විශේෂාංග

පුතා එක්තැන් වුණාට පස්සේ නෝනා එයාව දාලා ගියා

‘ගල්වා ඉසෙහි තෙල් යහමින්

එල්ලා කරෙහි පංචායුධය

අල්ලා ගෙන අතින් මා

පාසලට එක්ක ගිය

අකුරු නූගත් අම්මා ඔබ ය’

 

මහගම සේකර කවියා අම්මා ගැන එහෙම කියද්දි මැක්සීම් ගෝර්කි කිව්වේ ‘ලෝකයට ජීවය දෙන්නේ හිරුඑළිය සහ අම්මා ය’ කියලයි.

 

‘ඇතින්නක් ලත් දරු පෙම්බරේ යා

ඇතිනි රැළේ හැමටම කිරි එරේයා

දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා

පුතුනේ බලන් සත් සමුදුර පිරේයා’

 

මේක අම්මා කෙනෙකගේ හිතේ දරුවෙක් ගැන මුහුදු හතක් පිරෙන්න සෙනෙහස තියෙනවා කියලා කියැවෙන ජන කවියක්. සාහිත්‍යයේ, පතපොතේ අම්මලා ගැන ලියැවිච්චි තැන් අනන්තයි අප්‍රමාණයි. ඒ තරම් සෙනෙහස තියෙන ඒ හිත් ගැන නොලියා කොහොමද?

මනුස්සයෙක්ට විපතක් ඇබැද්දියක් වුණාම හොඳින් ඉන්දැද්දි ඒ කෙනා වටේ හිටපු සනුහරේ රැඳෙන්නේ ටික කාලයයි. පිළිකා වාට්ටු, ඇක්සිඩන්ට් වාට්ටු ඉස්පිරිතාලවල දරුවන්ගේ ජීවිත වෙනුවෙන් යදින්නේම අම්මලා. දරුවෙක් මැරුණුදාක මළකඳ දාලා යන්නවත් අම්මලා කැමති නැහැ. එදා කිසාගෝතමීත් මැරිච්ච දරුවගේ මළකඳ ළයේ හොවාගෙන පණ දෙන්න හැදුවේ ඒකනේ.

ආයේ කතා කරන්න, ඇවිදින්න බැරි වුණත් මගේ පුතාගේ ජීවිතේ බේරෙනවා නම් මට ඒ ඇති.”

කිසාගෝතමීගේ කතාව මතක් වුණේ කල්‍යාණි පොඩිමැණිකේ අම්මාගේ කතාව නිසයි. වෛද්‍යවරු සුව කරන්න අපහසුයි කිව්වත් මේ අම්මා තාමත් දරුවගේ ජීවිතේ වෙනුවෙන්  සටන් කරනවා. අපි මේ ලිපිය ලියන්නේ ඒ අම්මගේ විශ්වාසෙට හයියක් වෙන්න හිතාගෙනයි.

කල්‍යාණි පොඩිමැණිකේ ජීවත්වෙන්නේ අනුරාධපුර මහවැව පැත්තේ.

පුතාගේ නම ලක්ෂිත මධුසංඛ. දරුවා ලැබිලා ටික දවසකින් පුතාගේ තාත්තා අපිව දාලා ගියා. එදා ඉඳලා මම තමයි පුතාව උස්මහත් කළේ.”

ලක්ෂිත මධුසංඛගේ වයස 29යි. පින්තාරු ශිල්පියෙක් විදියට කොළඹ රැකියාවක් කළ තරුණයෙක්.

පුතා විවාහකයි. දරු දෙන්නෙකුත් ඉන්නවා. 2022 පෙබරවාරි මාසේ අපි දන්න ළඟම කෙනෙක් අන්ත්‍රා වුණා. ඒ මළගෙදරට පුතා කොළඹ ඉඳලා ගෙදර ආවා. අනේ ඒ මළගෙදර වැඩවලටත් මගේ දරුවා සෑහෙන මහන්සි වුණා. සේරම වැඩ ඉවර කරලා පහුවෙනිදා කොළඹ යන්නයි හිටියේ.”

අවාසනාවකට ලක්ෂිත හිතූ විදියට ඔහුට එදා කොළඹ යන්න ලැබුණේ නැහැ.

පෙබරවාරි 18 වැනිදා පුතා යාළුවෙක් එක්ක ටිකක් ටවුමට ගිහින් එන්නම් කියලා ගියා. ඒවෙලේ බ්‍රේක් නැතිවෙලා බයික් එක ඇක්සිඩන්ට් වෙලා. පුතා ඉඳලා තියෙන්නේ පිටිපස්සේ. අනතුරෙන් එයාට ගොඩක් හානි වුණා.”

කල්‍යාණි අම්මා කතා කළේ අඬ අඬා. දරුවෙක්ට වෙච්චි මේ සා විපතක් විස්තර කරද්දි ඇහෙන් කඳුළු නොවැටෙන අම්මලා කොයින්ද.

බයික් එක වැදුණු පාර පුතා විසිවෙලා. හෙල්මට් එක කැඩිලා. ඒ පාර වැදිලා තියෙන්නේ ඔළුව. අනතුරෙන් පුතාගේ මොළේ තැලිලා, ඔළුවට ගේ ගිහිල්ලා, ඔළු කට්ටත් පුපුරලා. ඔළුකට්ට අයින් කරලයි තියෙන්නේ. කටේ යටි ඇන්දේ ඇට කැඩිලා. දත් සේරම කට ඇතුළටම ගිහින්. ඔළුවේ ඉඳලා වකුගඩු දක්වාම බට දාලා තියෙන්නේ.”

මේ දරුණු අනතුරෙන් පස්සෙ ලක්ෂිතට සිහි කල්පනාවක් නැතිලු. කන්න බොන්නවත් අපහසු නිසා උදරයට බටයක් දාලා ඒ හරහා මාමයිට්, සමපෝෂ, සුප්, පලතුරු යුෂ වගේ දියර වර්ග විතරක් ලබාදෙනවලු.

පුතා එක්තැන් වුණාට පස්සේ නෝනා එයාව දාලා ගියා. ඉතින් එයාව බලාගන්න ඕනා නිසා මම රස්සාවෙන් අස්වුණා. දැන් මට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. පුතාව සතියට තුන්පාරක් ඉස්පිරිතාලෙ අරන් යනවා. එව්වට කෑමට දරුවට මාසෙට පනස්දාහක් හැටදාහක් යනවා. මගේ සහෝදරයින්ගෙන් දන්න අයගෙන් ඉල්ලලා තමයි එව්වා කරගන්නේ.”

 

‘සෙනෙහස වැඩි දා

සිතද බොළඳ වී

ලොවම ආදරෙයි කියා සිතේ

මායවක් වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ…’

 

කල්‍යාණි අම්මා එහෙම කිව්වහම ඒ සිංදුව මගේ ඔළුවට ආවේ ඉබේටම.

පුතාගේ කැත කුණු අතගාන්නේ සේරම කරන්නේ මම. කුසේ තියාගෙන හැදුව දරුවෙක්ගේ කැත කුණු අතගාන එක අම්මා කෙනෙක්ට මහදෙයක් නෙමෙයිනේ. දරුවා මේ විදියට හරි ජීවත් වෙනවා දකින්නයි මට ඕනේ. පුතා ගැන ලොකු විශ්වාසයක් නෑ කියලයි දොස්තර මහත්තුරු කියන්නේ. පුතාව සනීප කරගන්න පුළුවන් කියලමයි හැබැයි මගේ හිත කියන්නේ.”

අම්මා කෙනෙක්ගේ විශ්වාසය, කැපවීම නිසා දරුවෙක්ගේ නතර වුණු හදවතකට පණදීපු කතාවක් අපි මෑත දවසකදි ලිව්වා. ඉතින් මේ අම්මගේ බලාපොරොත්තුවෙත් කොනක හරි පණ තියෙන්න බැරි නැහැ. කල්‍යාණි අම්මගේ විශ්වාසය ඒ විදියටම ඉටුවෙන දවසක් එනකල් මේ පුතාට පණ අල්ලන් ඉන්න අපිත් පුළුවන් විදියට උදව් කරමු. 0772726226 අම්මගේ අංකය.

ලක්ෂිතට අදාළ නොවුණත් කල්‍යාණි අම්මගේ කතාව අවසානෙදිම මේකත් කියන්න හිතුණා. ෆේස්බුක්වල යකඩ හීන දකින තරුණ දරුවෝ ඕනතරම් අපි දකිනවා. හැබැයි මතක තියාගන්න යකඩ හීන දෙකට කැඩුණු දාට තනියට ළඟ ඉන්නේ අම්මා විතරයි. ඉතින් වාහනයකට නගින්න කලින් ඒක පරීක්ෂා කරන්න. පාරේ යද්දි පරිස්සමෙන් යන්න. මොකද ඔයාලා ගිය විදියටම ආයේ  ගෙදර එනකල් අම්මා මගබලාගෙන ඉන්නවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි