විශේෂාංග

උදේට බත් කෑවෙ නැත්නම් හිතට හරි නෑ වගේද?

මං උදේට කන්න පුරුදු වෙලා හිටියේ පිටිවලින් හදපු කෑම. රොටි, ඉඳිආප්ප, පාන්, පෑන් කේක් ඊටපස්සෙ ඇට වර්ග. මේ දේවල්වලින් අපේ බඩ පිරුණට, රස දැනුණට ඇඟට ව්‍යායාමයක් කළේ නැත්තම් ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන් කියලා අන්තර්ජාලයේ කියවපු ලිපියකින් මං දැනුවත් වුණා. පස්සේ තවත් හොයලා බලද්දී තමයි මට smoothie කියන වචනේ හොයාගන්න ලැබුණෙ. පස්සෙ මම ඒක ගැන තවත් හොයලා බැලුවා. ඒක එළවළු හරි පළතුරු හරි යොදාගෙන කිරි, යෝගට් දාලා බ්ලෙන්ඩර් කරලා හදන ඝන දියරයක්.

පස්සේ ස්මූති ලිස්ට් එකක් හොයන් ඒ ලිස්ට් එකේ තිබුණ දේවල් පාවිච්චි කරලා දවස ගානේ උදේට හදලා බැලුවා. පස්සේ මගේ උදේ ආහාරවේල ඉබේම ස්මූතිවලට පෙරලුණා. මගේ උදේ දවස පහසු කරන්න මට ඒක ගොඩක් ලොකුවට උදව් වුණා. මං කෑම පාලනය කරන්න කලින් ඉඳන්මයි smoothie හදලා උදේට බොන්න පටන් ගත්තේ. ඇඟටත් හරි සැහැල්ලුයි. බඩත් පිරෙනවා. කුස්සියේ හෝදන්න ගොඩක් භාජන එකතු වෙන්නෙත් නෑ. මගේ වෙලාවත් ඉතුරුයි. හැම පළවෙනිදාම උදේට හදන කිරිබත ඇරුණාම අනික් හැම දවසම වගේ හැදුවේ ස්මූති.

මං ස්මුතී හදන්න පාවිච්චි කරේ ගොඩක් වෙලාවට පලතුරු, මේදය රහිත නැවුම් කිරි, මේදය රහිත රසකාරක නැති යෝගට්, ආමන්ඩ් කිරි, chia seeds වගේ දේවල්. සීනි පාවිච්චි කරේම නෑ. තව මේකට ඕටස් එකතු කරා. මේ විදියට මං ස්මූති හදන්නේ මටයි දහම්ටයි විතරයි. පොඩි අයට මෙහෙම බොන්න අමාරුයි. පැටව් තුන්දෙනා ස්මූතිවලට ලොකු කැමැත්තකුත් නෑ. මොකද මං ස්මුතිවලට දාන පලතුරු එයාලා ආස නිකන් කන්න. දහමුත් මේ ස්මූති බොන එකට වැඩි කැමැත්තක් පෙන්නපු නිසා මට තවත් පහසු වුණා. අපි තේ එකක් බිව්වෙත් ඉඳලා හිටලා ආසාවට වගේ.

මේ පහතින් දාලා තියෙන්නේ මං හදපු ස්මූති වර්ග ටිකක්.

*අලිගැටපේර එක ගෙඩියක් + ඕට්ස් මේස හැඳි එකක් + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*කෙසෙල් ගෙඩි දෙකක් + ඕට්ස් මේස හැඳි එකක් + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*ඉදුණු අඹ එක ගෙඩියක් + ඕට්ස් මේස හැඳි 1ක් + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*අලිගැටපේර එක ගෙඩියක මදය + ඕට්ස් මේස හැඳි 1 ක් + නිවිති + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*පොඩියට කපපු ස්ට්‍රෝබෙරි කෝප්ප එකයි + කෙසෙල් ගෙඩියයි + එක අතකට එකතු වෙන නිවිති කොළ අහුරක් + chia seeds තේ හැඳි එකක් + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*කෙසෙල් ගෙඩි එකයි + චොකලට් පවුඩර් තේ හැඳි එකයි + මීපැණි තේ හැඳි භාගයයි + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1

*පොඩියට කපපු අන්නාසි කෑලි කෝප්ප 1යි + කෙසෙල් එක ගෙඩියයි + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට්මේස හැඳි 1

*පොඩියට කපපු ස්ටොබෙරි කෝප්ප එකයි + මේදය රහිත කිරි මිලිලීටර් 150 + මේදය රහිත යෝගට් මේස හැඳි 1 + chia seeds තේ හැඳි 1

මේ මං දාලා තියෙන ප්‍රමාණයන් ඇති වෙන්නේ එක්කෙනෙකුට විතරයි. තව මං බ්ලුබෙරි, රාස්ප්බෙරි කියන පලතුරු වර්ගත් පාවිච්චි කරනවා. ඒ දේවල් මේ ලිස්ට් එකට එකතු කරලා නැත්තේ ලංකාවේ ඒ පලතුරු හොයාගන්න තියෙනවද කියලා දන්නෙ නැති නිසා.

අනිත් වැදගත්ම දේ ස්මූති හදලා ගොඩක් වෙලා තියාගන්න බෑ. විනාචි 20 ක් වගේ පුළුවන්. නරක් වෙනවා නෙවෙයි අවර්ණ වෙනවා. එතකොට බොන්න අප්පිරියා ගතියක් දැනෙනවා. ඒ නිසා හදපු ගමන් බොන එක හොඳයි.

පලතුරුවලත් සීනි තියෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. අපි කෑම පාලනය කරනකොට ගොඩක්ම පාලනේ කරන්නේ සීනි. සීනි නැතිම වෙන්නත් හොඳ නෑ ඇඟේ. හැමදේම බැලන්ස් එකකට තියාගත්‍තාම ලෙඩ ගැන බය වෙන්න දෙයක් නෑ.

කෑමබීමවලින් අපි පරිස්සම් වෙන්න ඕනේ ඇඟ හැඩ කරගන්නම නෙවෙයි. අනවශ්‍ය ‍රෝග හැදිලා දුක් විඳින්න ජීවිතයක් ලබාගන්නෙ නැතුව ඉන්න. ඒ නිසා අද දවසේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන තරමට හෙට දවසෙත් ආස කෑම කන්න ආස විදියට ජීවත් වෙන්න ජීවිතේ දවස් ඉතුරු කරගන්න අපිට පුළුවන්.

හැමවෙලේම කෑමට ගන්න ආහාර හොඳ ඒවා ගන්න. පුංචි හරි ඉඩක් ගෙදර තියෙනවා නම් කෑමට ගන්න පුළුවන් කොළ වර්ගයක් හරි වවන්න. පලතුරක් වවාගන්න.

පුළුවන් අය උත්සහ කරලා බලන්න. වරදක් වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි.

සතුටින් පිරුණ සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා!!!

හෂීණී මනමේන්ද්‍ර