ඒවා මේවා එකක්වත් හරි නොගියා නම් ජාවාවලින් ගොඩයමු
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
ඔන්න එකෝමත් එක රටක රජ කෙනෙක් හිටියලු. ලස්සන ඇඳුමක් කාරිය ඇඳලා ඇතා පිටේ නැගලා රටේ ජනතාවට පේන්න රවුමක් යන එක තමයි රජා ආසම වැඩේ. රජතුමා අඳින අරුමෝසම් තාලේ ඇඳුම් දැකගන්න රටේ මිනිස්සුත් හරි මනාපලු.
හැමදාම ෆැෂන් ඩිසයිනින්ග් කරන රාජකීය සන්නාලියගේ ඇඳුම් වෙනුවට වෙනත් කෙනෙක් මහන විශේෂ ඇඳුමක් අඳින්න දවසක් රජාට ආස හිතුණා. ලෝකේ තියෙන ලස්සනම ඇඳුම මහන කෙනාට කහවනු දහසක් දෙනවාය කියලා ඔන්න ඉතින් රට පුරා අණබෙරයක් යැව්වා.
එක ගමක හිටපු කපටි මිනිහෙක්ට මේ පයින්ඩේ ඇහුණා. “මම රජතුමාට මේ ලෝකේ ලස්සනම ඇඳුම මහන්නම්” කියලා මේ මනුස්සයා පැනලා වැඩේ බාරගත්තා. රජාටත් හරි සතුටුයි. ඒ නිසා ඇඳුම එළිදක්වන දවස එනකල් රජසැප දීලා මනුස්සයාව මාලිගාවෙම නතර කරගත්තා.
ඔන්න ඉතින් රජා ඇඟිලි ගැන ගැනා හිටපු ඒ දවස උදාවුණා.
“මේන්න රජතුමනි ඇඳුම. මේක හැදුවේ ලෝකේ තියෙන හොඳම බතික්වලින්. මේක බොහොම විශේෂ ඇඳුමක්. මොකද මේක පේන්නේ නුවණක්කාරයින්ට විතරයි.” කියාපු කපටි මනුස්සයා ඇඳුමක් තියාගෙන ඉන්න තාලෙට හිස් අත් දෙක උස්සලා පෙන්නුවා.
ඇඳුම පේන්නේ නැහැයි කිව්වොත් තමුනුත් මෝඩයෙක් වෙනවා කියලා හිතපු රජතුමා ඇඳුම මහලා දුන්නට අර මනුස්සයාට තෑගිත් දීලා නොපෙනෙන ඇඳුම ඇඳන් හරි සතුටින් ඇතා පිටේ යන්න වුණා. ඉතින් නිර්වස්තරෙන් ගියපු රජාව දැකපු මිනිස්සු රජතුමාට හූ කිව්වලු. තමන්ගේ රටේ ඉන්න මිනිස්සු සේරම මෝඩයෝ කියලා එවෙලේ රජතුමා තීරණය කළාලු.
බතික්වලින් මැහැව්ව නොපෙනෙන ඇඳුම් අඳින්න ගිය රජතුමාට වෙච්චි වැඩේ කියලා පූර්වා පර සන්ධි ගැලපෙව්වේ අද අපේ මාතෘකාවත් බතික් නිසයි.
ඉටි ප්‍රතිරෝධී ඩයි ක්‍රමයක් භාවිතා කරලා ඇඳුම් වර්ණගන්වන එකටයි බතික් කරනවා කියන්නේ. ලෝකය පුරා එක එක තාලේ බතික් වර්ග තියෙනවා. ඒ අතරින් පහසුම වගේම ලේසිම ජාවා බතික් නිර්මාණයක් කරගන්න හැටියි ස්වයං රැකියා පාඩමෙන් අද කියලා දෙන්නේ.
ඉටි මිශ්‍ර වර්ණ භාවිතා කරලා ඊජිප්තු රැජින ක්ලියෝපැට්රාගේ ඇඳුම් පාට කළාය කියලා සාක්ෂි තියෙනවාලු. ඒ නිසා ලෝකෙට බතික් සම්භවය වුණේ ඊජිප්තුවෙන් කියලත් ඇතැම්මු කියනවා. හැබැයි බතික්වලට ප්‍රකටම රට ඉන්දුනීසියාව නිසා මුලින්ම බතික් හැදුවේ ඉන්දුනීසියාවේ මිනිස්සු කියලයි බහුතරයක් පිළිගන්නේ.
ජාවා කියන්නේ ඉන්දුනීසියාවේ දූපතක්. ඉස්සර අපේ වෘත්තීන් අනුව කුල බෙදලා තිබ්බා වගේ ජාවා දූපතේ මිනිස්සුන්ට පැවරිලා තිබ්බේ බතික්වලින් රටේ රජතුමාගේ ඇඳුම් මහන එකලු. ඉස්තරම්ම බතික් හදලා නුදුන්නොත් රජතුමාගෙන් දඬුවම් විඳින්නත් වෙනවලු.
ජාවා දූපත කාලයක් ඕලන්ද යටත්විජිතයක් වෙලා තිබුණා. ඕලන්දකාරයෝ ලංකාවට බතික් හඳුන්වලා දීලා තියෙන්නේත් ඒ කාලේ. ඒ වගේම ඔවුන් ජාවා බතික් රට රටවල අලෙවි කරලත් තියෙනවා. පස්සේ බතික් කලාව ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා. ඉතින් අදටත් ඉන්දුනීසියාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බතික්.
ජාවා බතික් කලාවෙන් ගොඩ ගියපු අය ඉන්දුනීසියාවේ විතරක් නෙමෙයි අපේ රටෙත් ඉන්නවා. දේශීය වෙළඳපොළේ වගේම විදේශීය වෙළඳපොළෙත් හොඳ ඉල්ලුමක් තියෙන නිසා ජාවා බතික් නිර්මාණවලින් ලේසියෙන්ම ගොඩයන්න පුළුවන්. හැබැයි ඇස් ආකර්ෂණය කරගන්න තාලේ වර්ණ සහ මෝස්තර තෝරගන්න හොඳ නිර්මාශීලී ඇහැක් තියෙන්නත් ඕනේ.
මේකට අමු රෙදි, පොප්ලීන්, සිල්ක්, විස්කෝස්, මස්ලින් මේ ඕනම රෙදි වර්ගයක් ගන්න පුළුවන්. ඊට අමතරව ලී ෆ්‍රේම් එකක්, පැරෆීන් ඉටි, මී ඉටි, රොසින් (රට දුම්මල), ඉටි උණු කරන්න භාජන 2ක්, පූනීලයක්, නොම්මර 2, 7, 8 කැමති පාටවලින් රිඇක්ටිව් ඩයි, යූරියා, වෙටිං ඒජන්ට්, ලෙවලින් ඒජන්ට්, සෝඩියම් සිලිකේට්, ෆික්සර් එහෙම සපයාගන්න. මේ හැම අමුද්‍රව්‍යක්ම කොටුවෙන් අඩු මිලට ගන්න පුළුවන්.
මුලින්ම තීන්ත හදමු
යෝගට් කප්වලට ඩයි මේස හැඳි එක ගානේ එකතු කරන්න. ඒ හැම එකකටම යූරියා මේස හැඳි 1/4, වෙටිං ඒජන්ට් තේ හැඳි 1/2, ලෙවලින් ඒජන්ට් තේ හැඳි 1/2 එකතු කරන්න. මේ සේරම මද උණුසුම් ජලයෙන් දියකරලා ඝන පේස්ට් එකක් හදාගන්න.
ඉටි ද්‍රාවණය හදමු
කපු වගේ සිල්ක් නොවෙන රෙදිවලට – පැරෆීන් ඉටි 1kg, මී ඉටි 25g, රොසින් 10g
සිල්ක් රෙදිවලට – පැරෆීන් ඉටි 1kg, මී ඉටි 100g, රොසින් 10g
පියවර 1
මුලින්ම රෙදි සෝදලා මැදගන්න. පිංතූරයක් තෝරලා රෙද්දට තියලා ට්‍රේස් කරන්න. රෙද්ද කඩතොළු වෙන නිසා පයිපින් තියලා ෆ්‍රේම් එකට පින් කරන්න.
පියවර 2
ඩබල් බොයිල් ක්‍රමේට ඉටි දියකරගන්න. පුනීලයට දාලා පිංතූරයේ හැර රෙද්දේ සුදු අවශ්‍ය තැන්වල කඩතොළු නොහිටින්න ගාන්න. පස්සේ හදාගත්තු වර්ණවලින් ලස්සනට පිංතූරය පාට කරන්න. නිර්මාණය වේලුණාට පස්සේ පැතලි බුරුසුවකින් මුළු පිංතූරයේම සෝඩියම් සිලිකේට් ගාන්න. ඒක දවසක් වේලෙන්න තියලා ඇල්වතුරෙන් සෝදන්න.
පස්සේ නටන උණුවතුරට ෆික්සර් තේ හැන්දක් දාලා ඉටි ඉවත් කරන්න. (ෆික්සර් නිසා වර්ණ ඉවත් නොවේ) නිර්මාණය මද පවනේ වේලගන්න. පස්සේ රෙද්ද අල්ලේ තියලා ඇඟිලිවලින් තද කරලා ටිකක් පොඩි කරන්න. ඒ මත පාට ගාන්න.
මේ ක්‍රමේට ඇඳුම්, කුෂන්, ඇඳ ඇතිරිලි, බිත්ති සැරසිලි, සාරි, මේස රෙදි, තිර රෙදි ඕන එකක් හදාගන්න පුළුවන්. තවත් විස්තරවලට වෙනදා වගේම 0714766819 අංකයට කතා කරන්න.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි
