විශේෂාංග

සමහර දේවල් අපිට කලින් උඩ ඉන්න අයට පේනවා

අලුතෙන් කෑමක් හදද්දි අපි අත්හදාබැලීම් කරනවනේ. සමහරවෙලාවට සමහර දේවල් අඩු වැඩි කරලා හදලා බලනවා. සමහර වෙලාවට වැරදෙනවා. ඒත් වැරදෙන්න කලින් මේක වැරදේවි කියලා එන සිග්නල් එකක් තියෙනවා. ඒ සිග්නල් එක අපිට තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. සමහර විට එහෙම තේරුණත් අපේ හිතේ තිබුණු විදියටම හදන්න ගිහින් වරදින වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම වැරදෙන්න කලින් ලැබුණු සිග්නල් එකට අනුව ආපහු හැදුවාම ගොඩක් වෙලාවට හරියනවා. මට අනන්තවත් ඔහොම වෙලා තියෙනවා. කෑම හදද්දි විතරක් නෙවෙයි ජීවිතේදිත්.

ජීවිතේදිත්, මට ගොඩක් සිග්නල් ලැබුනා. මගේ ජීවිතේ යම් සිද්ධීන් ගැන, යම් යම් කාලවලදී හමුවුණ පුද්ගලයන් ගැන, ඇතිවුණ මිතුරු සම්බන්ධකම්, ප්‍රේමසම්බන්ධකම් ගැන. සමහර ඒවා මට තේරුම්ගන්න තරම් දැනුමක් තිබ්බේ නෑ. සමහර ඒවා දැනගෙනත් මං මගහැරියා. මේ සිග්නල් එකෙන් කියන්නේ මේ දේ ගැන කියලා තේරුණත් මං ඒ ඒ සිද්ධිවලට, පුද්ගලයන්ට, සම්බන්ධකම්වලට අවස්ථාව හදලා දුන්නා. මට නොපෙනුණ, මට නොදැනුණ සිග්නල් ඇඟිල්ලෙන් ඇනලා පෙන්නපු අය පවා හිටියා. බැණලා තේරුම් කරපු අය හිටියා. ඒත් මං සමහර දේවල් වෙනස් වෙනකන් බලන් හිටියා. ඒත් ඒවා වෙනස් වුණේ නෑ. හැබැයි මං ඒකෙන් පාඩමක් ඉගෙනගත්තා. ඒ තමයි මොනා හරි දේක පෙරනිමිති අපිට දැනෙන්න ගනිද්දී ඒවා ඔස්සේ පොඩ්ඩක් හිතලා ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕන කියන එක.

ජීවිතේට ලැබෙන ඒ වගේ සමහර සිග්නල් නැත්නම් ඉඟි අපිට මගහැරෙනවා, නැත්තම් උවමනාවෙන් මගහැරගන්නවා. ඒ සිග්නල් අපිට තව කෙනෙක් පෙන්නද්දි අපි විශ්වාස කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ කියලා හිතනවා. ඒ කියන්නෙ අපි ඒ සිග්නල් ගනන් ගන්නේ නෑ, ඉතින් අපිට වැරදෙනවා.

සම්බන්ධෙකදී වුණත්, කරන ඕනම වැඩකදී වුණත් හොඳට වෙනවනම් හොඳ සිග්නල්, වැරදියට වෙනවා නම් වැරදි සිග්නල් ලැබෙනවා. ඒවා තේරුම්ගන්න අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕන. නැත්තම් අපි කරන කියන හැමදේම වතුරේ යන්න පුළුවන්.

පුංචිම දෙයක් කියන්නද? අපි මොනාම හරි දෙයක් වෙනුවෙන් කැපකිරීම් කරනවා නම්, ඒ කැපකිරීම් කරන්නේ පුංචිම හරි දෙයක් අනිත් අතට බලාපොරොත්තුවෙන් නෙවෙයි නම් අපේ කැපකිරීම ගොඩාක් වටිනවා. ඒ නිසා මොනවා නැතත් ඒ කැපකිරීම වෙනුවෙන් අනිත් කෙනාගේ හිතේ ගෞරවයක් තියෙන්න ඕනේ.

මාත් එහෙම කැපකිරීම් කරපු කෙනෙක්. ඒත් සමහර තැන්වලදි ඒකට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැති බව කල්තියාම සමහර සංඥාවලින් මට පෙන්නුවා. ඒත් මං ඒවා ගනන් ගත්තේ නෑ. ඒ නිසා මං ජීවිතේ ගැන අමතක නොවෙන පාඩම් ඉගෙනගත්තා.

හැබැයි මගේ කැපකිරීම්වලට ගෞරවයක් විතරක් නෙවෙයි, මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ ආදරයක් සතුටක් අද මං ළඟ තියෙනවා. ජීවිතේදී දෙන හැම සිග්නල් එකක් දිහාම බුද්ධිමත්ව බලන්න ලැබුන ඒ අත්දැකීමට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගෑනු අපිට ඕන මහ ලොකු දේවල් නෙවෙයි. අපි අපේ පවුල වෙනුවෙන් කරන හැම කැපකිරීමටම අනිත් අය කටින් නොකීවත් සතුටු වුණා කියලා ඇස්වලින් පේන සතුට දැක්කම, තව කැපකිරීම් කෝටියක් වුණත් කරන්න පුළුවන්.

මගේ දහම්ගේ, මගේ නතාරී දූගේ, ඔවින්‍යා දූගේ, අයාන් පුතාගෙ ඇස්වලින් මං ඒ දිලිසෙන සතුට හැමදාම දකිනවා. මං ආස නෑ ඒ කාගේවත් ඇස් මළානික වෙනවාට. සතුටින් දිලිසෙනවටයි මම ආස. මගේ කැපකිරීම්වලට හොඳම ගෞරවේ ලැබුණේ ඒ හතරදෙනාගෙන්. මගේ හැම කැපකිරීමකම ආරම්භයේදි මට ඒ සතුටු සිග්නල් එක පෙනුණා. මං ඒක ඔස්සේ ගියා. අද මං සතුටෙන් ඉන්න හිතමිතුරු බිරිඳක්, සෙනෙහෙවන්ත මවක්.

ජීවිතේ ලැබෙන සිග්නල් විශ්වාස කරන්න. මගහරින්න එපා. ඔයාට ඔයාව ලැබෙයි. ඔයාගේ සතුට හොයාගන්න ආත්මශක්තිය ලැබෙයි. අනිත් අයට සතුට බෙදන්න පුළුවන් ආශිර්වාද ලැබෙයි.

හෂීණී මනමේන්ද්‍ර