විශේෂාංග

‘නංගි ඔයාගෙ ඇඟනම් මාරයි’ කියලා පිරිමි ළමයි කියනවා – කෞශල්‍යා වොෂානි

කොණ්ඩය කොටට කපා, පුම්බාගත් මස්පිඬු සහිත අත්ගොබ ප්‍රදර්ශනය කරන පාසල් සිසුවියකගේ ඡායාරූප කීපයක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය විය. සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ල නිසාම මේ දියණිය සමඟ ටිකක් කතාබහ කරන්නට අපටද සිත් විය.

මං ඉස්කෝලෙදි ක්‍රීඩාවක් විදියට පිහිනුම් කළා. ඒකට හොඳ ශරීර යෝග්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ ගැන හිතලයි ජිම් එකකට ගියේ. එතැනදි මං දැක්කා ජිම් එකට එන අයගේ ඇඟවල්. ඉතින් ගෑනු ළමයෙක් වුණත් මටත් ඒ වගේ ෆිට් ඇඟක් හදාගන්න ආස හිතුණා.”

ඒ ඉහත කී දියණියයි. ඇය මෙවර ගාල්ල ගිංතොට මහා විද්‍යාලයෙන් උස්ස පෙළ විභාගයට මුහුණ දුන් 19 හැවිරිදි කෞශල්‍යා වොෂානි ය.

මුලින් ආසාවට ඇඟ හදාගත්තට පස්සේ මට හිතුණා කායවර්ධන ක්‍රීඩාවට යොමුවෙන්න. මං ඒක ජිම් එකේ කෝච්ට කිව්වා. පස්සේ එයා කිව්වා ආධුනිකයින්ට Mr.Novise Women Physique’ කියලා තරඟයක් තියෙනවා අපි එහෙනම් ඒකට ඉදිරිපත්වෙලා බලමු කියලා. 2021 අවුරුද්දේ තමයි ඒක තිබුණේ.”

එම තරඟයෙන් ඇය දෙවැනි තැනට පත්වූවාය. තමා මුහුණදුන් මුල්ම තරඟයෙන්ම එවන් ජයග්‍රහණයක් හිමිවීමත් සමඟ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ඇයට තිබූ ආසාව වැඩි  වූ බවයි ඇය පැවසුවේ.

ඊටපස්සේ මං පහුගිය අවුරුද්දේ තිබුණු විවෘත Mr.Sri Lanka 2022’ තරඟයට ඉදිරිපත් වුණා. ඒ තරඟය නියෝජනය කරපු ළාබාලම ක්‍රීඩිකාව වුණේ මං. හැබැයි මට පුළුවන් වුණා ඒ තරඟයෙන් ලංකාවෙන්ම හයවැනි තැනට එන්න. ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පදිංචි කෞෂල්‍යාට මව සහ පියා හැරුණුකොට සිටින්නේ අක්කලා දෙදෙනෙකි. සුකුමාල ගැහැනු ළමුන් අතරේ වඩා ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන කෞශල්‍යා නිසැකවම පාසල තුළ කැපී පෙනෙන චරිතයක් වන්නට ඇත. අන්‍යන්ගේ අවධානයද වැඩිපුර ලැබුණු බවට සැක නැත. ඉඳින් අපි ඒ ගැනද ඇගෙන් ඇසුවෙමු.

ඉස්කෝලේ ගෑනු ළමයි නම් මං දැක්කම කියනවා මරු ඇඟක් ඔයාට තියෙන්නේ, අපිත් ජිම් එක්කන් යන්නකෝ කියලා. පිරිමි ළමයිනුත් කියනවා මාර ඇඟක් ඔයාට තියෙන්නේ කියලා. සුදු ගවුම ඇඳලා පාරේ යද්දි වුණත් ගොඩාක් අය මගේ දිහා අවධානෙන් බලනවා. ගොඩාක් වෙලාවට පිරිමි ළමයි තමයි. ඒ වෙලාවට ඉතින් ආඩම්බර හිතෙනවා.”

නමුත් ඒ පැසසුම් ලබන්නට ඇයට බොහෝ දේ කැපකරන්නට සිදුවිය.

කායවර්ධන ක්‍රීඩාව කරද්දි ගොඩාක් කැපකිරීම් කරන්න වෙනවා. විශේෂයෙන්ම තරඟයකට සූදානම් වෙද්දි ඒ කැපකිරීම් ඉහළයි. කොච්චර ආස වුණත් දකින දකින කෑම කන්න බෑ. පිටි කෑම කන්න බෑ. බීම බොන්න බෑ. තරඟය හෙට කියලා අඩුතරමින් වතුරවත් බොන්න බෑ. සෝඩා ටිකකින් තොල තෙමාගන්න විතරයි දෙන්නේ. තරඟයකට කලින් දවසේ ඇඟ හෝදන්නවත් බෑ. ඒ කැපකිරීම් නිසාම මට මේ ක්‍රීඩාව එපාවුණු වෙලාවලුත් තිබුණා. ඒ වෙලාවට මං කළේ මගේ ඇඟ දිහා බලලා ආයෙත් ආසාව වැඩිකරගත්ත එක.”

පිහිනුම් ක්‍රීඩාව නිසා කායවර්ධන ක්‍රීඩාවට පැමිණි කෞශල්‍යා මේ වනවිට පිහිනුම් ක්‍රීඩාවට සමු දී ඇත. නමුත් ඒ තුළින් ඇය ලබාගෙන ඇති ජයග්‍රහණ දෙස බලද්දී අනාගතයේදී අපේ රටට ජයග්‍රහණ රැසක්ම උරුමකර දෙන්නට සිටි දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක් අහිමි වූවාදෝ යන සැකයද අපිට නොතිබුණාම නොවේ.

මං පිටපිටම 2018 සහ 2019 කියන අවුරුදු දෙකේම සැතපුම් දෙකේ ගල්කිස්ස මුහුදු පිහිනුම් තරඟයේ පළවැනියා වුණා. එතකොට 2018 අවුරුද්දේ කිංග්රෝඩ්ස් ජල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරපු කිලෝමීටර් 10 විවෘත මුහුදු පිහිනුම් තරඟයෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනාගත්තා. එතකොට මට වයස අවුරුදු 14යි. එදා නැවතෙන්නේ නැතුව පැය දෙකයි විනාඩි 53කින් වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස මුහුදේ කිලෝමීටර් 10ක් එකදිගට පීනුවා. ඊට අමතරව පහුගිය අවුරුදුවල ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා අරන් තියෙනවා.”

මේ අතර පසුගිය වසරේදී ඇය පිහිනුම් ක්‍රීඩාවට සමුදී ඇත්තේද සුවිශේෂී ජයග්‍රහණකින් අනතුරුවය.

පාසල් මට්ටමින් පවත්වපු ‘Sri Lanka School Swimming Championship 2022’ තරඟාවලියේ 20න් පහළ බාලිකා මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් පළවැනි තැන ගත්තා. මීටර් 50 නිදහස් ආර ඉසව්වෙනුත් පළවැනියා වුණා. ඒ එක්කම මීටර් 50 සමනල ආර ඉසව්වෙන් තුන්වැනි තැන දිනාගන්න මට පුළුවන් වුණා.”

මෙකී සියලු ජයග්‍රහණවලට මුල කෞශල්‍යාගේ ආදරණීය පියාය. ඇය පැවසූ ආකාරයට වයස අවුරුදු දෙකේ සිටම ඇයට පිහිනන්නට උගන්වා ඇත්තේ ඔහුය. ඒ නිවස සමීපයේ ඇති ගිං ගඟේය.

ඉස්සර අපි ගිං ගඟට නාන්න ගියාම මමයි අක්කලා දෙන්නයි අම්මා රෙදි හෝදනකල් පීනනවා. ඒත් මට හරියට පීනන්න බෑ. පස්සේ තාත්තා තමයි මට පීනන්න ඉගැන්වුවේ. ඒ මං ගිලෙනවට පුහු පොල් ගෙඩි දෙකක් ලණුවක ගැට ගහලා මගේ බඩ යටින් දාලා එයාගේ අත උඩ තියාගෙන. ටික දවසකින් මං වැඩේ අල්ලගත්තා. ඊටපස්සේ සුසන්ත සර්, ජයන්ත සර් සහ රොශාන් පීරිස් කියන සර්ලා යටතේ මං ඒක ක්‍රීඩාවක් විදියට කළා. දැන් නම් කිසිම බයක් නැතුව ගඟේ මුහුදේ පවා ඕනම ගැඹුරක් තියෙන තැනක පීනන්න පුළුවන්.”

කායවර්ධන ක්‍රීඩාවෙන් ගමනක් යන්නට සිතා පිහිනීමට සමුදුන් කෞශල්‍යා දැන් තමාටම කියා ඉලක්කයක් තනාගෙන තිබේ. ඒ ලෝකයේ හොඳම කායවර්ධන ශූරිය බවට පත්වීමටයි. ඒ වෙනුවෙන් ඇය පුහුණු කරන්නේ කායවර්ධන ක්‍රීඩාව තුළින්ම ලංකාවට අභිමානයක් ගෙන ආ කායවර්ධන ක්‍රීඩක හර්ෂ් ඩී පීරිස් විසිනි.

කැපවීම ඇත්නම් වයස යනු ඉලක්කමක් පමණි. කෞශල්‍යා දියණියද ඊට හොඳ උදාහරණයකි. ඉතින් ඈ පතන පරිදිම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන්නට ඇයට සුබ පතමින් අපි ඇයට සමුදුන්නෙමු.

 

රුවන් එස්.සෙනවිරත්න