නවතම ප්‍රවෘත්ති

රේස් පදින්න හිතෙනකොට කාර් එකක් තියා මට ලයිසන් එකවත් නෑ

එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය. සියලු තරඟකරුවන් වේගයෙන් ඉදිරියට යද්දී නරඹන්නන් සියල්ලන්ගේම පාහේ ඇස් යොමුවී තිබුණේ කළු සහ කහ පැහැයෙන් හැඩකර තිබූ මෝටර් රථය දෙසටය. ඒ පිරිමි ධාවකයින් හා කරට කර එය ධාවනය කරමින් සිටියේ කෞෂල්‍යා ආරියදාස නම් තරුණිය වීම නිසාය. අනෙක් කාරණාව නම් එය කෞෂල්‍යාගේ කුළුඳුල් තරඟයයි.

කාර් රේස් පදින මේ සුරූපී තරුණියගේ ජන්මය සිදුවුණේ කොළඹ ගෙන්දගම් පොළොව මත නම් නොවේ. ඈ ඉපදුණේ දැරණියගල පල්ලෙබාගේ ප්‍රදේශයේය. දුරබැහැරින් පැමිණ තරමක් අභියෝගකාරී කටයුත්තක නියැළෙන ඇගේ කතාව ඔබේ ජීවිතයට යම් උත්තේජනයක් එක්කරනු ඇති බවයි ​අපේ විශ්වාසය. ඒ නිසාමයි ඇය අද ‘ධරණී’ කවරය දරා සිටින්නට සුදුසුකම් ලැබුවේ.

‘‘උසස්පෙළ විභාගේ ඉවර කරලා මං රැකියාවක් හොයාගෙන කොළඹට ආවා. රැකියා කීපයක් බැලුවත් එකක්වත් හිතට ඇල්ලුවේ නෑ. අන්තිමට මං 2008 අවුරුද්දේ පෞද්ගලික මාධ්‍ය නාළිකාවක අලෙවි විධායිකාවක් හැටියට රැකියාවකට ගියා. ජීවිතේට ගොඩාක් දේවල් එතැනින් ලැබුනා.’’

දස වසරක් පුරාවට මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාව කළද දෛවයේ ඇය ගැන ලියවී තිබුණේ වෙනමම කතාවකි. කාලය හෙමින් හෙමින් ගෙවී ගියේය. ඒ උදාවෙමින් තිබුණේ කෞෂල්‍යාගේ දෛවය වෙනස් කරන දවසයි. එදා ඇය මිතුරු මිතුරියන් පිරිසක් සමඟ මෝටර් රථ ධාවන තරඟයක් බලන්නට ගියාය.

‘‘ඒ 2018 ඌව කුඩාඔය කමාන්ඩෝ සුපර් ක්‍රොස් එක. මමත් යාළුවෝ එක්ක ඒක බලන්න ගියා. ඔය අතර හිටියා රොමේෂ් කියලා මල්ලි කෙනෙක්. එයා නිකමට වගේ කිව්වා අක්කේ ඔයත් රේස් එකක් පදින්නකෝ කියලා. එයා එහෙම කියපු වෙලාවේ ඉඳන් මගේ ඔලුවේ වැඩ කළේ ඒ කතාව. ඇත්තටම මට ඕනේ වුණා කාර් රේස් එකක් පදින්න.’’

කෞෂල්‍යා නිවසට පැමිණියද ඇගේ හිත තිබුණේ ඊට හෝරා කීපයකට පෙර රොමේෂ් මල්ලී කී කතාව ගැනය. ඇය ඇස් පියාගත්තාය. එසැනින්ම ඇය දුටුවේ තමන් මෝටර් රථ තරඟයකට තරඟ කරන චිත්‍රයයි. එය හිතට ගෙන ආවේ අපූරු හැඟීමකි. මොහොතකින් ඇය මෝටර් රථ ක්‍රීඩාව ගැන අයන්නේ සිටම හොයන්නට ගත්තාය. ඒ ඈ තුළ තිබූ උනන්දුවත් ආසාවත් නිසාය. අවසානයේ ඈ පවුලේ අයද කැමති කරවාගෙන මෝටර් රථ ධාවනයට අවශ්‍ය රියදුරු බලපත්‍රයද ලබාගත්තාය.

‘‘කාර් රේස් පිස්සුව ඔලුවට ගහලා ඒ වෙනකොට මාස තුනක් ඇති. ඉදිරියේ පවත්වන්න තිබුණේ රොදහැම් කටුකුරුන්ද රේස් එක. ඒ 2018 අවුරුද්දේ නොවැම්බර් මාසේ. මං ඒක ටාගට් කළා. හැබැයි මට රේස් පදින්න කාර් එකක් තිබුණේ නෑ. සමහරුන්ගෙන් ඉල්ලුවත් මං ගෑනු ළමයෙක් නිසාද කොහෙද දුන්නේ නෑ. ලංකාවේ ඉන්නවා කාර් රේස් පදින චාමික රණතුංග කියලා අයියා කෙනෙක්. එයා තමයි අන්තිමේ මට කාර් එකක් දුන්නේ. එදා තරඟකරුවන් විසිදෙකක් අතරින් මං දොළොස්වෙනි තැනට පත්වුණා. ආධුනික තරඟකරුවන්ට දෙන නිසාන් මාච් ඉවෙන්ට් එක තමයි කළේ. මං ඇරුණම තව එක ගෑනු ළමයයි රේස් එකේ හිටියේ. මට ජයග්‍රහණය කරනවට වඩා තරඟය ඉවරකරන්නයි ඕනකම තිබුණේ. අන්තිමේ මං ඒක කළා. මට ගොඩාක්ම සතුටු මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත පැය කීපයක පුහුණුවකින් කාර් රේස් එකක් පැදපු එක ගැන. මං හිතන්නේ ඒකට හේතුව වුණේ මට රේස් පදින්න තිබුණු ආසාවයි උනන්දුවයි තමයි.’’

තරුණයින් මෝටර් රථ ක්‍රීඩාවට යොමුවීම සුලබ වුවද තරුණියන් එම ක්‍රීඩාවට යොමුවීම ඉතාමත් දුලබය. එම නිසාම අදටත් ලංකාවේ කාන්තා නියෝජනයෙන් තරඟ වදින මෝටර් රථ තරඟයක් නැත. ඒ නිසාම කෞෂල්‍යාටද තරඟ වැදෙන්නට සිදුව ඇත්තේ පිරිමි තරඟකරුවන් එක්කය. එය ඇයට විශාල අභියෝගයකි. එහෙත් ඇය පවසන්නේ ඒ අභියෝගය තමන් සතුටින් බාරගෙන ඇති බවයි.

‘‘පසුගිය පෙබරවාරි 06 වෙනිදා තිබුණු ‘අයිස් බ්‍රේකර් ගජබා සුපර් ක්‍රෝස් 2022’ (Ice Breaker Gajaba Super Cross 2022) තරඟාවලියේ තරඟකරුවන් දොළහක් අතරින් මට හතරවෙනි ස්ථානය ලැබුනා. මං ඇරුණම අනෙක් හැමෝම පිරිමි තරඟකරුවන්. දැනට ඒක තමයි මගේ ජීවිතේ මං ලබපු ලොකුම ජයග්‍රහණය. ඒක නිසාම කවදාවත් ඒ දවස අමතක වෙන්නේ නෑ. ඉතින් මේ අවුරුදු පහ පුරාවටම මගේ පිටිපස්සේ ඉඳන් මට උදව් කරපු අය ගැන කිව්වොත් අශාන් සිල්වා ඇතුළු ‘ලැප් 57’ කණ්ඩායමත් මාලික කුරුවිටආරච්චි ඇතුළු ‘සුබාරු ලෙගසි’ කණ්ඩායමත්, ‘ආරිය රේසිං’ කණ්ඩායමත් යසන්ත, රොමේෂ්, චාමික රණතුංග, කුෂාන් පීරිස්, සජිත්, ලහිරු, යොහාන්, යුක්තික, ශනායා, අංජලී කියන පිරිස මතක් කරනවා. අනුග්‍රහයෙන් යොචිරා ප්‍රෆෝමන්ස්, ඔටෝසූම්, යූරෝ ලංකා ස්පෙයාර්ස්, මැක්සිස් ටයර්, රෆ් ටීෂර්ට්, ෆැඩ්නා ටී, පිට්පාස්, කෙයාපොයින්ට්, MRS ඔටෝකෙයා ඇතුළු සමාගම් මතක් කරනවා. ඒ වගේම රේස් එකක් පදිනකොට මං බලන්නේ ඉස්සරහින් යන කාර් එක දිහා විතරයි. මට ඕනේ ඒක ඕවර් ටේක් කරලා ඉස්සර කරන්න. රේස් එක වෙලාවේ මං ඉන්නේ රේස් එක ඇතුළේ විතරයි.’’

කෞෂල්‍යා තරඟ බිමට යන්නට කලින් සිදුකරන දේවල් කිහිපයකි. කිසිදිනෙක ඇය ඒ දේවල් නොකර නම් තරඟ බිමට පිවිසෙන්නේ නැත.

‘‘රේස් එක්කට කලින් දවසේ අනිවාර්යයෙන්ම පන්සල් යනවා. ඒ ගිහින් බෝධි පූජාවක් තියලා ආශිර්වාද ගන්නවා. ඊටපස්සේ කෙළින්ම යන්නේ අම්මලාව බලන්න. එයාලගේ ආශිර්වාදයත් මට ගොඩාක් වටිනවා. ඒ ඇවිත් හොඳ ස්පෝර්ට් ෆිල්ම් එකක් බලනවා. චක් දේ ඉන්දියා නැත්නම් මාරිකොම් වගේ ෆිල්ම් නියමයි. ලංකාවේ මං කැමතියි මෝටර් රථ ධාවකයා අශාන් සිල්වා. පිටරට නම් ඩැනිකා පැට්‍රික්ට මාර ආසයි. ෆෝමියුලා වන් ක්‍රීඩා කරන ලුවිස් හැමිල්ටන්ටත් ඒ වගේම ආසයි.

අද වෙනකොට ලංකාවේ තරුණියන්ගෙන් ට්‍රැක්වල කාර් රේස් පදින්නේ මං ඇරුණම තව දෙන්නයි. ඒ ෂෙහාරා සැලෝමි ද සිල්වා අක්කයි, ලක්ෂිකා පතිරණ අක්කයි විතරයි. මගෙන් පස්සේ තවමත් කෙනෙක් ආවේ නෑ. ඒක නිසා මං අපේ රටේ තරුණියන්ට ආරාධනා කරනවා මේ ක්‍රීඩාවට යොමුවෙන්න කියලා. මං දැන් කාර් රේසිංවලට ඇවිත් අවුරුදු හතරක්. මේ වෙනකොට මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ඉදිරියේදී ජාත්‍යන්තර තරඟයක් නියෝජනය කරන්න.’’

රුවන් එස්.සෙනවිරත්න