ප්‍රීතිමත් ජීවිතයකට

පවුල රැකගන්නනම් නන්දි ගවයාට කියපු කතාව නෝනටත් කියන්න

මොනවා කළත් හස්බන්ඩ්ගෙන් හොඳක් නැහැ. හැමදේටම අම්මාඅම්මාඅම්මා. අපරාදෙ මාව බැන්දේ. අම්මා එක්කම ඉන්න‍යි තිබ්බේ.”

මේක මගේ මිතුරියක් මාත් එක්ක කිව්ව කතාවක්. ඇගේ සැමියත් මගේ හිතවතෙක්. අවුරුදු තුන හතරක පෙම් ඇසුරකින් පස්සෙ ඔවුන් මෑතකදි විවාහ වුණා. මම ඒ විවාහ මංගල්‍යයට පවා සහභාගී වුණා. කසාදෙන් පස්සේ දෙන්නා සැමියගේ මවත් එක්ක ඔහුගේ මහගෙදර නතර වුණා. ඇය මාත් එක්ක ඇගේ ගැටලුව ගැන කිව්වේ  මගෙන් යම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නිසා මමත් ප්‍රශ්නේ ගැන තව ටිකක් හාරවුස්සලා ඇහුවා.

බොහොම මෑතකදි වුණු සිදුවීමක් ගැන ඇය එතකොට කියන්න ගත්තා. කිරිඅල මාලුවක් කන්න ආසයි කියලා එයා ළඟකදි කිව්වා. කිරිඅල කියන්නේ හැමතැනම හොයන්න පුළුවන් දෙයක්යෑ. ඒ වුණාට මම බොහොම අමාරුවෙන් කිරිඅල ටිකක් හොයාගෙන යූටියුබ් එකෙන් රෙසිපියක් බලාගෙන එයාට හදලා දුන්නා.”

ඉතින් එයාට සතුටු හිතුණේ නැද්ද?”

ඒක කාලා මොකද්ද දන්නවද කිව්වේ? ඒ කාලේ එයාගේ අම්මා හදනවලු කිරිඅල ව්‍යාංජනයක්. ඒක ගෑවුණු තැන බත් කන්න පුළුවන්ලු. මම හැදුව හොද්ද ගැන නිකමට කතා කළේ  නෑ.”

නැන්දම්මා නිසා පවුල් ප්‍රශ්න ඇතිවෙනවයි කියලයි ඇය කිව්වේ. හැබැයි ඇගේ නැන්දම්මා පුතාට වගේම ඇයටත්  හොඳින් සලකන බව ඇගේ කතාවලින්ම පැහැදිලි වුණා. ඉතින් ප්‍රශ්නේ තිබුණේ නැන්දම්මගේ නෙමෙයි, සැමියා බිරිඳව අගය නොකරපු එක. හිතවතියගේ ඉල්ලීම නිසා එදා මම ඔහුටත් කතා කළා.

අවුරුදු දෙකේදි තාත්තා නැතිවුණු දවසේ ඉඳලා අම්මා තමයි මාව තනියම හදාගත්තේ. අනික මගේ අම්මා හාට් පේෂන්ට් කෙනෙක්. මම හිතුවේ නැහැ එයා මගේ අම්මා ගැන ඔහොම කියයි කියලා.”

මුලදි ඔහු ටිකක් ආවේගශීලී වුණා. හැබැයි බොහොම අමාරුවෙන්, ආශාවෙන් ඔහු වෙනුවෙන් හදල දුන්නු දේ අගය නොකර අම්මා පුංචි කාලේ දීපූ දේ අගය කරන්න ගියහම ඕනම කෙනෙක්ගේ හිත් රිදීමක් ඇතිවෙන්න පුළුවන්නේ කියන එක මම ඔහුට පැහැදිලි කළා. පස්සේ මේ සැමියා ඔහුගේ වරද නිවැරදි කරගෙන තිබුණා.

කෙනෙක්ව අගය කරනවා කියන්නේ ඔහුගේ/ඇයගේ හොඳ දෙයක් නැත්තම් වෙන කෙනෙක් වෙනුවෙන් කරන දෙයකට වටිනාකමක් දෙනවා කියන එකටයි. මේ ලෝකේ පුංචිම දරුවගේ ඉඳන් හැමකෙනෙක්ම ඔය කියන අගය, වටිනාකම බලාපොරොත්තු වෙනවා. මතකද නන්දි විශාල ජාතකය? “ඇදපන් කුළු හරකෝ කරත්තේ ඇදපන්” කිව්වහම කරත්තේ ඇදපු නැති නන්දි ගවයා “මගේ හොඳ රත්තරං පුතා, ගැල් සියයක් අදින්න පුළුවන් දක්ෂයා” කිව්වහම ලේසියෙන්ම ගැල් සීයක් ඇද්දා. කෙනෙක් ෆේස්බුක් එකට වුණත් තමන්ගේ ඡායාරූපයක් දාන්නේ ඒකට ලැබෙන හොඳ ප්‍රතිචාර බලන් මිසක් නරක දේ අහන්න නෙමේනේ. නරක ප්‍රතිචාරවලට මිනිස්සුන්ගේ හිත් රිදෙනවා.

මිනිසුන් පාන්වලට වඩා අගය කිරීම්වලට වැඩි කුසගින්නකින් පෙළෙනවා කියලා තෙරේසා මව්තුමිය කියලා තියෙනවා. ඇත්ත. පවුල් අවුල් වෙන්න විතරක් නෙමෙයි බොහෝදෙනා රැකියා හැරයන්නත් නිසි ඇගයීමක් නොලැබීම කියන දේ හේතුවෙන බව සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා.

අගය කිරීම කියන දේ පරාවර්තනය වෙනවා කියලයි අපි කතාවට කියන්නේ. අපි නිතරම අනිත් අයව අගය කරනවානම් ඒ අයත් අපිව අගය කරනවා. නැතිව කොයිවෙලෙත් වෙන කෙනෙක්ගේ වැරදි අඩුපාඩුම පෙන්වන කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට හොඳක් කියන්නත් කවුද කැමති වෙන්නේ?

නිතරම  සතුටින් ඉන්න, හිතේ ප්‍රශ්න ගැටලු අඩු කෙනෙක්ට තව කෙනෙක්ව අගය කරන්න ලේසියි. නිතරෝම පසුතැවි තැවී ඉන්න කෙනෙක්ට ප්‍රායෝගිකව තවත් කෙනෙක්ව අගය කරන්න, කෙනෙක්ගේ හොඳක් දකින්න අමාරුයි කියන එකත් කියන්න ඕනේ.

ඊළඟට වැදගත්ම දේ එක එක පුද්ගලයා අගය කිරීම් ලබන්න කැමති විදි එකිනෙකාට වෙනස් වෙනවා. මේ ගැන ගොඩක්අය දැනුවත් නැහැ. වෙන කෙනෙක් කරන ඇගයීමක් අහලා සතුටු වෙන අය ඉන්නවා. තව සමහරු ඉන්නවා මල් පොකුරක්, පුංචි කාර්ඩ් එකක්, තෑග්ගක් වගේ දේ අගය කිරීමක් විදියට බාරගන්න කැමති. ඊගාවට තව පිරිසක් ඉන්නවා අතට අත දෙනවට, සිප වැළඳගන්නවාට නැත්තම් පිටට තට්ටුවක් දානවට කැමතියි. මනෝවිද්‍යාවෙදි අපි එව්වට කියන්නේ හසුරු අගයකිරීම් කියලා. සාමාන්‍යයෙන් කෙනෙක්ව ටික කාලයක් ආශ්‍රය කරනකොට එයා මොන වගේද කියලා තේරෙනවනේ. ඔහු/ඇය අගය කරනවට කැමති විදිය තේරුම් අරන් ඒ විදියට අගය කරන්න. අනික කෙනෙක් මහන්සි වෙලා උදව්වක් කළාම නිකන්ම නිකන්  “ස්තූතියි” කියලා ශේප් වෙන එක හරි මදි. එහෙම වෙලාවට අනිත් කෙනා ඔයාට කරපු උදව්ව නිසා කොච්චර පහසුවක් වුණාද කියන එක කියලා ‘ස්තූති’ කරන්න.

ඊගාව දේ තමයි අගය කරන එක ඒ කෙනාගේ මූණට කරන්න. එයා හොඳයි, දක්ෂයි කියලා එයාගේ මූණට නොකියා පිට තැන්වල කියන එක ජීවත්වෙන කාලේ මිනිහෙක්ගේ හොඳ නොකියා මැරුණට පස්සේ  ගුණකථනය කරන ගානයි.

අගය කිරීම් ලබන්න කැමති වුණාට තව කෙනෙක්ව අගය කරන්න ගොඩක් මිනිස්සු වැඩිය කැමති නැහැ. වැරැද්දක් දැක්කම ඇරෙන කටවල් හොඳක් දැක්කම ඇරෙනවා හරි අඩුයි.

බිරිඳ හදන හොද්දට ලුණු වැඩි වුණොත් නැත්තම් තේ එකට සීනි වැඩි වුණොත් ඒක කියන්න ඉස්සර වුණාට රසට තේ එකක් හදලා දීපු දවසට ඒක වර්ණනා කරන්නේ කීයෙන් කී දෙනාද? තේ එකට සීනි වැඩි එක නොකියා හිටියයි කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තේ එක රසයි කියලා ටිකක් හිනාවෙලා වයිෆ්ට කියලා බලන්නකෝ. ඒ තරම් සතුටක් ඇයට නැතිවෙයි.

අනිත් වැදගත්ම දේ ලස්සනයි කියනවට ගෑනු අය හරි ආසයි. බිරිඳ අලුත් ඇඳුමක් ඇන්දම නැත්තම් අලුත් මෝස්තරයක් කළාම ඇය ලස්සනයි කියන්න. ඒ වගේමයි සැමියාටත් ඉඳලා හිටලා හරි කඩවසම් කියන්න. එහෙම කියනවට එයාලත් ආසයි. අලුත් ඇඳුමක් ඇන්දම ඒ ඇඳුමට ඔහු හැඩයි කියන්න. ඉඳලා හිටලා හරි සැමියා/බිරිඳ පවුල වෙනුවෙන් කරන දේ අගය කරන්න පුංචි දෙයක් හරි ගෙනැල්ලා දෙන්න.

ඉඳලා හිටලා හරි සැමියගේ/බිරිඳගේ සැප දුක අහන්න. ඒකත් අගය කරන විදියක්. ඒ වගේම පවුලේ ඥාතීන්, යාළු මිත්‍රාදීන් ඉස්සරහා සහකරුවව අගය කරන්න. පවුල වෙනුවෙන් ඔහු කරන කැපකිරීම් ගැන කියන්න. ඒ වගේ දෙයින් දෙන්නගේ බැඳීම වැඩිවෙනවා.

මම මුලදිම කිව්වනේ අගයකිරීම් ලබන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි. ඉතින් බැඳීම් ඇතුළේ අගයකිරීම්, වටිනාකම් ලැබෙන්නේ නැතිකොට මිනිස්සු අගය තියෙන තැන් හොයාගෙන යනවා කියන එකත් මතක තියාගන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි