විශේෂාංග

නංගිගේ පුතුට උපදින්නට තම කුස මල් යහනාවක් කළ අක්කා

ඇමන්ඩාගේ දෙඇස් දීප්තියෙන් බැබළෙමින් තිබුණි. මේ වතාවේ හෝ තම දරු සිහිනය ඉටුවන්නේ නම් එය කොතරම් සුන්දර දැයි ඇය සිතුවාය. ඒ වනවිටත් ඇමන්ඩා සිටියේ පස් වතාවක් පමණ තම දරු කළල ගබ්සා වූ අමිහිරි වේදනාව හිත්කොණක සඟවාගෙනය.

සිය සොයුරියගේ අත තදින් අල්ලාගත් ඇමන්ඩා, වෛද්‍යවරයා කියන්නක් අසා සිටියාය. වසර පහක් දරු කළල පහක් ඇමන්ඩාට අහිමිව ගියේ ඇගේ ශරීරය තුළ වූ විවිධ සංකූලතා නිසාය.

ඇමන්ඩා ඔයාගේ කුසින් බිහිවෙන දරුවෙක් ගැන අපට බලාපොරොත්තු තියාගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඔයාගේම දරුවෙක් ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව අත් හරින්න කියලාඅපිට තව එක විසඳුමක් තියෙනවා.”

වෛද්‍යවරයා කීවේ කාරුණිකවය. විසිහත්වන වියේ පසුවූ ඇමන්ඩා සොයුරියගේ අත තදින් අල්ලාගෙන සිටියේ දෙවියන් මෙවර තමාට අකාරුණික නොවෙතැයි යන විශ්වාසයෙනි.

අපිට පුළුවන් විද්‍යාගාරයක් තුළ ඔබ දෙදෙනාගේ ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගෙන කළලයක් නිර්මාණය කරන්න. ඉන්පසුව වෙනත් ගර්භාෂයක එය වැඩෙන්නට සලස්වන්න.”

වෛද්‍යවරයා කීවේ IVF ක්‍රමවේදය ගැනය. එහිදී සිදුවන්නේ නවීන විද්‍යාවට අනුව විද්‍යාගාරය තුළ සකසන ලද කළලය දායක මවකගේ කුසෙහි රෝපණය කිරීමයි.

මම මගේ සහෝදරිය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මට පුළුවන් ඒ දරුවට උපත දෙන්න.”

ඇමන්ඩා යමක් කියන්නට පෙර පිළිතුරු දුන්නේ මෙතෙක් ඇය අසල සිටි සහෝදරිය වන ඇලිසියාමේරියි. ඇලිසියා එක්දරු මවක වූ අතර තිස්වන වියේ පසු වූවාය. සහෝදරියටත් වඩා යෙහෙළියක තරමට සමීප අක්කා, නැගෙණියගේ හිත ගැන හොඳින්ම දැන සිටි තැනැත්තියයි. ඒ අනුව දෙවරක් නොසිතාම ඇය නැගෙණිය වෙනුවෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය. ඒ නැගෙණිය තමන්ගෙන් එවන් ඉල්ලීමක් කරන්නටත් පෙරය.

“2019 අවුරුද්දේ තමයි මගේ සහෝදරියගේ පුතා වන ජුලියන් ඉපදුණේ. ඔහු බිහිවුණේ සිසේරියන් සැත්කමකින් නිසා, මට තව අවුරුද්දක් විතර බලා ඉන්න සිදුවුණා. ඒ සහෝදරියගේ සෞඛ්‍ය තත්ත්වය නිසා. අවුරුදු පහක බලාපොරොත්තු බිඳවැටුණු හැටි දැකපු මට එය ලොකු කාලයක් නෙවෙයි. කොහොමහරි වෛද්‍ය උපදේශවලට අනුව අපි තව ටික දවසක් බලාගෙන හිටියා. කොහොමහරි සියල්ල අවසානයේ සාර්ථක වුණා. අගෝස්තු මාසේ මම අම්මා කෙනෙක් වුණා. දැන් මුළු ෆ්ලොරිඩාවම ලස්සනයි. ඔලිවර් මගේ පුංචි පුතා ලොකු වුණු දවසක මම මේ ලස්සන කතාව එයාට කියනවා. මම මගේ සහෝදරියට කොහොම ස්තූති කරන්නද කියලා දන්නේ නෑ.”

ඇමන්ඩාගේ හඬ හැඟීම්බරය. ඇය ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ උපදේශකවරියක ලෙස කටයුතු කරන්නීය. එවකට විසිඑක්වන වියේ පසුවූ ඇය පළමුව හෘදයාබාධයකටත්, පසුව රුධිරය කැටිගැසීමේ රෝග තත්ත්වයකටත් ගොදුරුව සිටියාය. තවද චර්ම රෝගයක් නිසාවෙන්ද ඖෂධ ලබා ගත්තාය. විවාහයෙන් පසු වසර හයක් තුළ පස්වතාවක් ගැබ් ගත්තද, මාස කිහිපයකදී එම දරු කළල බිඳීගියේ ඇමන්ඩාත් ඇගේ සැමියාත් දුකට පත් කරමිනි.

තම පවුලට බෙහෙවින්ම ලැදිව කටයුතු කළ ඇලිසියාමේරි කලක් ඉතාලියේ සේවය කළාය. ඇය කළේ අලෙවිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවකි. මින් වසර කිහිපයකට පෙර ඇය ඉතාලියටත්, රැකියාවටත් සමුදී ෆ්ලොරිඩාවට ආවේ පවුලේ අය හා වැඩිපුර කාලය ගෙවන්නට තිබූ කැමැත්ත නිසාය.

පුංචි ඔලිවර්ව මං මාස දහයක් කුසේ තියාගෙන බලාගත්තා. එය මම මගේ පුතාට උපත දුන්නා වගේම අසිරිමත් අත්දැකීමක්. මට ඕන වුණේ මගේ සහෝදරියට උදව් කරන්න. මම දැක්කා වෛද්‍යවරයා මේ ගැන කියද්දී, මම මේ වගකීම බාර ගනිද්දී ඇයගේ ඇස්වල තිබුණු සතුට. දැන් ඔවුන්ට ඔවුන්ගේම දරුවෙක් ඉන්නවා.”

ඇලිසියාමේරි කියන්නීය. සහෝදර බැඳීම් කොතරම් ලස්සන දැයි අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මෙම IVF කළල රෝපණය කටයුතු ඇතුළු විද්‍යාගාර කටයුතු මෙන්ම නීතීඥ ගාස්තු සඳහා ඇමරිකානු ඩොලර් දාසය දහසක පමණ මුදලක් ඔවුන් වැය කර ඇත.

මේ සිහිනයක්ද කියලා මං තාම හිතනවා. නෑ එය ඇත්තක්. මගෙ පුංචි පුතාගේ සුවඳ මට දැනෙනවා.”

ඇමන්ඩා පුතු තුරුළු කරගනිමින් කියන්නීය. ෆ්ලොරිඩාව පමණක් නොව බලන බලන අත දැන් ඇයට ලස්සනය. ඒ ලස්සන දකින්නට නැගෙණියට අවස්ථාව දුන් අක්කාගේ හිත කොතරම් ලස්සනදැයි කියන්නට වචන මදිය.

 

දීපා වසන්ති එදිරිසිංහ