නවතම ප්‍රවෘත්ති

ගෑනුන්ට පුළුවන්ද බිස්නස් කරන්න?

නැතිබැරිකමට ගෝනිවලින් මැසූ ඇඳුමින් සැරසී පාසල් ගිය කළු ඇමරිකානු යුවතිය ඔෆ්රා වින්ෆ්‍රි අධිෂ්ඨානය නිසාම පසුකලෙක ලොව දිනුවාය.

සිය මෝටර් රථයෙන් කොළඹ ඇඟළුම් වෙළෙඳසැල්වලට ඇඟළුම් සැපයූ ඔටාරා ගුණවර්ධන පසුව ඇගේම කියා ඇඟළුම් වෙළෙඳසැල් 20කට අධික සංඛ්‍යාවක හිමිකාරිය වූවාය.

මේ කියන්නට යන්නේ සිහිනයේ දිග, පළල කොතෙක් වුවත් ඒ හීන හැබෑ කරගත හැකි බව සපථ කළ මේ දිරිය ගැහැනුන්ගේ කතාන්දරවලින් පන්නරය ලැබූ තවත් යුවතියක් ගැනය.

‘‘ඔටාරා, ඔප්රා වින්ෆ්‍රි වගේ චරිතවලට මම හරි කැමතියි. ඒ චරිතවලින් ලබාගත්ත අභිප්‍රේරණයත් එක්ක ජීවිතේ ගොඩනගාගන්න තමයි මම උත්සාහ කරන්නේ.

මමත් බිස්නස් එක පටන්ගත්තේ රුපියල් පනස්දාහකින්. ඒකෙන් ඇඳුම් ගෙනල්ලා මගේ කාමරේ තියලා ෆොටෝ අරන් ෆේස්බුක් ජේජ් එකක දාලා අලෙවි කළා. කාලයත් එක්ක එන්න එන්න ඒවාට ලැබුණු ප්‍රතිචාර වැඩි වුණා. ඉතින් කාමරෙන් සාලෙට ගේන තරමට විකුණන ඇඳුම් ප්‍රමාණයත් වැඩි වුණා. පස්සේ කොළඹ තුරඟ තරඟ පිටියේ (Race Course) පොඩි වෙළෙඳ කුටියක් අරගෙන වෙළෙඳසැල පටන්ගත්තා. ඊට අවුරුදු හතකට පස්සේ තට්ටු දෙකක ගොඩනැගිල්ලකට එන්න තරමට මගේ ව්‍යාපාරය දියුණු වුණා.’’

කොළඹ පහ, තිඹිරිගස්යාය ප්‍රධාන පාරට මුහුණලා තිබෙන ‘Kathyusha’ ඇඟළුම් ප්‍රදර්ශනාගාරයේ හිමිකාරිය කත්යුෂා කාරියවසම් ඇගේ සාර්ථකත්වයේ ගමන ගැන කියන්නේ එහෙමය. මේ අද ‘ධරණී’ කවරය හැඩකරන රුවැති ඇය සමඟ අප කළ කතාබහේ සටහනයි.

වෙළෙඳපොළ හැරුණුකොට ඔන්ලයින් ක්‍රමයටත් අලෙවි කරන ඇඳුම් ව්‍යාපාර හිසේ කෙස් ගානට තියෙද්දී ඇඳුම් ව්‍යාපාරයක්ම පටන් ගැනීමට හේතුව කුමක්දැයි මම ඇගෙන් විමසීමි.

‘‘දවසක් මම උත්සවයකට ඇඳන් ගියපු විදියෙම ගවුමක් එතනට ආපු තවත් කෙනෙක් ඇඳගෙන ඇවිල්ලා හිටියා. ඒක මට විතරක් මුහුණ දෙන්න වෙච්ච අත්දැකීමක් නෙවෙයි. මම දන්න කියන කිහිපදෙනෙක්ටම ඒ වගේ සිදුවීම් වෙලා තිබුණා. ඒකට හේතුව විදියට මම දකින්නේ අවුරුදු කිහිපයකට කලින් ගොඩක් ඇඳුම් කඩවල තිබුණේ එකම ජාතියේ මෝස්තර කිහිපයක් විතරයි.

ඉතින් කොයිතරම් ඇඳුම් කඩ තිබුණත් ඒ හැම එකකම හුවමාරු වෙන්නෙ එකම මෝස්තර ටික නිසා ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න හිතාගෙන මම මේ ව්‍යාපාරය පටන් ගත්තා.’’

ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ සහ කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. එසේම එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත.

නමුත් මේ ව්‍යාපාර සිහිනය එක් රැයකින් එලි නොවූවක් බව කත්යුෂා කියයි.

‘‘ගෑනුන්ට පුළුවන්ද බිස්නස් කරන්න?’’

මුහුණට සිනාසුණු ඇතැමුන් ඇය නැති තැනදී කීවේ එහෙමය. ඒ වචන ටිකම ඇගේ මුහුණ දෙස බලාගෙනම කී අයද නොසිටියා නොවේ.

‘‘එහෙම කිව්ව සමහර අයව අතඇරලා දාන්න වුණා. අපි නිතරම ජීවිතේට ළං කරගන්න ඕනේ ධනාත්මක මිනිස්සු. යමක් කරන්න පටන්ගන්නත් කලින් ‘අපෝ ඔයාට ඕක බැහැ’ කියලා කියන ඍණාත්මක මිනිසුන්ගෙන් ඈත්වෙන තරමට හොඳයි. ඉතින් මිනිසුන්ගේ ඇත්ත ස්වරූපය අඳුනගන්න බැරුව අමාරුවේ වැටුණු තැනුත් මට තිබුණා.’’

දිවෙන් දිව ගාගෙන සිටියත් මිනිසුන්ගේ සැබෑ ස්වරුපය හඳුනාගැනීම පහසු නැත. නමුත් ශාස්ත්‍රපති උපාධි කිහිපයකින්වත් උකහාගත නොහැකි ජීවිත පාඩම් ඉතා පහසුවෙන් ඔවුන්ගෙන් උගත හැක. කත්යුෂාටද එවැනි දේ ජීවිතයට පාඩම් වූවා මිස ඇය ඒවායින් පසුබැස්සේ නැත.

‘‘රේස්කෝස් එකේ ඇඳුම් විකුණනවා කිව්වම ‘මේ ඇඳුම් විකුණන්නේ ඉහළ පැලැන්තියේ අයට විතරද’ කියලා සමහරු අහනවා. ඇත්තටම එහෙම නැහැ. මගේ ව්‍යාපාර ස්ථානයට එන හැමෝටම අපි සලකන්නේ එකම විදිහට. එන කෙනා මොන පැලැන්තියේ වුණත් තත්ත්වයෙන් උසස් ඇඳුමක් සාධාරණ මිලකට අලෙවි කරන එක තමයි මගේ අරමුණ.’’

කත්යුෂාගේ ව්‍යාපාර‍යේ අප දුටු තවත් සුවිශේෂිත්වයක් ඇත. ඒ ඇගේ ඇඳුම් ආයිත්තම්වල නිරූපිකාව ලෙස ඇයම පෙනී සිටීමයි.

‘‘ව්‍යාපාරය පටන්ගන්නකොට තව මෝස්තර නිරූපිකාවන් කිහිපදෙනෙක් එක්ක මමත් නිරූපණ කටයුතු කළා. එතැනදි මම ඇඳන් හිටපු ඇඳුම්වලට තමයි වැඩි ඉල්ලුමක් තිබුණේ. ඊටපස්සෙ මාස හයක් විතර මට ඇඳුම් නිරූපණ කටයුතු කරන්න බැරි වුණා. ඒ කාලෙ අනිත් මෝස්තර නිරූපණවලට වැඩි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඉතින් මම නිරූපණය කරන ඒවට ගොඩදෙනා කැමති නිසා ආපහු මම ඇඳුම් නිරූපණය කරන්න පටන්ගත්තා.’’

කත්යුෂා කාරියවසම් කොළඹ නගරසභාවේ හිටපු ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතාගේ බාල දියණියද වෙයි.

‘‘මගේ තාත්තා මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරනවා. මගේ අම්මත් වෛද්‍යවරියක්. මට අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. මගේ අක්කා විවාහ වෙලා ඉන්නේ අගමැතිතුමාගේ නැගණියගේ දෙවෙනි පුතාව. ඉතින් මම ඒ පවුලටත් සම්බන්ධයි.’’

‘‘ඉතින් කත්යුෂාටත් අම්මයි තාත්තයි වගේ වෛද්‍යවරියක් වෙන්න හිතුනේ නැද්ද?’’

‘‘නැහැ එහෙම හිතුනේ නැහැ. තාත්තා මට පොඩි කාලේ ඉඳලා කිව්වේ ‘මේක ඔයාගේ ජීවිතේ. නිසා ඔයා කැමති දෙයක් කරන්න’ කියන එකයි. පොඩි කාලේ ඉඳලා ව්‍යාපාර හා නීති පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් හිතේ තිබුණා. ව්‍යාපාර විතරක් නෙවෙයි ජීවිතේ හැමදෙයක්ම සමබරව කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ව්‍යාපාර කටයුතු වගේම ජීවිතේ අනිත් දේවලුත් සමබරව ඉදිරියට ගෙනියන්න මම නිතරම මහන්සි වෙනවා.’’

ව්‍යාපාරය තව තවත් දියුණු කරමින් ව්‍යාපාර ලොවේ දිගු දුරක් යාම ඇගේ අරමුණය. ඉදින් අප ඇය හා සංවාදය නිමා කළේ ඇගේ ඒ අරමුණට අපේ සුභාෂිංශණද එක්කරමින්ය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි