රැකියාව කරන ස්ථානයේ වගේම සමාජය එක්ක ගනුදෙනු කරද්දි එහෙම අය මුණගැසේවි. එහෙම අය ඉදිරියේ නිහඬවෙන්න. ඒ අයට වීරවරියෝ වෙන්න දීලා පසුබැහැලා පරාජය වෙන්න. ඒ පරාජය වෙන එකම ගොඩක් වෙලාවට දිනුමක්. ඇවිලෙන්න ඕන තැනදීත් නිවෙන එකයි දිනුම.

හොඳ ගැහැනියක් වෙන්න ඕන නම් තව ගැහැනියකට අවනම්බු කරනවා වෙනුවට ගෞරව කරන්න, මානසිකව වට්ටනවා වෙනුවට දිරිමත් කරන්න, හෙළා දැකලා පහත් කරලා සමච්චලේට ලක්කරනවා වෙනුවට ආදරේ දෙන්න, කරුණාවන්ත වෙන්න.

ඉතින් තව ගැහැනියක් ඔයාට නින්දා කරොත් නිශ්ශබ්දව එතැනින් ඉවත්වෙන්න, ඒ ඔයාගේ ක්ලාස් එක. ඔයාට සමච්චලේට හිනාවුණොත් පෙරළා සුන්දර හිනාවක් දෙන්න. ඒ ඔයාගේ විශේෂත්වය. ඔයාව පිරිසක් ඉස්සරහා කොන් කරන්න හදනවා නම් එතැන එයාට වීරවරිය වෙන්න දීලා ඔයා පාඩුවේ පැත්තකට වෙන්න, ඒ ඔයාගේ වැදගත්කම. ඔයාගේ අතීත සිද්ධි හොයන් ඔයාට මඩ ගහන්න හදනවා නම් ඒවාට බයවෙන්න එපා ශක්තිමත්ව මූණදෙන්න. බයවෙන්න ඕනේ ඔයා ඒ වැරදි තාම කරනවානම් විතරයි. ඒත් ඔයා ඒවා හදාගෙනනම්, බය නැතුව ඒ මඩවලට මූණදෙන්න, කවුරු ඔයා ගැන මොනවා හිතුවත් ඔයාගේ ආත්මශක්තිය ගැන ඔයාට සතුටු හිතෙයි. එවලෙට මඩ මල් වෙලා ඔයාව සුවඳ කරයි.

ගැහැනියක් කියන්නෙම සුන්දර හැඟීමක්. ඒ හැඟීම දැනෙන විදියට ජීවත්වෙන්න.

හෂීණී මනමේන්ද්‍ර