Latest News

අධික උෂ්ණත්වය නිදැල්ලේ හැසිරෙන සතුන්ටත් බලපායි

මෙරට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එම සතුන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසටත් ඒ සම්බන්ධයෙන් ගොවීන්ට උපදෙස් නිකුත් කරන ලෙසටත් පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනටමත් උපදෙස්දී ඇති බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළා.

එමෙන්ම නිදැල්ලේ හැසිරෙන සතුන් අධික උෂ්ණත්වය හේතුවෙන් මියයෑමට පවා ඉඩ ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ගවයන් ඇතුළු නිදැල්ලේ හැසිරෙන සතුන් හොඳින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත මෙන්ම ජල මූලාශ්‍ර සහිත ස්ථානවල රැඳවීමට පියවර ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ,

අධික උෂ්ණ සහගත කාලගුණය හේතුවෙන් සතුන්ට පැය 24 පුරාම පානය කිරීම සඳහා ජලය සැපයිය යුතු අතර අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සතුන් ජලයෙන් තෙමීමද වැදගත් බවයි.

එමෙන්ම අධික උෂ්ණත්වය හේතුවෙන් කිරි නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවිය හැකි බවත් සතුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවී මරණය පවා සිදුවිය හැකි අතර උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වල කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.