සුව දිවිය

කළලය ගබ්සා වෙන්න කලින් රෝගය හඳුනගන්න

ගර්භනී කාන්තාවකට ප්‍රතිකාර නොකළ උපදංශය, HIV වැනි ලිංගාශ්‍රිත රෝගයක් ඇතිවිට එය දරුවාට සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉඩකඩ වැඩිය. එසේම ඒවායේ බලපෑම නිසා දරුවාට බරපතළ සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවීමේ අවදානමක් ඇත.

නමුත් ගැබ්ගත් මුල් අවධියේදීම හඳුනාගැනීමෙන් මෙම රෝග මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්විය හැකි බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය I.L.ජයවීර අපත් සමඟ සිදුකළ සංවාදයකදී ප්‍රකාශ කළේය. මේ එම සංවාදයේ සටහනයි.

උපදංශය කියන්නෙ මොන වගේ රෝගයක්ද? කොහොමද ඇතිවෙන්නේ?

‘Treponema Pallidum’ කියන බැක්ටීරියාව තමයි උපදංශය ඇති වෙන්න හේතුවෙන්නේ. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන බැක්ටීරියාවක්. අපි සිෆිලීස් කියලා හඳුන්වන්නෙත් මේ තත්ත්වයම තමයි. මෙහිදී සිද්ධ වෙන්නේ ලිංගේන්ද්‍රිය අභ්‍යන්තරයේ, පිටත එහෙමත් නැත්නම් ගුද මාර්ගයේ තුවාල ඇතිවීමයි. ඒ වගේම බැක්ටීරියාව ආසාධිත පුද්ගලයෙක් සමඟ මුඛ සංසර්ගයේ යෙදුණොත් මුඛය අවට පවා තුවාල ඇතිවෙන්නෙ පුළුවන්. මේ තත්ත්වයට ප්‍රතිකාර නොකළොත් වසර ගණනාවකට පස්සේ මේ බැක්ටීරියාව හෘදය, මොළය, අස්ථි, ස්නායු වගේ පද්ධතිවලටත් බලපෑම් ඇති කරනවා. එතැනදී ජීවිතයට වුවත් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

උපදංශය වගේ ලිංගාශ්‍රිත ​රෝගයක් මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වුණොත් ඒක ඒ දරුවට හානිකර වෙන්නේ කොහොමද?

උපදංශය කියන තත්ත්වයේ ප්‍රභේද රාශියක් තිබෙනවා. එයින් ප්‍රාථමික සහ ද්විතීක කියන වර්ග දෙක මවගෙන් දරුවට බෝවීමට ති​බෙන ඉඩකඩ වැඩියි. මවගෙන් දරුවට උපදංශය සම්ප්‍රේෂණය වෙන එකට අපි කියන්නේ සංජානනීය උපදංශය කියලයි.

මේ තත්ත්වය නිසා කළලය ගබ්සා වෙන්න වුණත් ඉඩ තිබෙනවා. උපදංශය වගේ ලිංගාශ්‍රිත රෝගයක් තමන්ට වැළඳිලා කියලවත් නොදැන නිතරම දරුගැබ ගබ්සා වෙනවා කියලා දුක්වෙන කාන්තාවන් අපි දැකලා තියෙනවා.

සංජානනීය උපදංශය නිසා දරුවාගේ ශරීරයේ සහ අස්ථිවල විකෘතිතා ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම මොළයේ, හෘදයේ සහ ස්නායු පද්ධතියේ ගැටළු ඇති වෙන්නත් මේ තත්ත්වය බලපානවා. එතනින් ගියහම මේ තත්ත්වය නිසා මළදරු උපතක් සිදුවීමට හෝ ඉපදිලා දින කිහිපයකින් දරුවා මියයාමටත් ඉඩ තිබෙනවා.

ඉතින් ගර්භනී මවකට උපදංශය තිබෙන බව කල්තියා අඳුනගන්න ක්‍රමයක් නැද්ද?

තියෙනවා. ගැබිනි මවකට උපදංශය තිබෙන බව කල්තියා හඳුනාගන්න එක ඉතාම වැදගත්. ඒකට අපි VDRL (Venereal Disease Research Laboratory Test) කියලා මූලික හඳුනාගැනීමේ පරීක්ෂණයක් කරනවා. මෙතැනදී කරන්නේ මවගේ රුධිරය අරගෙන විශේෂ පරීක්ෂාවක් කරන එකයි. හැබැයි මේ පරීක්ෂණය පොසිටිව් වුණු පලියටම කෙනෙක්ට උපදංශය තිබෙනවා කියන්නත් බැහැ. මොකද සම්බන්ධක පටක ආශ්‍රිත රෝග තිබෙන අයට එහෙමත් නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වයක් තිබෙන අයට එහෙමත් මේ පරීක්ෂණය පොසිටිව් වෙන්න ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගර්භනී බව නිසාම මේ පරීක්ෂණය පොසිටිව් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා VDRL එක පොසිටිව් වුණොත් TPPA කියන පරීක්ෂණයත් කරලා තමයි රෝග තත්ත්වය තිබෙන බව තහවුරු කරගන්නේ. මේ VDRL පරීක්ෂණය ඉතා විශේෂිත එකක් නිසා එය රජයේ සායනයකින්ම සිදුකරගැනීම ඉතා වැදගත්.

තත්ත්වය අඳුනගත්තට පස්සේ දරුගැබට හානියක් නොවන විදිහට ඒක පාලනය කරන්න පුළුවන්ද?

ඔව්. මුල් කාලසීමාවෙම අඳුනගත්තොත් දරුගැබට කිසිම හානියක් ඇති නොවෙන්න රෝගය සුව කරන්න පුළුවන්. එතකොට අපි අර කලින් කිව්ව සංකූලතා වෙන්න තිබෙන අවධානම අඩුයි. 2019 වර්ෂ​යේ අපි ඒ විදිහට හඳුනාගත් මව්වරුන් 45කට පමණ ප්‍රතිකාර කළා.

ගර්භනී මවකට HIV තියෙනවද කියලා හඳුනාගන්නත් පරීක්ෂණයක් කරනවද?

ඒ සඳහා HIV රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. එමගින් අපි වාර්ෂිකව අපි HIV වැළඳුන ගර්භණී කාන්තාවන් 16 දෙනෙක් පමණ හඳුනාගන්නවා. මවට HIV තියෙනවා කියලා කළලයේ මුල් කාර්තු දෙක ඇතුළතදී හොයාගත්තොත් දරුවට සම්ප්‍රේෂණය නොවෙන විදිහට රෝගය පාලනය කරන්න ඉතා පහසුයි.

මවට HIV කියලා හඳුනාගත්තට පස්සේ රෝගය පාලනය කරන්නේ කොහොමද?

එතැනදී අපි ඒ මවට ප්‍රතිවෛරස ඖෂධ ලබාදීලා වෛරසය පාලනය කරනවා. මවගේ ශරීරයේ තිබෙන වෛරස් ප්‍රමාණය හඳුනාගත නොහැකි මට්ටමටම අඩු වුණාට පස්සේ මවගෙන් දරුවට HIV සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ.

මේ පරීක්ෂණවලට යොමු වෙන්නේ කොහොමද?

රජයේ සායනවලින් ගර්භනී මව්වරුන් සඳහා සුවිශේෂී පරීක්ෂණ පැකේජයක් නොමිලේම ලබාදෙනවා. මේ පැකේජයට රුධිර පරීක්ෂණ, කායික පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ වගේම අපි කතාබහ කළ VDRL සහ HIV පරීක්ෂණත් අන්තර්ගතයි.

ගර්භනී බව දැනගත් විගසම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් කිරීමට අමතක නොකළ යුතුයි. ඒ වගේම දරු ගැබට සති 6-8ත් අතර කාලය තුළ පළමු මාතෘ සායනයට සහභාගී වීමත් ඉතාම වැදගත්. පළමු සායනයේදීම මේ පරීක්ෂණ කරගන්න පුළුවන් කියන එකත් කියන්න ඕනේ.

ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණවලට යොමුවෙන සාමාන්‍ය ජනතාවගේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා අවමයි. නමුත් වෙනත් පරීක්ෂණ පැකේජයක් සමඟ ලබාදෙන නිසා ගැබිනි මව්වරුන්ගෙන් 99%ක්ම මේ පරීක්ෂණවලට සහභාගී වෙනවා. ඒ නිසාම අද වෙනකොට ලංකාව සංජානනීය උපදංශය සහ මවගෙන් දරුවාට HIV ආසාදනය වීම තුරන් කළ රටක් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම එය අපේ රටේ සෞඛ්‍ය සේවය ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ තත්වය දිගින් දිගටම පවත්වා ගන්න එකත් වැදගත්

තමන් ගැනත් තමන්ගේ දරුවා ගැනත් හිතන ආදරණීය මවක් විදිහට මේ පරීක්ෂණවලට සහභාගී වෙන එක ඉතාම වැදගත් කියන එක තමයි අවසාන වශයෙන් කියන්න ඕනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි