නවතම ප්‍රවෘත්ති

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

පිරිමින්ගේ කර්මාන්තයක් කියලා හංවඩු ගහපු ක්ෂේත්‍රයක ලොකු තනතුරක් දරන එක අභියෝගයක්. හැබැයි වැඩ කරද්දි මම ගැහැනියෙක් කියලා හිත හිතා ඉන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඔය අභියෝග සේරම අපිට යටයි.”

එහෙම කියන්නේ හීනා නාගරාජන්. ඉන්දියාව කියන්නේ නිකන්ම නෙවෙයි කටුත් ගහලා සංස්කෘතික වැටවල් හදපු රටක්. විශේෂයෙන්ම ගෑනුන්ට. එහෙම රටක අරක්කු කර්මාන්තය පිරිමින්ගේ ආධිපත්‍යයට යටත් එකක් වීම අහන්න දෙයක් නෙමෙයි. හැබැයි 2020දී කාන්තාවක් ඒ ආධිපත්‍යය වෙනස් කළා. ගෑනුන්ට මත්පැන් තහනම් ඉන්දියාවේ ලොකුම මත්පැන් සමාගමේ නායකත්වය දරන්නේ ඔය උඩින් නම කියපු හීනා. ඉන්දියාවේ මත්පැන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරාපු ප්‍රථම සහ එකම කාන්තාවත් ඇයයි.

හීනාගේ කතාව මතක් වුණේ ජානි නිසා.

ජානි ගනේෂන් ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් සමාගමක් වෙන රොක්ලන්ඩ් ඩිස්ටිලරීස්සමාගමේ සාමාන්‍යාධිකාරිනිය. මේ සමාගමේ සහකාර මූල්‍ය කළමනාකාරිනියක් විදියට සේවයට එකතු වුණු ඇය අභියෝග, කැපකිරීම් මැද සාර්ථකත්වයේ හිනිපෙත්තට ආපු කාන්තාවක්. ඉතින් පිරිමින්ගේ ආධිපත්‍යය පැතිරුණු කර්මාන්තයක ඉහළ තනතුරක් දරන මේ සුවිශේෂී කාන්තාවට අද ධරණීකවරය සරසන්න ඉඩ දෙන්න අපි හිතුවා.

*ඔබ වරලත් ගණකාධිකාරිනියක් බවට පත්වෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න කලින්. මේ කතාව අපි එතැනින් පටන්ගමු?

හොඳයි. කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය සහ කළමනාකරණ උපාධිය හදාරන ගමන්ම මම චාර්ටඩ් අකවුන්ටින් කරන්න පටන්ගත්තේ. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න කලින් මට වරලත් ගණකාධිකාරිනියක් වෙන්න පුළුවන් වුණා.. චාර්ටඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සෙ මම මුලින්ම රැකියාවට ගියේ ඩයලොග් ආයතනයට. ඒ සහකාර මූල්‍ය කළමනාකාරිනියක් විදියට. එතකොට මට වයස අවුරුදු විසිපහයි. මම මුලින්ම රැකියාවට බැඳුණු අවස්ථාවේ මට වඩා වයසින් වැඩි සහ අත්දැකීම් බහුල කිහිපදෙනෙක් මට වාර්තා කළා. අවුරුදු විසිපහක තරුණියක් විදියට එය මට විශාල වගකීමක් වගේම නායකත්වය පිළිබඳ වටිනා අත්දැකීමක් වුණා. පොත්පත්වලින් ලැබෙන දැනුමට වඩා වැඩි දැනුමක් කණ්ඩායමක් විදියට වැඩ කරද්දි ලැබුණා.

 

*සහකාර කළමනාකාරිනියක් විදියට පටන්ගත්ත වෘත්තීය ගමන ඔබ දැන් සාමාන්‍යාධිකාරිනියක් දක්වා පැමිණ තියෙනවා. ඒ ගමන ගැන කෙටියෙන් කියන්න?

ඩයලොග් ආයතනයෙන් පසුව මම මූල්‍ය කළමණාකාරිනියක් විදියට එක්වුණේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට. එතැනදි මම කීල්ස් සුපර් ආයතනයේ වගේම එලිෆන්ට් හවුස් ආයතනයේත් මූල්‍ය කළමනාකාරිනියක් විදියට කටයුතු කළා. දැන් රැකියාව කරන රොක්ලන්ඩ් ඩිස්ටලරීස් ආයතනයට මම එක්වුණේ මූල්‍ය ප‍්‍රධානී විදියට. රොක්ලන්ඩ් එකට බැඳිලා වසර දෙකකට පසු මම එහි සාමාන්‍යාධිකාරිනිය ලෙස පත්වුණා.

 

*ගොඩක් කාන්තාවන් වෘත්තීය ගමන අතරමග නතර කරනවා. ඔබට හිතෙන විදියට එහෙම වෙන්නෙ ඇයි?

ඒකට වගකියන්න ඕනි කාන්තාවන් වන අපිමයි. එයට හොඳ උදාහරණයක් මම කියන්නම්. සාමාන්‍යයෙන් සමාගමක විධායක මට්ටමේ සියදෙනෙක් ඉන්නවා නම් එයින් හතළිහක් විතරම ඉන්නේ කාන්තාවන්. හැබැයි ඊට පියවර කිහිපයක් ඉහළින් තියෙන මැනේජර් ලෙවල් එකේදි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කළමනාකාර කියලා තනතුරු විස්සක් තියෙනවා නම් එතැන කාන්තාවෝ ඉන්නෙ දෙන්නයි. විධායක මට්ටමේදි සියයට හතළිහක් වුණු කාන්තා නියෝජනය කළමනාකරණ මට්ටමේදී සියයට දහයක් වෙලා.

ඒක එහෙම වෙන්න බලපාන බාහිර සාධකත් තියෙනවා. නමුත් වැඩි වශයෙන් ඒකට වගකියන්න ඕනි කාන්තාවන්ම තමයි. උසස්වීමකට සුදුසුකම් ලබන්න නම් වැඩි වගකීම් දරන්න වෙනවා. හැබැයි වගකීම් දෙන්න හදනකොට විවිධාකාර පෞද්ගලික හේතු මත ඒවා ප‍්‍රතික්ෂේප කරන කාන්තාවන් මම දැකලා තියෙනවා.

 

*ඔබේ වෘත්තීය අත්දැකීම් අනුව වෘත්තියෙන් ඉහළට යන්න කාන්තාවක් හිතන විදිය වෙනස් කරගන්න ඕනේ කොහොමද?

කාන්තාවක් වීම නිසා වෘත්තීය ජීවිතයේ විශේෂ සැලකිලි ලැබෙන්න ඕනි කියලා හරි, මෘදු විදියට තමන්ට අනිත් අය සැලකිය යුතුයි කියලා හරි කාන්තාවන් හිතනවා නම් ඒක වැරදියි.

තවත් සමහර කාන්තාවන්ගෙ හිත්වල තියෙනවා තමන් කාන්තාවක් නිසා හවස පහෙන් පස්සෙ කාර්යාලයෙ ඉන්න ඕනි නැහැ, සතිඅන්තයේ වැඩ කරන්න බැහැ වගේ අදහස්. එහෙම අදහස් දරන කාන්තාවන්ට වෘත්තීය ජීවිතේ ඉහළට යන්න අමාරුයි.

මෙතැනදි කිවයුතු තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. සමාන තනතුරු දෙකක කාන්තාවක් සහ පිරිමි කෙනෙක් ඉන්න අවස්ථාවක පිරිමි කෙනාගේ වැටුපට වඩා කාන්තාවගේ වැටුප තරමක් අඩුවෙන්න පුළුවන්. එහෙම වෙලාවට කාන්තාව හිතනවා ‘මම කාන්තාවක් වෙලත් මට මේ තනතුර දුන්නනෙ, ඒ නිසා වැටුප ගැන ප‍්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ’ කියලා. එහෙම හිතන්න හොඳ නැහැ. දෙන්නම එකම සේවය නම් ලබාදෙන්නෙ කාන්තා පිරිමි කියලා භේදයක් නැතිව එකම වැටුප් සහ වරප‍්‍රසාද ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් හඬ නගන්න තරම් ආත්මශක්තියක් කාන්තාවන්ට තිබිය යුතුයි.

 

*කාන්තාවන් ඉහළ තනතුරුවල ඉන්නකොට ආයතනයට වාසියි කියලා ඔබ හිතනවද?

ඒකට හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. ඒ තමයි අන්තර්ජාතිකව කරපු සමහර පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි කාන්තා නියෝජනයක් තියෙන සමාගම්වල මූල්‍යමය ප‍්‍රතිඵල, එහෙම නොවන සමාගම්වලට වඩා වැඩියි කියලා.

යම් ප‍්‍රශ්නයක් දිහා පිරිමි ප‍්‍රධානියෙකුයි කාන්තා ප‍්‍රධානියෙකුයි බලන විදිය හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. පිරිමි පුද්ගලයා ඒ ප‍්‍රශ්නය ආයතනයට බලපාන්නෙ කොහොමද කියලා බලද්දි කාන්තාව බොහෝවිට එය පැති ගණනාවකින් බලනවා. මතුවෙලා තියෙන ප‍්‍රශ්නය ආයතනයට, සේවකයින්ට, පාරිභෝගිකයින්ට වැනි පාර්ශවවලට වෙන වෙනම බලපාන්නෙ කොහොමද කියලා ඇය හිතනවා. ඒක හරියට අම්මා කෙනෙක් ගෙදර ප‍්‍රශ්නයක් දිහා හැම පැත්තකින්ම බලනවා වගේ වැඩක්. අම්මා ප‍්‍රශ්නයට උත්තර හොයන්නෙ පවුලේ හැම සාමාජිකයෙක් ගැනම හිතලා. බොහෝ කාන්තා ප‍්‍රධානීන් ප‍්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නෙත් ඒ ප‍්‍රශ්නයට මැදිවෙලා ඉන්න හැම පාර්ශවයක් ගැනම හිතලා. ඒක කාන්තාවන්ට සංවේදී බවත් එක්ක එන විශේෂ දක්ෂතාවයක්.

 

*සම්ප‍්‍රදායිකවම අපේ පවුල්වල වැඩි වගකීම් පැවරෙන්නේ කාන්තාවට. එහෙම වගකීම් පැවරෙන එක කාන්තාවගේ වෘත්තීය දියුණුවට බාධාවක්ද?

මෙහෙමයි. අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ.

පවුලේ සහාය නැතිව කාන්තාවකට වෘත්තීය ජීවිතයේ ලොකු ගමනක් යන්න අමාරුයි. තමන්ගෙ වෘත්තීය ගමන ගැන නිවැරදි අදහසක් පවුල තුළට දුන්නහම කිසිම පවුලක් එයට බාධා කරයි කියලා මම හිතන්නෙ නැහැ. මගේ වෘත්තිය ගැන විශ්වාසයක් මගේ පවුලෙ අයට තියෙනවා නම් සම්ප‍්‍රදායිකව මට පැවරෙන පවුලේ වගකීම් මා සමඟ බෙදාගන්න ඔවුන් ඉදිරිපත් වෙනවා. එහෙම වුණහම පවුලේ වගකීම් බාධාවක් කරගන්නෙ නැතිව කාන්තාවකට තමන්ගේ වෘත්තීය ගමන යන්න පුළුවන්.

 

*වෘත්තියෙන් ඉහළට යන බිරිඳකට සැමියාගේ සහායත් අවශ්‍යයි නේද?

අපි ඔතැනදි බොහොම පැහැදිලිව තේරුම්ගන්න ඕනි දේ තමයි දෙන්නෙක් එකතුවෙලා එක පවුලක් හදාගත්තට ඒ දෙන්නට තියෙන්නේ වෘත්තීය ගමන් දෙකක් කියන එක. දෙවිදියක හීන ඒ දෙන්නට තියෙන්නේ. එතකොට දෙන්නම දැනගන්න ඕනි එකිනෙකාට ගරු කරන්න. ඔවුන්ගේ වෘත්තීන්වල ස්වභාවය අඳුනගන්න.

සැමියගෙ හීන හැබෑ කරගන්න බිරිඳ උදව් කරන්න ඕනි. ඒ වගේම බිරිඳගේ හීන හැබෑ කරගන්න සැමියා උදව් කරන්න ඕනි. එහෙම නොවී එක්කෙනෙක් හරි පසුපසට ගියොත් එහෙම පසුපසට ගිය කෙනා ඉන්නෙ සතුටින් නෙමෙයි. අපි හිතමු එහෙම අසතුටින් ඉන්නෙ බිරිඳ කියලා. එතකොට ඇය කොහොමද සැමියව සතුටින් තියන්නේ?

හැබැයි මම මේකත් කියන්නම  ඕනි. දැන් සමාජය අතීතයට වඩා සෑහෙන වෙනස්. බොහෝ සැමියන් ඔවුන්ගේ බිරියන්ට වෘත්තීයමය විදියට ඉදිරියට යන්න ගොඩක් උදව් කරන හැටි අපි දකිනවා. එහෙම කරන සැමියන්ව අපි අගය කරන්නම ඕනි. මමත් වාසනාවන්ත වෙලා තියෙනවා මගේ හීන ඉටු කරගන්න මටත් වඩා උනන්දු සැමියෙක් ලබන්න.

 

*ඉහළ තනතුරක ඉන්න කාන්තාවක් විදියට ඔබ කොහොමද පිරිසක් පාලනය කරන්නේ?

පාලනය කියන වචනය වෙනුවට කළමනාකරණය කියන වචනය භාවිත කරන්න මම කැමතියි. මොකද ආයතනයක පිරිසක් කළමනාකරණය කරනවා හැර පාලනය කරන්න බැහැ. ඒ නිසා මම කරන්නේ මගේ යටතේ වැඩ කරන අය කළමනාකරණය කරන එක. ඔතැනදි වැදගත්ම දෙයක් තමයි සේවකයෙක් තමන් වැඩකරන ආයතනයෙන් සේවයට සරිලන වැටුපක් බලාපොරොත්තු වෙනවා වගේම එතැනින් තමන්ට ගෞරවයකුත්, රැකියාවේ ප‍්‍රගතියකුත් බලාපොරොත්තු වෙනවා. ඕනිම තරාතිරමක සේවකයෙක්ට ඒ ගෞරවය සහ අවස්ථාව දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනි. එතකොට කාන්තා ප‍්‍රධානියෙක්ට වුණත් සේවකයින් කළමනාකරණය කරගන්න එක අපහසු දෙයක් නෙමෙයි.

 

*කාර්යබහුල ජීවිතේට විවේකයක් හොයාගන්නේ කොහොමද?

කැමැත්තෙන් සහ ආශාවෙන් කරන කටයුතුවලදි  කාර්යබහුල බවක් දැනෙන්නෙ නැහැ. හැමදේම නිසියාකාරව සැලසුම් කරන නිසා විවේක කාලය ඉබේම ලැබෙනවා. රැකියාවේ කටයුතුවලට පරිබාහිරව මම වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ නොයෙක් කටයුතුවලට සම්බන්ධ වෙනවා. තරුණ වරලත් ගණකාධිකරීවරුන්ගේ සංගමයේ සභාපති තනතුරත් දරලා තියෙනවා. දේශකයෙක් විදියටත් කටයුතු කරනවා. මම Toastmaster කෙනෙක් වුණේ මගේ කථික හැකියාවන් දියුණු කරගන්න. මේ හැමදෙයක්ම මම සතුටින් කරන්නේ.

පවුල සහ සමීප මිතුරන් සමඟ කාලය ගත කිරීමත් මම මගනොහැර කරන දෙයක්. ව්‍යායාම කිරීමත් මගේ ජීවිතයේ අනිවාර්යය අංගයක්. නිරෝගී බව ආරක්ෂා කරගන්න අවශ්‍ය දේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරනවා. අපි හැමෝටම තියෙන්නේ පැය විසිහතරයි. ඒ පැය විසිහතර හරියට කළමනාකරණය කරගන්න අයට මේ කිසිදෙයක් අපහසු දේවල් නෙමෙයි.

 

හසිත කුරුප්පු

ඡායාරූප සමන් අබේසිරිවර්ධන/හසිත නිලුපුල්