විශේෂාංග

ලෝයර් කෙනෙක් වෙච්ච මට මාස්ක් දම්මන්න පොලිස්කාරයෙක් වෙච්ච උඹට පුළුවන්ද?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා බොහෝදෙනෙකු මවිතයට පත් කරවන වීඩියෝවක් සමාජගත වෙමින් තිබිණි. එනම් තමන් නීතිඥවරියක් යැයි පවසන කාන්තාවක් විසින්, රාජකරියේ නිරත පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනවලින් බැන වදිමින් සෙරප්පු පහරක් එල්ල කිරීමට තැත් කරන අයුරුය. එයට හේතු වී තිබුණේ එම පොලිස් නිලධාරියා විසින් ඇයට මුඛ ආවරණයක් පළඳින ලෙස අවවාද කර තිබීමයි. ‘මොනරියක් කියලා හිතාගෙන පාර මැද්දෙ කිකිළියක් නටනවා.’ සමාජ මාධ්‍ය හරහා මෙම සිදුවීමට අදාළ වීඩියෝව නැරඹූ ඇතැමුන් තම තමන්ගේ අදහස් පළකර තිබුණේ එසේය.

පසුගිය දාහතර වනදා උදෑසන බත්තරමුල්ල මංසන්ධියේ සිට ඇතුල්කෝට්ටේ හරහා දිවෙන මාර්ගයේ වෙනදාට සාපේක්ෂව දැඩි මාර්ග තදබදයක් දකින්නට තිබුණි.

යක්ෂ ගෑනියෙක් පොලිසියෙ මහත්තයෙකුට ගහන්න පැනලා, මහ පාරෙ නිදාගෙන හූ තියනවා…”

ඒ අසලින් ගිය පුද්ගලයෙකු කියාගෙන ගියේ ආවේගශීලීවය. ඊට සුළු මොහොතකට පසු බත්තරමුල්ල ලාෆ් ගෑස් ඉදිරිපිටට පැමිණි මාද විමතියට පත් වුණෙමි.

සැබෑය. වැදගත් ලීලාවට සාරියකින් සැරසුණු කාන්තාවක්, එහි රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාට බැන වදිමින් යටිගිරියෙන් කෑගසමින් සිටියාය. කෑ ගැසීමකට වඩා එය හූ තැබීමක් කිවහොත් නිවැරදිය.

හූ තැබීමෙන් නොනැවතුණු කාන්තාව පොලිස් නිලධාරියාට අතින්ද පහරක් එල්ල කළේ මඟ දෙපස රැස්ව සිටි සියල්ලෝම බලා සිටිද්දීය.

අනේ යකෝ තොගේ නීතියතෝ මොකෙද්ද මට නීතිය උගන්නන්නඋඹ දැනගනින් මම ලෝයර් කෙනෙක්ලෝයර් කෙනෙකුට නීතිය උගන්නන්න පොලිස්කාරයෙක් වෙච්ච උඹට පුළුවන්ද…?”

ඇය තවදුරටත් පොලිස් නිලධාරියාට බැන වැදුනේ සිහි විකල් වූවෙකු මෙන් පාර පුරා දුවමිනි. ඒ අල්ල පනල්ලේ ඇතැමෙක් මේ සිදුවීම වීඩියෝ කර ගැනීමටද අමතක නොකළහ.

නෝනා මම ඔයාට කිව්වෙ මාස්ක් එක දාගෙන පාරෙ යන්න කියලනෙඔච්චර උඩ පනින්න කෑ ගහන්න දෙයක් කිව්වෙ නෑනෙ. අනික ඔයා ලෝයර් කෙනෙක් නම් අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන්න ඕන නේද…? නීතිය දන්න මිනිස්සු ඔහොම හැසිරෙන එක වැරදියි නේද…? කරුණාකරලා මාස්ක් එක දාගන්නකෝ.”

පොලිස් නිලධාරියා විසින් තවදුරටත් ඇයට කාරුණිකව අවවාද කර සිටියේය. එහෙත් එය පිළිගන්නවා වෙනුවට ඇය කළේ ඔහු අසලටම ගොස් නැවතත් තල්ලු කිරීමට උත්සාහ කිරීමය.

ඒ තරම් හරියක් කරද්දීත් ඇය කාන්තාවක් වීම නිසාදෝ ඔහු කිසිඳු ආවේගශීලී බවකින් තොරව බොහෝ ඉවසීමෙන් කටයුතු කළේය.

ඔයා පොලිස් නිලධාරියෙක් නේද…? මේ විදිහට රටේ නීතියට පයින් ගහලා, ගෑනු සන්හතියටම ලැජ්ජා කරන ගෑනියෙකුට ඔච්චරටම බාල්දු වෙන්න එපාඉක්මනට පොලිස් කාන්තාවක් ගෙන්නගෙන පොලිසියට අරන් යන්න…”

බලා සිටි පිරිස එසේ කීහ. ඒ වනවිටත් ඇතුල්කෝට්ටේ දෙසට වේගයෙන් ඇවිද ගිය ඇය, ඒ අසලින් ගිය බස් රථයකට ගොඩවීමට උත්සාහ ගත්තේ වැඩ වරදින බවට තේරුම් ගිය නිසා විය යුතුය.

එහෙත් මඟ දෙපස රැස්ව සිටි ජනතාව එයට ඉඩ නොදුන්නේ පොලිස් නිලධාරියාට සහය දැක්වීමට එක්ව සිටි නිසාවෙනි.

මොකද යකෝ තොපි මගේ පස්සෙන් එන්නේ…? තොපිට ලැජ්ජ නැද්ද මේ විදිහට ගෑනියෙකුගෙ පස්සෙන් එන්න?”

නැවතත් එසේ කෑගැසූ ඇය ඉදිරියේ කිසිවෙකුත් ඊටත් වඩා ඉවසිලිවන්ත නොවූහ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා තලංගම පොලිස් ස්ථානයේ කාන්තා නිලධාරිනියන් එම ස්ථානයට ගෙන්වීමට කටයුතු කළේය.

එහෙත් ඒ මොහොතේ වහාම බිම වැතිරීගත් ඇයව ජීප් රථයට නංවා ගැනීම සිතූ තරම් පහසු දෙයක් වුණේ නැත. පසුව පොලිස් කාන්තාවන් සහ අසල සිටි කාන්තාවන් එක්ව ඇයව ජීප් රථයට නංවා ගත්තා නොව පටවා ගත්තා කිවහොත් නිවැරදිය.

නාට්‍යය එතෙකින් නිමාවිය. පසුව අප තලංගම පොලිසිය ඇමතුවේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු  දැන ගැනීමටය. එහිදී උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ, තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඇයට තරයේ අවවාදකොට මුදාහැරිය බවයි.

මේ කතාව අපි ඔබට කීවේ අදාළ කාන්තාව විවේචනය කිරීමේ අරමුණකින් නොවේ. නහයත් කටත් වසාගන්නට කී පමණින් පොලු මුගුරු අමෝරාගෙන, දණ වටක් රෙද්ද උස්සාගෙන කඩා පනින මෙවැනි ගැහැනුන් මෙන්ම මිනිසුන්ද තවමත් අප අතර සුලබ බව කීමටය. මේ මොහොතේ ඔබ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වෙද්දී වදෙන් පොරෙන් ඔබේ දෝතට සැනිටයිසර් ටිකක් හලනා ආරක්ෂක නිලධාරියාට වඩා ඔබේ තනතුර උසස් විය හැකිය. බස් රථයක ගමන් කරද්දී මුව ආවරණය පළඳින්න යැයි කියනා කොන්දොස්තරවරයාට වඩා ඔබේ නිලය උසස් විය හැකිය. රජයේ ආයතනයකට හෝ වෙනයම් ආයතනයකට ඇතුළු වෙද්දී එහි පිවිසුමේ සිටින ආරක්ෂක අංශයේ නිලධාරීන් හෝ වෙනයම් නිලධාරියෙකුට වඩා ඔබේ සිවිල් බලය වැඩිවිය හැකිය. නමුත් ඔබේ ධනය, බලය, නිලය යන සියල්ලටම වඩා මේ මොහොතේ කොවිඩ් මාරයා බලවත්ව සිටින බව ඔබ පිළිගත යුතුය. ඔබේ ‘පොර’ මානසිකත්වය මේ මොහොතට සාපේක්ෂව අදාළම නැත. ඒ නිසා මේ වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ඔබෙන් අයදින කවර තරාතිරමක කෙනෙකුට හෝ එරෙහි වීමෙන් ඔබ මාර පොරක් බවට පත්වන්නේ නැත. එයින් ඔබේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා පමණි.

මේ මොහොතේ බල කිරීමකින් තොරව මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන සියල්ලන්ට බුදුන්ගේ සරණය. එසේ නොකර මම අසවලාය, අසවලාගේ අසවලාය කියමින් ඩෙගා නටන සැමට කියන්නට ඇත්තේ අබ සරණයි කියාය.

ලිහිණි මධුෂිකා