ප්‍රීතිමත් ජීවිතයකට

ලෝකෙට හොඳවෙලා ගෙදරට එපාකරපු මිනිහෙක් වෙන්න මට ඕන නෑ

මගේ මිතුරු සමාගම ගැන කිව්වොත්, මම ඕන කෙනෙක් එක්ක ඉක්මනින් මිතුරු වෙන කෙනෙක්. මිනිස්සු තෝරලා බේරලා ආශ්‍රය කරන පුරුද්දක් මට නැතිතරම්. මගේ හිතට ළඟයි වගේ දැනෙන යාළුවන්ට මාත් ඒ විදියට මිතුරුකමින්, ආදරෙන් සලකනවා. ඒත් මගේ මහත්තයා දහම් ඒකෙ අනිත් පැත්ත. එයාට යාළුවෝ අඩුයි. ඉන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හිටපු යාළුවෝ කිහිපදෙනෙක් විතරයි. අලුත් යාළුවෙක් එයාගේ මිතුරු සමාගමට එකතු වුණොත් බොහොම කාලාතුරකින් තමයි.

කසාද බැඳලා ජපානෙට ආව මුල් කාලේ මට ලොකු ප්‍රශ්නයක් තිබුණා දහම්ට යාළුවෝ නැද්ද, ඇයි අපි ඒ කා එක්කවත් විනෝද චාරිකාවක්වත් නොයන්නේ කියලා. දහම එයාගේ යාළුවො ගැන විස්තර මගෙන් හංගන්න හදනවද වගේ විකාර අදහසුත් ඔලුවේ නොතිබුණාම නෙවෙයි.

එක කාලෙකදි,  මට ඒ හැමදේටම උත්තර හම්බවුණා. දවසක් මට දහම් කිව්වා, රෝසි මට ලොකු නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන්න බෑ. මගේ පැය විසිහතරේ මට ඒකට ඉඩක් නෑ. යාළුවෝ ගොඩක් ආශ්‍රය කරන්න, එහෙ මෙහෙ යන්න, එක එක පාර්ටිවලට ඒ ගෙවල්වල යන්න මට අමාරුයි. එක තැනකට ගිහින් තව තැනකට එන්න කියලා යන්න බැරි වුණොත් ඒ මිනිස්සු තරහා වෙන්නත් පුළුවන්. තේරුම්ගැනීම කියන දේ හැමකෙනෙක්ටම නෑ. හැමෝටම උදව් කරගෙන හැමෝටම හොඳ මනුස්සයෙක් වෙලා ඉන්න මට පුළුවන්. ඒත් ඒකෙන් දවසක මම ලෝකෙටම හොඳ මිනිහෙක් වෙලා ඔයාලට නරක කෙනෙක් වෙයි. යාළුවෙක්ට උදව් කරන්න යන්න මට බැරිකමක් නෑ. ඔයත් කියයි යන්න, ගිහින් උදව් කරලා එන්න කියලා. හැබැයි දිගින් දිගටම ඒක කරන්න ගියොත් ඔයලා එක්ක ඉන්න තියෙන කාලයයි මට නැතිවෙන්නේ. මං ඒකට කැමති නෑ. මං ඒකයි කාගෙන්වත් උදව් නොගෙන පුළුවන් උපරිමෙන් මගේ වැඩ තනියම කරන්නේ. උදව්වක් ගත්තත් ගන්නේ උදව් කරලා අනිත් පැත්තට මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැති, තැන තැන කියවන්නේ නෑ කියලා මට විශ්වාසම කීපදෙනෙක්ගෙන් විතරයි. මට ලෝකෙට හොඳ මනුස්සයෙක් වෙලා ඔයාලට නරක කෙනෙක් වෙන්න ඕනේ නෑ. මගේ ඔලුවෙ ඉන්නේ ඔය හතරදෙනා විතරයි. එතැනින් එහාට මං මගේ ඔලුවට කිසිදෙයක් ගන්නේ නෑ. කවුරු මං ගැන වැරදියට හිතුවත් මං ඒවා මට අදාළ කරගන්නේ නෑ. මට හැමවෙලාවම පොඩි තුන්දෙනා එක්කයි, ඔයා එක්කයි ඉන්න ඕනේ. මගේ ජීවිතේ මගේ සතුට ඒක. මගේ ඔලුවේ තියන්නේ ඔයාලව කොහේහරි ගෙනියන්න, ඔයාලට ආස දේවල් කරන්න, ඒවා කොහොමද කරන්නේ කියන දේවල් විතරයි. මගේ ඔලුවේ වෙන දේවල් නෑ.

ඔයා යාළුවෝ ආශ්‍රය කරනවා, අලුත් යාළුවෝ අඳුරගන්නවා. ඔයා ඒකට ආසයි කියලා මං දන්නවා. ඒත් ඔයා ඒ අඳුරගත්තු ගොඩක් යාළුවෝ ටික කාලයයිනේ. ඔයාගේ හිත රිදෙන දෙයක් වුණාම ඔයාටම කළකිරිලා ඔයාම ඒවා මං එක්ක කියනවනේ. අන්න ඒවා ජීවිතේට අනවශ්‍ය පීඩන. මට එහෙම පීඩන නෑ. මට එදා ඉඳන් හිටපු යාළුවෝ අදත් ඉන්නවා. අවුරුදු ගාණක් කතා නොකර ඉඳලා කතා කරත් ඒ ෆිට් එක තියෙනවා. මං අලුතෙන් කෙනෙක් එහෙම ලේසියෙන් ළං කරගන්නේ නෑ. කළත් ඔයා වගේ විශ්වාස කරන්නේ නෑ. අපිට හැමෝම කරන හැමදේම කරන්න බෑ රෝසී. එක එක්කෙනාගේ ජීවිත වෙනස්. වෙලාව කළමනාකරණය කරගන්න විදි වෙනස්. ලයිෆ් එක එන්ජෝයි කරන විදි වෙනස්. මං මගේ ලයිෆ් එක ගොඩක් එන්ජෝයි කරන්නේ ඔය හතරදෙනා එක්ක.”

එදායින් පස්සේ අපිට හැමෝම කරන දේවල් කරන්න බෑ, ඒ නිසා අපිට කරන්න පුළුවන් දේවල්වලින් සතුටුවෙන්න ඕනේ කියන එක මාත් තේරුම්ගත්තා.

ගොඩක් වෙලාවට ගෑනු තමන්ගේ පිරිමියා එක්ක රණ්ඩු වෙන්නේ ඔයාට යාළුවන්ගේ පාටි ඔක්කොටම යන්න පුළුවන්, ට්‍රිප් යන්න පුළුවන්, අපි වෙනුවෙනුයි වෙලාව නැත්තේ කියලා. දහම් එයාගේ සම්පූර්ණ කාලයම අපි වෙනුවෙන් වෙන්කරලා තියෙද්දිත්, මං එයාගෙන් ඇහුවේ ඇයි අපි අනිත් අය වගේ එකතුවෙලා ට්‍රිප් යන්නේ නැත්තේ, මෙහේ ඉන්න ලංකාවේ අය ආශ්‍රය නොකරන්නේ ඇයි කියලා. ඉතින් මට ඒකට හරිම ලස්සන පැහැදිලි උත්තරයක් හම්බුණා. හැමෝම කරන දේවල් අපිට කරන්න බෑ, අපිට පුළුවන් දේ කරලා සතුටින් ඉමු කියලා.

අපි හැමවෙලේම හිතන්නේ අපිට නැති සහ කරන්න බැරි දේවල් ගැන. ඒත් අපි හිතන්නේ නෑ අපිට තියෙන, අපිට පුළුවන් දේවල් නිසා අපි කොච්චර සතුටින් හිටියාද කියලා. අපේ ළඟම මිතුරු කවයේ ඉන්න, අපිව විනිශ්චය නොකරන, අපෙන් මොකුත් බලාපොරොත්තු නොවෙන එක්කෙනෙක් හිටියත් ඒ හොඳටම ඇති ආශ්‍රය කරන්න. එහෙම යාළුවො තෝරාගන්න ඕන බොහොම පරෙස්සමෙන්. එහෙම නැති යාළුවො කොච්චර හිටියත් සැනසීම වෙනුවට ජීවිතයට එකතුවෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න විතරයි.

හෂීණී මනමේන්ද්‍ර