නවතම ප්‍රවෘත්ති

ආහාර හිඟයක් ආවත් දෙයියනේ කියලා අපිට නම් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ

ඉවත දාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන පොළොවක්නේ අපිට තියෙන්නේ කියල කිව්වට මොකද අපි කීයෙන් කී දෙනාද ඒ පොළොවෙන් ප්‍රයෝජන ගන්නේ? ගොඩක් අයට ඔය වගේ ලොකු ලොකු කතා මතක් වෙන්නෙත් මේ වගේ අමාරු කාල ආවම විතරයි. මතකනේ කොරෝනා කාලේත් රැල්ලට වවන්න පටන්ගත්තු බහුතරේට පස්සේ ඒ වැවිල්ල අමතක වුණා.

හැබැයි අමාරු කාල, අමාරු නැති කාල කියලා කාල නිර්ණය කර කර ඉන්නේ නැතිව පුළුවන් විදිහට වත්තේ ගහක් කොළක් වවාගත්තු මිනිස්සු හැමදාම දිනුම්. වවලා දිනුව එහෙම කාන්තාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ඇය හසිනි එරංගාද මෙල්. හෝමගම, කටුවාන පිහිටි ඇගේ වගාබිමටම ගියපු මොහොතක අපේ කැමරා කාචයේ සටහන් වුණු ඇගේ රුවින් මෙවර ‘ධරණී’ කවරය සරසන්න අපි හිතුවා.

ඒක තනිකරම කොළ පාට වත්තක්. හෝමගම වගේ අර්ධ නාගරික ප්‍රදේශයක මෙහෙම වගාබිමක් තියෙනවද කියලා හිතන්න බැරිතරමට ඇගේ වගාව හරිම සරුසාරයි. වී ඇරෙන්න අනිත් හැම බෝගයක්ම වගේ හසිනිගේ ගෙවතු වගාවේ අපි දැක්කා. නුවරඑළියේ සීතල නැතිව වගා කරන්න බැරිය කියලා කියන එළවලු, පලතුරුත් ඒ අතරේ තිබුණා.

මෙතන පර්චස් කීයක් තියෙනවද?

ගෙයි බිම් ප්‍රමාණය ඇරුණම පර්චස් 22ක් තියෙනවා.

වත්තේ භූමි ප්‍රමාණය පර්චස් ගාණකට සීමා වුණාට උත්සාහය, කැපවීම නිසා අක්කර ගාණක අස්වැන්නක් මේ ගෙවතු වගාවෙන් ලබාගන්නා බවයි ඇය අපිත් එක්ක කිව්වේ.

හසිනිට වගා කරන්න හිතුණේ ඇයි?

මම පුංචි කාළේ ඉඳලා ගහට කොළට ආදරේ කෙනෙක්. ඉස්කොලේ යන කාලේ කෘෂිකර්මය විෂයක් විදිහටත් ඉගෙනගත්තා. හැබැයි ඉතින් ඒ කාලෙදි නම් වගා කරලා නැහැ. පාසල් අධ්‍යාපනය අවසාන කරලා ටික දවසකින් මම විවාහ වුණා. විවාහ වෙලා තමයි මෙහෙට ආවේ. මේක මගේ මහත්තයාගේ මහගෙදර. එයාගේ අම්මයි, තාත්තයි දෙන්නම විශ්‍රාමික හමුදා නිලධාරින්. මම මෙහෙට එනකොටත් ඔවුන් කුඩා පරිමාණයෙන් ගෙවතු වගාව කරනවා. ඒ කාලේ මම පෙරපාසල් ගුරුවරියක් විදිහට වැඩ කළා. ඉතින් ඔවුන්ගේ වගාවට ලොකු සහයෝගයක් දෙන්න මට කාලයක් තිබුණේ නැහැ. ඔහොම ටික කාලයක් යද්දි මට දුවෙක් ලැබුණා. ඇය ලැබුණට පස්සේ මට රැකියාවෙන් ඉවත්වෙන්න වුණා. ඊටපස්සේ අම්මලා කුඩාවට කරපු වගාව මගේ කෘෂිකාර්මික දැනුමත් පාවිච්චි කරලා ටිකක් ලොකුවට කරන්න හිතුවා. මුලින්ම මේ වැඩේ පටන්ගත්තේ 2008 දී.

නටන්න බැරි මිනිස්සුන්ට පොළොව ඇදයි කියනවා වගේ ගහක් කොළක් වවන්න වෙලාවක් නෑ, ඉඩක් නෑ කිය කියා කන්කෙඳිරි ගාන උදවියට නම් හසිනි හොඳ ආදර්ශයක්.

උවමනාව තියෙනවා නම් ඕනම දේකට කාලය හදාගන්න අපිට පුළුවන් කියලයි මම හිතන්නේ. දරුවගේ වැඩ ටිකයි, ගෙදරදොරේ වැඩයි හරියට කළමනාකරණය කරගත්තම වගාවේ වැඩවලට කාලය හොයාගන්න අමාරු වුණේ නැහැ.

මේ වැඩේ කරගෙන යනකොට ප්‍රායෝගික ගැටලු එහෙම මතුවුණේ නැද්ද?

අපෝ මොකද නැත්තේ. ප්‍රධාම ගැටලුව ඉඩකඩ මදිකම. ඒකට විසඳුමක් විදිහට අපි බඳුන් වගා, ටයර් වගා, තිරස් වගා වගේ විවිධ විකල්ප ක්‍රමවලට යොමු වුණා. ඊටපස්සේ ඉරඑළිය කළමනාකරණය කරගන්න එක. මොකද අපේ වත්තේ එක පැත්තකට අව්ව තියෙනවා, පැත්තකට නැහැ. ඉර වැඩිපුර වැටෙන පැත්තෙ හිරුඑළිය හොඳින් අවශ්‍ය බෝංචි, මෑකරල් ඇතුළු කරල් බෝග පැළ කළා. අව්ව අඩු පැත්තේ පළා වර්ග සහ අනිත් බෝග වර්ග වැව්වා. අනිත් එක ගොඩක් අයගේ තියෙන චෝදනාවක්නේ රසායනික පොහොර නැතිව වගා කරන්න බැහැ කියන එක. හැබැයි මට නම් එහෙම ගැටලුවක් මතුවුණේ නැහැ. මගේ වගාවේ හැම පැළයකටම දාන්නේ ගොම පොහොර, එළු පොහොර, කොම්පෝස්ට් වගේ කාබනික පොහොර විතරයි. මේ ගස්වල ගෙඩිවල ප්‍රමාණය ටිකක් කුඩා වුණාට කාබනික පොහොර දැම්මය කියලා පලදාවේ අඩුවක් වෙලා නැහැ. ගස්වලට වහන පුංචි සත්තු ඉවත් කරන්නවත් අපි වස විස ඉහින්නේ නැහැ. කොහොඹ කොළ හරි කුරුු කොළ හරි කොටලා ඉස්සහම කෘමීන් නිකන්ම ඉවත් වෙලා යනවා. කිසිම වසක් විසක් නැති නිසා හිතට බයක් නැතිව දරුවන්ට කන්න දෙන්න පුළුවන් එකම ලොකු දෙයක්නේ.

අද වෙනකොට රටේ උද්ගත වෙලා තියෙන ආර්ථික අර්බුදය එක්ක ඉදිරියේදී දරුණු ආහාර හිඟයක් ඇති වෙන්නත් පුළුවන් කියන එක අපි කාටත් වැටහෙන කාරණාවක්නේ. එවැනි තත්ත්වයක් උදා වුණත් තමාගේ පවුලටනම් ගැටලුවක් ඇති නොවෙන බවයි හසිනි විශ්වාසයෙන් යුතුව කිව්වේ.

අපි මේ වෙනකොටත් එළවලු, පලතුරු, පළා වර්ග, කුළුබඩු කඩෙන් ගේන්නේ නැති තරම්. ගෙදර ආහාර අවශ්‍යතාවයෙන් 80%ක්ම ලබාගන්නේ ගෙවත්තෙන්. කොරෝනා කාලෙදිවත් අපිට ආහාර අඩුපාඩුවක් වුණේ නැහැ. අවුරුද්දකට දෙකකට ඕන කරන කහ, ගම්මිරිස් පවා දැන් ලැහැස්ති කරලා ඉවරයි. අතිරික්ත අස්වැන්න ගමේ කඩවලට දානවා. ඒකෙනුත් අතමිට සරුවෙන හොඳ මුදලක් ලැබෙනවා. ඊට දෙවෙනි නැහැ ගහක් පීදෙනකොට හිතට දැනෙන සතුට. ඇත්තම කිව්වොත් මට නම් දැන් මේ හැම ගහක්ම මගේ දරුවෝ ගානයි. ඒ තරම් ආදරෙන් මම ඒවා බලාගන්නවා.

ඇය එහෙම කිව්වේ හදවතින්ම. සරුසාර බව නිසාම හසිනිලාගේ වගාබිම නරඹන්නත් බොහෝදෙනා එනවලු. ඒ බව ඇය අපිත් එක්ක කිව්වේ කැරට්, බීට්, මිරිස්, නෝකෝල්, හිඟුරල, මාලු මිරිස් වගේ බෝග වර්ග අපිටත් පෙන්නන ගමන්මයි.

එහෙම එන හැමෝටම මම විවිධ වගා ක්‍රම ගැන කියලා දෙනවා. අපේ වත්ත බලලා යන හැමකෙනෙක්ම ගෙදර ගිහින් මිරිස් පැළයක් හරි හිටවනවාම තමයි. ගෙවත්තේ ඉඩකඩ නැති නිසා නැත්තම් උඩුමහලක ජීවත්වෙන නිසා ගහක් කොළක් වවන්න බැහැ කියලා මට ගොඩක් අය කියනවා. ඉඩ නැති අයට තිරස් ක්‍රම සහ බඳුන් වගා වගේ විකල්ප ක්‍රම භාවිත කරන්න පුළුවන්. අනික ඉඩකඩ නැති අයට වවන්න සුහුරු සිරස් කෘෂිකාර්මික ක්‍රමය කියලා ක්‍රමවේදයක් එහෙමත් රජයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් ගැන ප්‍රදේශයේ කෘෂි සංවර්ධන නිලධාරින්ගෙන් දැනගන්න පුළුවන්.

මේ හැම කටයුත්තකටම ඇයට සැමියාගේ දෙමාපියන්ගෙන් විශාල සහායක් ලැබෙන බව හසිනි කතාවේ මුල ඉඳලම පුන පුනා කිව්වා. ඒ වගේම ඇගේ සැමියාගෙන් සහ දියණියගෙන් ලැබෙන සවිය ගැන මතක් කරන්නත් ඇය අමතක කළේ නැහැ.

වත්තේ වගාව පටන්ගන්න කලින් වවනවාය කියන සිතුවිල්ල හිත ඇතුළේ පැළ කරන්න. මොකක් හරි අභිප්‍රේණයක් ලැබුණම වවන්න පටන්ගන්න ගොඩක් අයට දවසෙන් දෙකෙන් වගාව අමතකයි. එහෙම බැහැ. මේක හොඳ කැපවීමකින් කරන්න ඕන වැඩක්. මම හැම දවසකම වත්තෙ තියෙන හැම ගහකම කොළේ ගානේ අතපත ගානවා. පුළුවන් විදිහට වත්තේ අලයක්, කොළයක් වවාගත්තොත් කවදාවත් දරුවන්ව බඩගින්නෙ තියන්න ඕන වෙන්නේ නැහැ. අනික දෙයියනේ කියලා කාටවත් අතපාන්නේ නැතිව ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් අද ඉඳලාවත් පුළුවන් විදිහට වවන්න පටන්ගන්න කියලයි මම නම් හැමෝටම කියන්නේ.

වත්තේ පිටියේ ඉඩකඩ තියාගෙනත් මිරිස් කරල, රම්පේ, කරපිංචා කොලේ ඉඳලා සල්ලිවලට ගන්න හුරුවුණු උදවිය කොච්චර නම් අපේ රටේ ඉන්නවද? එහෙම ඉන්න ගමන් නිධානයක් උඩ ඉඳගෙන හිඟා කනවා කිය කියා අඳෝනා තියනවට වඩා පුළුවන් විදිහට එළවලුවක් පලතුරක් වවන එක වටිනවා කියන එක නෙමෙයිද ඇය අපිට මේ ආදර්ශයෙන් පෙන්නලා දෙන්නේ?

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි 

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන