ප්‍රීතිමත් ජීවිතයකට

වැරදි අඩුපාඩු පිළිගන්න බැරි කෙනෙක්ට ‘හොඳම අම්මා’ කෙනෙක් වෙන්න පුළුවන්ද?

හොඳම අම්මා වෙන්නවත් හොඳම බිරිඳ වෙන්නවත් මේ ලෝකේ කිසිම ගැහැනියකට බෑ. ඒ අපි කවුරුත් සර්වසම්පූර්ණ ගැහැනු නොවෙන හින්දා. ඒ නිසා හොඳම බිරිඳ වෙන එක කෙසේ වෙතත් මගේ දරුවන්ට හොඳම අම්මා වෙන්න මම නිතරම උත්සාහ කරනවා. ඒක මගේ හීනයක්. ඒත් ඒක හරි අමාරු වැඩක්.

ඒක දරුවෝ ආස කෑම උයලා දෙන එකට වඩා, ලස්සනට කෑම පෙට්ටිය හදනවාට වඩා එහා ගිය ලොකු කැපකිරීමක්. තමන්ගේ දරුවන්ට හොඳම අම්මා වෙන්න උත්සහ කරද්දී අපිට සිද්ධ වෙනවා බොහොම නිහතමානීව අපේ වැරදි පිළිඅරගෙන ඒවා නිවැරදි කරගන්න. ඉතින් මම තමයි අම්මා, මගේ අතින් වැරදි වෙන්නේ නෑ කියලා හිතන්නේ නැතුව, මමනම් මගේ අඩුපාඩු දවස ගානේ හදාගන්නවා. දරුවොත් එක්ක ඉන්නකොට එයාලගෙ ඇසුරෙන්ම තමයි ගොඩක් වෙලාවට අපේ වැරදි ගැන අපිට අවබෝධයක් එන්නේ.

සමහර වෙලාවට අපිට අසීමිතව තරහ යනවා වෙන්න පුළුවන්. බිරිඳකට හෝ තනිකඩ ගැහැනියකට ඒක යම්තාක් දුරකට සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත් අම්මා කෙනෙකුට එහෙම බෑ. විශේෂයෙන්ම හොඳම අම්මා වෙන්න උත්සාහ කරන කෙනෙකුට එහෙම බෑ. ඒ නිසා දරුවෝ ඉස්සරහා තරහ, ආවේග වෙනදා වගේ පිට කරන එක සුදුසු නෑ කියලා අපි, දරුවෝ එක්ක ඉන්නකොට තේරුම් ගන්නවා. ඒකයි මම කිව්වේ හොඳම අම්මා වෙන එක දරුවෝ ආස කෑමක් හදලා දෙනවට වඩා අමාරු වැඩක් කියලා.

ඒ වගේම කිසිම හේතුවක් නිසා දරුවො එක්ක වැඩ කරද්දී මම මගේ කම්මැලිකම සාධාරණීකරණය කරන්න යන්නේ නෑ. දවසේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අවබෝධ කරගෙන වැඩ කරනවා මිසක් අනවශ්‍ය විදියට මම වැඩ ගොඩ ගහගන්නේ නෑ. ඒ නිසා කොහොමටත් අම්මා කෙනෙක් විදියට මට දරුවන්ගේ වැඩ කරද්දී කම්මැලිකමක් දැනෙන්නේ නෑ. මගේ ගෙදර ගොඩක් හැඩි වෙනවා. දැන් මං දරුවෝ එක්කම හවස් වෙද්දි ඒවා අස් කරනවා. ඉස්සර හෝදලා වේලෙන රෙදි ටික නවන්නේ නැතුව රෙදි කඳු පිටින් ගොඩ ගැහෙද්දි  මංම තේරුම්ගත්තා ඒක මගේ කම්මැලිකම මිසක් වෙලාවක් නැතිකම නෙවෙයි කියලා. අනික දැන් මම රෙදි නවනකොට මගේ දරුවොත් මට උදව් කරනවා. මගේ දූලා දෙන්නා විශේෂයෙන්. එයාලාගේ කබඩ්වලට ඇඳුම් දාගන්නත් එයාලා දන්නවා. ඒ නිසා දරුවන්ට හොඳම අම්මා වෙනවා කියන්නේ සියලු දේ අතට පයට කරලා දෙන එක නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදි එයාලගේ වැඩ තනියම කරගන්න එයාලව පුරුදු කරන එකත් ඒකට අයිතියි.

අනිත් එක අපේ දරුවො ගෑනු දරුවො වුණත් හරි පිරිමි දරුවො වුණත් එයාලා හැදෙන්නේ අපි දිහා බලාගෙන.  ඒ නිසා දරුවන්ට ජීවිතේ පිළිවෙල උගන්වන්න නම් අම්මා විදියට මම පිළිවෙලට ඉන්න ඕන කියන එක මම තදින්ම විශ්වාස කරනවා.

ඒ නිසා දරුවන්ට හොඳම අම්මා වෙන්න බලාගෙන හෝ නැතිව, අපේ අඩුපාඩු අපි හිමින් හදාගමු.

මං ආස මගේ අම්මා පිළිවෙලට, ලස්සනට, පිරිසිදුව හිටියා, එයා නිසයි මාත් එහෙම පුරුදු වුණේ කියලා මගේ දරුවෝ කවදාහරි කියනවට. එදාට මට පුළුවන් සතුටින් ඇස් පියාගන්න.

හෂිණි මනමේන්ද්‍ර