ප්‍රීතිමත් ජීවිතයකට

ගර්ල් ෆ්‍රෙන්ඩ් හවස 6ට ගන්න කෝල් එක ඉවර කරන්නෙ පහුවදා පාන්දර 7ට

මිනිස්සු ආදරය ඉදිරියේ පරදින්නේ ඇයි? ලෝකයේ මෙතරම් ආදර සම්බන්ධතා බිඳී යන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙකටම තියෙන්නෙ හරිම සරල උත්තරයක්. මේ උත්තරය හරියාකාරව තේරුම් නොගත්ත සමහර මිනිස්සු නැවතුනේ සදාකාලික මානසික රෝගීන් බවට පත්වෙලා.

මේ ළඟදි මට හමුවුණා හරි අපූරු තරුණියක්. ඇය තමන්ගේ පෙම්වතාව හරිම අසාධාරණ විදිහට සැක කරනවා. පෙම්වතාට ගැහැනු ළමයෙක් දිහා ඇස් කොණකින්වත් බලන්න අවසරයක් නැහැ. මම කියනවට විශ්වාස කරන්න මේ ගෑනු ළමයා තමන්ගේ රැකියාව ඉවරවෙලා හරියටම හවස හයට පෙම්වතාට දුරකතන ඇමතුමක් ගන්නවා. ඒ ඇමතුම ඉවර වෙන්නේ පහුවෙනිදා උදේ 7ට. ඒකෙන් මේ ගෑනු ළමයා බලාපොරොත්තු වෙන්නේ ඒ කාල පරාසය ඇතුළතදී තමන්ගේ පෙම්වතා වෙන කිසිම ගැහැනු ළමයෙක් සමඟ Chat කරන එකක් නැහැ කියලයි. ආදර සම්බන්ධතාව පටන් ගත් දවසේ ඉඳන් පෙම්වතා අද වෙනකම් එක දවසක්වත් තමන්ගේ යහළුවන් සමඟ විනෝද චාරිකාවක් ගිහිල්ලා නෑ.

මේ තරමට සැක කරන්න හේතුව මොකක්ද කියලා හොයලා බලද්දි අපිට හමුවුණේ හරිම අමුතු හේතුවක්. මේ ගැහැනු ළමයාගේ කලින් පෙම්වතා හරිම දරුණු විදිහට ඇයව රැවටීමකට ලක්කරලා තියනවා. එම රැවටීමත් එක්ක මේ ගැහැණු ළමයා ගොඩක් ලොකු වේදනාවක් විඳලා තියෙනවා. ඒ ආදර කතාව ඉවර වෙලා අවුරුදු දෙක තුනක් ගතවෙලා තිබුණත් එම සිදුවීම් ගැහැනු ළමයගේ ඔලුවෙ තුළ තාමත් හොල්මං කරනවා. එම සම්බන්ධතාවය නිසා ඇයගේ ඔලුවේ නිර්මාණය වුණු සැකය කියන පාට කණ්ණාඩිය හරහා තමයි ඇය තමන්ගේ අලුත් පෙම්වතා දෙසත් බලන්නේ. ඇයගේ පෙම්වතාත් මේ කතාව දන්නවා. ඔහු ආදරය නාමයෙන් තමන්ගේ පෙම්වතියගේ අසාධාරණ සැකකිරීම් ඉවසනවා. නමුත් ඕනෑම මනුස්සයෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා නොවැ. ඉතින් කවදහරි මේ පිරිමි ළමයා එයාගේ සීමාවට ළංවුණාට පස්සේ ඔවුන්ගේ මෙම සම්බන්ධතාව කොයි විදිහට දෙදරලා යාවිද කියන එක නම් විශාල ප්‍රශ්නයක්!

මෙච්චර දරුණු ප්‍රමාණයෙන් නැතිවුණත් සමාජයේ අති බහුතරයක් දෙනා මෙන්න මේ වැරැද්ද සිද්ධ කරනවා. ‘‘කලින් Boyfriend වගේ මෙයා බොරු නම් කියන්නේ නැහැ, ඒ වුණාට මෙයාට මාව හම්බෙන්න වෙලාවක් නැහැ. කොයිවෙලාවේ බැලුවත් වැඩමයි’’, ‘‘මොනදේ තිබුණත් මගේ Husband, Ex Boyfriend තරම් ලස්සන නැහැනේ!’’ වගේ වාක්‍ය මිනිස්සුන්ගේ කටින් පිටවෙන්නේ අන්න ඒ පාට කණ්ණාඩි නිසයි. පාට කණ්ණාඩි වගේම දරුණු දෙයක් තමයි සුව නොවන තුවාල කියලා කියන්නේ! කලින් පෙම්වතාව මතකයේ තියාගෙන තව කෙනෙක්ට ආදරය කිරීමට යෑම කවදාකවත් ඔයාව හොඳ ගමනාන්තයකටනම් අරගෙන යන්නේ නැහැ! හේතුව තමයි සුව නොවුණු තුවාල කියන්නේ හරිම ලේසියෙන් පෑරෙන්න පුළුවන් ජාතියක්! උදාහරණයක් විදිහට ඔයා දැන් ඉන්න ආදර සම්බන්ධතාවයේ පොඩි ප්‍රශ්නයක් වෙලා පොඩි හරි ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වුණොත්, කලින් සම්බන්ධතාවය නිසා හටගත් ප්‍රතික්ෂේප වීම කියන තුවාලය යටටම පෑරිලා පැසවන්න වුණත් පුළුවන්.

ඉතිං ආදර සම්බන්ධතාවලදී ගොඩක්දෙනා අසමත් වෙන්න හේතුවන පළමු දෙය තමයි මෙන්න මේ කියන කලින් සම්බන්ධතාවල සෙවණලි ඔළුව ඇතුළෙ තියාගෙන, එම සම්බන්ධතාවලදී ඇතිවුණු තුවාල සුව වෙන්නටත් මත්තෙන් අලුතෙන් සම්බන්ධතාවයක් පටන් ගැනීම!

දෙවෙනි කාරණය තමයි ආකර්ෂණයේදී සිදුවන වැරදීම්! ආදර සම්බන්ධතාවලදී මිනිසුන් ආකර්ශනය වන අංශ පහක් පවතිනවා. 01) ශරීරය සහ බාහිර පෙනුම 02) මානසික මට්ටම 03) සමාජයීය මට්ටම සහ ධනය 04) ආධ්‍යාත්මික පැතිකඩ (Spiritual) සහ 05) ඔබ ගැන පවතින හැඟීම් (Emotions) යනු එම අංශ පහයි.

ඇත්තම කතාව තමයි දෙන්නෙක් මුණගැහුනහම මුල් කාලයේ පවතින්නේ ආකර්ෂණයක්. ඒ ආකර්ෂණය තමයි කාලයත් සමඟම ආදරේ දක්වා වැඩිදියුණු වෙන්නේ. ශරීරය සහ බාහිර පෙනුමට ඇතිවන ආකර්ෂණය ගැන නම් ඔයාලා හොඳින් දන්නවානේ! එයා හිතන්න පතන්නේ කොහොමද? දේවල් දිහා දකින්නේ කොහොමද? කියන කාරණා අදාළ වන්නේ මානසික මට්ටමට. සමහර Fb ආදරවන්තයෝ මූණට මුණ දැකලා නැති වුණත් ගොඩක් වෙලාවට එකිනෙකාට ආකර්ෂණය වන්නේ අනිත් කෙනා හිතන පතන විදිහට ආස වීමෙන්. ඒ වගේම මිනිස්සු වැඩියෙන්ම ආකර්ෂණය දෙයක් තමයි අනිත් අයගේ රැකියාව, ඔවුන් උපයන මුදල් ප්‍රමාණය සහ යාන වාහන කියන දේ!

ඉතින් මෙන්න මේ අංශ තුනෙන්ම ආකර්ෂණය ඇති වුණාට පස්සේ මිනිස්සු හිතනවා ඔවුන්ට ගැළපෙනම ආදරය හම්බවුණා කියලා. මේ අංශ තුන ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න හොඳටම ප්‍රමාණවත් වුණත් ආදර සම්බන්ධතාවයක ගලායාම දීර්ඝකාලීනව සිදු කරන්න මේ අංශ තුනට හැකියාවක් නැහැ.

ඒ සඳහා අනිවාර්යෙන්ම ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාව රැකබලාගන්නා ආකාරය, ඔවුන් ඔබට ආදරණීය හැඟීම් බෙදන ආකාරය සහ ඔවුන්ගේ ආධ්‍යාත්මීය පැතිකඩට ඔයා අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙන්න ඕන.

කෙනෙකුට ආචාර්ය උපාධියක් තිබූ පමණින් ඔහු හෝ ඇය කරුණාවන්ත බවක් අදහස් වෙන්නේ නැහැ. කෙනෙක් අතිශය කඩවසම් වූ පමණින් ඔහු ඔබව රැකබලා ගන්නා බව අදහස් වන්නේ නැහැ. කෙනෙක් ඉතාම ධනවත් වූ පමණින් ඔබේ ආධ්‍යාත්මික මට්ටමට සමාන මට්ටමක් තිබේයැයි බලාපොරොත්තු වන්න බැහැ. ඉතින් මං හිතනවා ඔබට තේරෙනවා ඇති කියලා! මුල් අංශ තුන ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න හොඳ උත්තේජනයක් ලබා දුන්නත් සම්බන්ධතාවය දීර්ඝකාලීනව අරගෙන යන්න ඒවාට කිසිම හැකියාවක් නැහැ.

මුල් කරුණු තුන ඉතා හොඳට නොතිබුණත් අන්තිම කරුණ දෙකේ ආකර්ෂණ ඉතාමත් ප්‍රබලයි නම් ඔයාගෙ ආදරය ජය ගන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. ලස්සන ගැහැනු ළමයෙක් ටිකක් කළු පිරිමි ළමයෙක් එක්ක යාළු වුණොත් අපි දකිනවා ‘‘හොඳ ඇපල් කන්නෙම පණුවොනේ!’’ කියලා මිනිස්සු කියනවා. හැබැයි ඒ පිරිමි ළමයගේ Caring, Emotions සහ Spiritual Side එකට ගෑනු ළමයා තදින්ම ආකර්ෂණය වෙනවා නම්, කවුරු මොනවා කිව්වත් එයාට හොඳම කෙනා තමයි ඒ පිරිමි ළමයා! සල්ලි අද තියෙනවා හෙට නැති වෙනවා වෙන්න පුළුවන්. ලස්සන මිනිස් රූප කැතවෙන එක ලෝක ධර්මතාවයක්! නමුත් පිරිමි ළමයා ඔයාට සළකන විදිය සහ ගරු කරන විදිය වෙනස් වෙන්නේ නැතිනම් ඔයාගේ ආදරේ සදහටම දිනුම්. ඔයා එයාගේ ආධ්‍යාත්මයට ආකර්ෂණ වෙනවා නම් ඔයාලා දෙන්නට ලොකු ගමනක් යන්නත් පුළුවන්.

ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටින්නේ කෙනෙකුගේ රූපය, ධනය, රැකියාව, මානසික මට්ටමට ආකර්ෂණය වුණු පමණින්ම එයා තමයි මට ගැළපෙනම කෙනා කියලා හිතලා හදිසි තීරණ ගන්නේ නැතිව ඔහුගේ හෝ ඇයගේ Emotions සහ Spiritual Sides ගැනත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඔහුව හෝ ඇයව කාලයක් තිස්සේ Study කරන්න. මොකද ගොඩක් වෙලාවට අපිට මුලින්ම පේන දේ හරිම දේ නෙමෙයි.

හසින්ත හේවාවසම්