News

IDH එකෙන් පැන්න දෙන්නාගෙන් දරුවා සොයා ගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය දෙදෙනාගෙන් පුත්‍රයා ඇහැලියගොඩ – යාය පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ.

මව 25 වන වියෙහි පසුවන අතර පුත්‍රයාට වයස අවුරුදු 02 ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ රාත්‍රී 9.10 ට පමණ අදාළ මව සිය පුත්‍රයා ද සමග පළාගොස් ඇති අතර අදාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වේ.

පුත්‍රයා පොලිස් භාරයට ගෙන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.

එම කාන්තාව මහාපරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් වන අතර පළාගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.