විශේෂාංග

ගෑනු ඉවසන්න ඕන සැනසීම ලැබෙන බැඳීම් රැකගන්න විතරයි

අපි ගොඩක් ආස කරන දේවල්, අපි ගොඩක් ආදරේ කරන දේවල් අපි අත් හරින්න අකමැතියි. මාත් ඇතුළුව අපි හැමෝම එහෙමයි. අපි ආස කරන, ආදරේ කරන දේවල්ම අපේ හිතේ මානසික නිදහස අඩු කරනවා නම්, හිතට වේදනාවක් ගෙන දෙනවා නම් අපි කොච්චර තදින් අල්ලන් හිටියත් වෙන්නේ අපේ මානසික නිදහසට බාධාවක් වෙන එක. මං, මං ගැනම පුංචි විස්තරයක් කියන්නම්.

කොණ්ඩේ කියන්නේ ගෑනියෙක්ගේ ලස්සන තවත් වැඩි කරලා පෙන්නන දෙයක්. මටත් ඉණ කිට්ටුවට වැවුන කොණ්ඩයක් තිබ්බා. ඒත් මගේ කොණ්ඩේ ‍යන්න ගත්තා. කොණ්ඩේ ගැලවිලා යද්දී ගෑනු කෙනෙකුට දැනෙන වේදනාව මොනවගේද කියලා කියන්න ඕන නෑනේ. මං ඒකට විටමින් බිව්වා, තෙල් ජාති ගෑවා, නොකරපු දෙයක් නෑ. නාද්දි, කොණ්ඩේ පිහදාද්දී, පීරද්දී, කොණ්ඩේ යනවා. නිදාගෙන ඇහැරෙද්දී හැමතැනම ගැලවුණ කොණ්ඩ ගස්. සමහරදාට කෑමවලත් තිබුණා. ‘‘ඔයාගෙනේ, කමක් නෑ’’ කියලා කෑම පිඟානේ තියන කෙස් ගහක් අයින් කරලා දහම් කද්දී මට තවත් දුකයි. එවලේ මට ගෙදර ආපු කෙනෙකුට හදපු කෑම වේලක ඔහොම වුණානම් ඇතිවෙන ලැජ්ජාව ගැනත් හිතුණා. බැරිම තැන Scan කරලා, බැලුවා කොණ්ඩේ යන්නේ මට ලෙඩක්වත්ද කියලා. දහම් අදටත් ඒක මතක් කර කර හිනාවෙනවා කිසි ලෙඩක් නෑ ඔය ඔලුව හොඳයි කියලා.

පස්සේ මට හිතුණා මෙච්චර යන්න හදන දෙයක් මං නතර කරගන්නේ ඇයි? යනවා නම් යන්නම දීලා දානවා කියලා. දහම්ට මං කීපවිටක් කිව්වා කොණ්ඩේ තට්ටේ ගාන්න කියලා.

පස්සේ මීට අවුරුදු දෙකකට උඩදී 2020 අප්‍රෙල් මාසේ 31 වෙනිදා දහම් මුළු කොණ්ඩේම අල්ලලා පෝනිටේල් එකක් දාලා එතැනින් කොණ්ඩේ කපලා, පස්සේ හිමීට මැෂින් එකකින් මුළු කොණ්ඩෙම අයින් කළා. දිගට තිබුණ කොණ්ඩේ විලාසිතාවකට කොට කළාම පවා ‘‘අපරාදේ දිගට තියන්න තිබ්බේ’’ කියලා පහුවෙලා හූල්ලන කෙනෙක් මං. ඒත් එදා ඒ පැය එකහාමාර මං හිටියේ පුදුම නිවිච්ච හිතකින්. පොඩිම දුකක්වත් දැනුණේ නෑ. ජීවිතේ පළවෙනි වතාවට මට මාව එදා ලස්සනට පෙනුණා. හරිම නිවිච්ච කෙනෙක් වගේ පෙනුණා.

මගේ පින්තූරේ දැකලා මට කැතයි, මූසල පාටයි කියලා කියපු අය හිටියා. මට ලෙඩක්ද කියලා අහපු අය හිටියා. සමහරු මට කිව්වා කෙල්ලෙක්ට කොණ්ඩයක් තියෙන්න ඕන කියලා. මං කිව්වා ඔව් කෙල්ලෙක්ට කොණ්ඩයක් තියෙන්න ඕනේ, ඒත් ගෑනියෙකුට හිතේ සැනසීම තියෙන්න ඕන කියලා. මට ඒ සැනසීම දැන් තියනවා කියලාත් මං කිව්වා.

අත්හැරීම්වලින් මඟහැරීම්වලින් පුදුමාකාර විදියට හිත රිදවගත්ත කෙනෙක් මං. ඒත් ආස දෙයක් වුණත් මානසිකව වද දෙන දේවල් අත්හැරීමෙන් ලැබෙන මානසික සතුට මොන වගේද කියලා මම තේරුම්ගත්තා. ඊටපස්සේ මට නැතුවම බැරිවෙයි කියලා හිතපු අතින් අතහැරලා හිතින් අත්නොඇර හිටපු අය, හිතින් පවා අත්හරින්න පුළුවන්කමක් ඇතිවුණා. අද මට ලේසිම දේ අත්හැරීම වෙලා.

ගෑනුන්ට ඉවසන්න පුළුවන් ගොඩක්. ඉවසලා ඉවසලා ඉවසන සීමාව පැන්නාම එතැන ඉඳන් ආපහු ඉවසන්න පටන්ගන්න පුළුවන්. මාත් එහෙම ජීවිතේ සමහර දේවල් සමහර බැඳීම් වෙනුවෙන් ඉවසලා තියෙනවා. ඒත් ඒ දේවල්වලින් අපේ හිතේ නිදහස නැති වෙනවා නම්, හිතින්ම අත්හැරීමයී හොඳ. ඒක මුලදී අමාරු වුණත් පස්සේ කාලෙක ජීවිතේ කරපු හොඳම දේ කියලා හිතලා හිතට එකඟව සතුටු වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඉවසන්න ඉවසන්න ඒකට හරි වටිනාකම නොලැබෙද්දී අපි නැති කරගන්නේ අපිවමයි. හොඳම දේ ඒ තැනින් අයින්වෙන එක. ඉවසීමෙන් සැනසීම ලැබෙන දේකට ඉවසන්න.

මං මේ කියන්නේ හිතේ සැනසීම හොයන්න කොණ්ඩෙ තට්ටේ ගාන්න කියලා නෙවෙයි. මගේ අත්දැකීමකින් මං ඉගෙනගත්ත වටිනම දේ මං මගේ ජීවිතේට ගළපගත්ත විදිය ලිව්වේ. මං දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ පවුලේ සතුට මගේ හිතේ සැනසීම එක්ක බැඳිලා. මං පීඩනෙන් ඉඳපු වෙලාවල්වල මගේ පවුලේ සතුටට ඒක බධාවක් වුණා. ඒත් අද සැනසීම රැකගන්න ඕන විදිය මම දන්නවා.

මං කොණෙඩේ තට්ටේ ගෑවට පස්සේ කණ්ණාඩියෙන් බලලා මං එක්ක හිනාවෙද්දී, ‘‘ඔයා ලස්සනයි, මේ වයසෙදී ගෑනියෙක් නොකරන දෙයක් ඔයා කළේ, කොණ්ඩේ යනවා කියලා තට්ටේ ගාන්නම ඕනද? ඔයාගේ හිත හයියයි රෝසී. ඔයාට ඕන දෙයක් අතාරින්න පුළුවන්…’’ කියලා දහම් කිව්වා.

ඔව් ‘දරුවෝ ඇරුණාම’ ඕන දෙයක් අතහරින්න පුළුවන් කියලා මාත් මූණේ ඇඳිච්ච හිනාවෙන්ම කිව්වා.

දරුවෝ අතැරලා හිතේ සැනසීම හොයන්න සමහර ගැනු අයට පුළුවන් වුණාට ගොඩක් ගෑනුන්ට බෑ. මාත් ඒ ගොඩක් ගෑනුන්ගෙන් එක්කෙනෙක්.

හෂිනී මනමේන්ද්‍ර