ස්වයං රැකියා

බියොන්සෙ නෝනගේ හොට් සෝස් එක අපිත් හදලා බලමුද?

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා

පුංචි කැරලි තියෙන මගේ උපන් කොණ්ඩෙට මම කැමතියි

උපතින් ලැබුණු නිග්‍රෝ නහයට කැමතියි

කොච්චර සල්ලි හරිහම්බ කළත් මම මගේ සම්ප්‍රදායන්ට ගරු කරනවා

ඒ නිසා අදටත් මගේ බෑග් එකේ හොට් සෝස් බෝතලයක් තියෙනවා…”

ඔය කියව්වේ ලෝකප්‍රකට ඇමරිකානු ගායිකාවක් වෙන බියොන්සෙගේ ‘I got a hot sauce in my bag’ සිංදුවේ පද පේළියක සිංහල පරිවර්තනයක්. බියොන්සෙගේ මේ හොට් සෝස් සින්දුව බොහොම ඉක්මනට ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා. ඒ නිසාම අවන්හල්වල එහෙම නිතර නිතර මේ සින්දුව ප්‍රචාරය වුණා.

ඇත්තටම ඔයාගේ බෑග් එකේ හොට් සෝස් බෝතලයක් තියෙනවාද?”

වැඩසටහනකදී මාධ්‍යවේදියෙක් බියොන්සේගෙන් ඔහොම අහලා තිබ්බා.

හොට් සෝස් එකක් ළඟ තියාගෙන ඉන්න එක අපේ  සංස්කෘතියේ කොටසක්. මගේ බෑග් එකේ හොට් සෝස් එකක් නැහැ. හැබැයි මම අදටත් ඒ සම්ප්‍රදායන්ට ගරු කරනවා. මගේ ආත්තම්මා, අම්මා පවා හොට් සෝස් එකක් ළඟ තියාගෙන හිටියා.”

සුද්දෝ ඇමරිකාවට එන්න කලින් එහෙ ජීවත්වුණේ ඇස්ටෙක්, මායා, රතුඉන්දියන් වගේ ගොත්‍රිකයෝ. ලෝකේ මුලින්ම මිරිස් වගා කරන්න අරන් තියෙන්නේ ඇස්ටෙක්ස්වරු. කන්න විතරක්ද ආයුධයක් විදියටත් මේ උන්දලා මිරිස් පාවිච්චි කරලා. ඇස්ටෙක්ස්වරු මිරිස් අඹරලා ඒක පුංචි මල්ලක දාලා ළඟ තියාගන්නවලු. ඊටපස්සේ සතුරන්ව දුර්වල කරන උපක්‍රමයක් විදියට ඒ අයගේ මූණුවල අඹරාපු මිරිස් ගාලා තියෙනවලු.

පස්සේ කාලෙකදි ඇස්ටෙක්ස්වරු මිරිස්වලින් සැර සෝස් එකක් හදලා. ඔන්න ඔය සෝස් වර්ගෙට තමයි අද ඉන්න උදවිය හොට් සොස් කියන්නේ. මුලින් අඹරපු මිරිස් තියාගත්තු අය පස්සේ ළඟ තියාගෙන තියෙන්නේ හොට් සෝස්. ඇස්ටෙක් පරපුරකින් පැවතෙනවය කියන බියොන්සේ ඔය ගැන තමයි අර සිංදුවෙන් කියන්නේ.

ඉතින් මේ ලෝකප්‍රකට ගායිකාවක් වෙච්චි බියොන්සේ නෝනගේ බෑග් එකේ තියෙනවය කියන හොට් සෝස් එක අද අපිත් හදමු. හොට් සෝස් කියන්නේ කටට සැරට දැනෙන දයියා සෝස් වර්ගයක්. ඉතින් ටිකක් සැරට කන්න කැමති අයට මේක ලේසියෙන්ම විකුණගන්න පුළුවන්. කෙටි කෑම කද්දි ටේස්ට් එකට හොට් සෝස් මරු. අනික මස්, ඩෙවල් වර්ග හදද්දි එහෙමත් ගොඩක් අය හොට් සෝස් පාවිච්චි කරනවා.

හොට් සොස්වලට ඉදිච්ච අමුමිරිස්, නයි මිරිස්, රතු පාට කොච්චි ඔය ඕනම එකක් ගන්න පුළුවන්. හැබැයි පුතෝ මිරිස් තෝරගනද්දි රතු පාට එව්වම ගන්න මතක තියාගන්න.

දැන් අපි බලමුකෝ මේක හදන හැටි. මිරිස් 100g, සුදුලූනු බික් 9,  ලූනු ගෙඩියක්, දුඹුරු සීනි මේස හැඳි 3, ලුණු මේස හැඳි තුනයි, විනාකිරි කෝප්ප 1යි (විනාකිරි වෙනුවට ලුණු දැමූ ජලයද භාවිතා කළ හැක), සිට්‍රික් ඇසිඩ් 3g සපයාගන්න.

 

පියවර 1

මුලින්ම මිරිස්වල නැටි අයින් කරලා සෝදලා තෙත අයින් කරගන්න. මිරිස් අල්ලද්දි අනිවාර්යයෙන්ම ග්ලවුස් දාගන්න. ටිකක් ලොකු වීදුරු බෝතලයක් අරන් ඒකට මිරිස්, සුදුලූනු බික් 8ක්, දුඹුරු සීනි, ලුණු දාන්න. මිශ්‍රණය වැහෙන්න විනාකිරි දාන්න.

 

පියවර 2

මිශ්‍රණය දාගත්තු බෝතලේ කට හොඳට සීල් කරන්න. ඒකට ක්ලින්ග් රැප්වලින් හරි බෝතලේ කට වටේට ඉටිපන්දම් කිරි ගාලා හරි කමක් නෑ. සීල් කළ බෝතලේ දවස් 7-10ක් වියළි අඳුරු තැනක තියන්න. පස්සේ මිශ්‍රණය අරගෙන විනාකිරිත් එක්කම බ්ලෙන්ඩ් කරන්න.

 

පියවර 3

බ්ලෙන්ඩර් කරාපු මිශ්‍රණය මැටි හට්ටියක දාන්න. ඒකට සුදුලූනු බිකකුයි, ලූනු ගෙඩියකුයි එහෙම එකතු කරලා අඩු ගින්දරේ රත් කරන්න. මිශ්‍රණයෙන් බාගයක් අඩු වෙනකල් හින්දගන්න. ලුණු, සීනි පදම බලන්න. මිශ්‍රණය ලිපෙන් බාන්න කලින් සිට්‍රික් ඇසිඩ් එකතු කරන්න.

මිශ්‍රණය නිවෙන්න ඇරලා ආයෙත් බ්ලෙන්ඩ් කරන්න. පස්සේ ජීවානුහරණය කළ බෝතල්වලට දාන්න. හොට් සෝස් 60ml රුපියල් 400 ඉඳලා මිල කරන්න පුළුවන්. ඒ වගේම මාස හයක් කල්තියාගන්නත් පුළුවන්. 0714766819 අංකයෙන් හොට් සෝස් ගැන තවත් විස්තර අහගන්න පුළුවන්.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි