විශේෂාංග

රජ සැප වගේද පෙම් සැප

මේ කතාව ප්‍රේමය වෙනුවෙන් රාජකීයත්වය අත්හළ රජ කුමාරියක් ගැනය. වෙනසකට ඇත්තේ ඇය සුරංගනා කතාවක කුමරියක් නොවී ජපානයේ ජීවත්වන කුමරියක් වීමයි.

එය 2018 වසරේ සෞම්‍ය හේමන්ත දිනයකි. මැකෝ කුමරිය සිය අනාගත වල්ලභයා පිළිබඳ පුවත ප්‍රසිද්ධ ක​ළේ එදිනය.

‘‘ඔහු සූර්යයා මෙන් උණුසුම් සිතක් ඇති ප්‍රේමණීය පුද්ගලයෙක්.’’

තමා පසෙකින් සිටි ප්‍රසන්න තරුණයා දෙස ආදරයෙන් බලාගෙන ඇය පැවසුවේ මාධ්‍යවේදීන්ගේ කැමරාවල ඔහුගේ රුව සටහන් වන අතරේදීය.

‘‘මට ඇය පසළොස්වක සඳක්.’’

ඔහු ද ප්‍රකාශ කළේ පෙම්වත් දෑසිනි.

මේ පුවතට තටු ලැබෙන්නට වැඩි කාලයක් ගියේ නැත.

‘‘ජපන් රජ කුමරියගේ අනාගත සැමියා සාමාන්‍ය පුද්ගලයෙක්.’’

බොහෝ ජපන් වැසියන්ගේ විමතියට ලක්වූ කරුණ එයයි. බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා සාම්ප්‍රදායික රාජකීය නීති අනුගමනය කරන ජපන් රජ කුමරියක විසින් එවැනි තීරණයක් ගැනීම ජපන් වැසියන්ගේ විශ්මයට හේතු වී තිබිණි.

කුමරියගේ පෙම්වතා කී කොමුරෝ ඒ වනවිට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක නීති ශිෂ්‍යයෙකු විය. කුමරිය ප්‍රකාශ කළේ නුදුරු කාලයේදී තමා කොමුරෝ සමඟ විවාහ වීමට බලාපොරොත්තු වන බවයි.

නමුත් ඇගේ ඒ පැතුම ඉටු කරගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පත් කොමුරෝගේ මව සම්බන්ධ මුදල් ගනුදෙනුවක් ගැන හෙළිකරනු ලැබූ බැවිනි. විවිධ කටකතා පැතිරී යද්දී කොමුරෝට හා මැකෝ කුමරියට සිදුවූයේ සිය විවාහ කල් දමන්නටය. ඒ අතර නොයෙකුත් විවේචනවලට ලක්වූ කුමරිය දැඩි මානසික ආතතියට පවා පත්වූවාය. බොහෝදෙනා පැවසුවේ ඇය පශ්චාත් කම්පනීය විශාදයෙන් (PTSD) පෙළෙන බවකි.

එම සිද්ධිය වී දැන් වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇත. මේ ඔක්තෝබර් 26 වනදා සිය විවාහය පැවැත්වීමට ඔවුන් සූදානම් වී සිටිති. එයද කිසිඳු උත්සව සිරියකින් තොර චාම් විවාහයක් ලෙසය.

මැකෝ කුමරියගේ මෙම විවාහය සාමාන්‍ය පවුලක විවාහයකට වඩා වෙනස්ය. සාමාන්‍ය යුවතියකට වඩා ලොකු කැපකිරීමක් සිය පෞද්ගලික අරමුණ පසෙකලා සිදු කිරීමට රාජකීයයෙකුට සිදුවීම ඊට හේතුවය. රටවැසියන් හා රජ පවුල බලාපොරාත්තු වන්නේ එයයි.

‘‘මා මගේ දෙමව්පියන්ට කොමුරෝව හඳුන්වා දුන් මොහොතේ ඔවුන් දැක්වූයේ උණුසුම් පිළිගැනීමක් නොවෙයි. ඔහු සාමාන්‍ය පවුලකට අයත් නීති ශිෂ්‍යයෙකු වීම ඊට හේතු වන්නට ඇති. මට වැටහුණා ඔවුන් මගේ විවාහයට කැමැත්තක් නොදක්වන බව.’’

ඇය පසුව පවසා තිබුණාය.

මේ වනවිට මැකෝ කුමරියත් ඇගේ පෙම්වතා වන කෙයි කොමුරෝත් 30 හැවිරිදි වියේ පසුවෙති. පසුගිය 23 වෙනදා කුමරිය සිය 30 වැනි උපන්දිනය සැමරුවාය. ඒ ඇය රජ පවුලේ සාමාජිකයෙකු ලෙස සැමරූ අවසන් උපන්දිනයයි.

සිය නැගණිය වූ කැකෝ කුමරිය සමඟ රාජ උද්‍යානයේ සක්මන් කරන මැකෝගේ ඡායාරූප ජපන් රජ පවුලේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබුණද ඇගේ උපන්දිනය පිළිබඳව එහි සඳහන් කර තිබුණේ නැත.

මැකෝ කුමරිය යනු ජපානයේ ඔටුන්න හිමි අකිශිනෝ කුමරුන් හා කිකෝ කුමරියගේ වැඩිමහල් දියණියයි. එමෙන්ම ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ හා මසාකෝ බිසවගේ ඥාති දියණියයි. ඇගේ බාල සොයුරිය කැකෝ කුමරියයි.

ඔවුන් දෙදෙනාගේ විවාහයට සාම්ප්‍රදායික රාජකීය සිරිත් විරිත් කිසිවක් ඇතුළත් වන්නේ නැත. වෙනකක් තබා ජපානයේ රජ කුමරිකයගේ මංගල අවස්ථාවකදී රජයෙන් ලබාදෙන යෙන් මිලියන 152.2ක දායාද මුදල පවා ඇයට අහිමිය.

කුමරියට සිය පෙම්වතා හමුවූයේ 2012 වසරේ ඇය ටෝකියෝවේ ජාත්‍යන්තර කිතුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදීය. එකල බොහෝදෙනා කොමුරෝව හැඳින්වූයේ ‘සයුරේ කුමාරයා’ ලෙසිනි. ඒ දකුණු දිග ටෝකියෝවේ ෆුජිසාවා නගරයේ පැවති වෙරළබඩ සංචාරක වැඩමුළුවකට ඔහු සහභාගී වී සිටියදී පටබැඳුනකි.

2018 අගෝස්තුවේදී ඔහු නීති උපාධිය හැදෑරීම පිණිස නිව්යෝර්හි ෆෝඩ්හැම් නීති විද්‍යාලයට ඇතුළු විය. කොමුරෝ මේ වනවිට ඇමරිකාවේ නීති ආයතනකට එක්වීමට අදහස් කර ඇත. විවාහයෙන් පසු කුමරිය සිය රටද හැර දමා සැමියා සමඟ ඇමරිකාව බලා යාමට නියමිතය.

ඔවුන් සිය අතිනත ගැනීම නිවේදනය කළ මොහොතේ සිටම රටවැසියන්ගෙන් හා මාධ්‍යවලින් විවිධ චෝදනා එල්ල විය.

‘‘කොමුරෝ සිය මවගේ ණය ගෙවීම සඳහා කුමරියගෙන් ලැබෙන දෑවැද්ද භාවිතා කිරීමට බලා සිටිනවා.’’

ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ එයයි.

එම චෝදනාවන් හේතුවෙන් කුමරිය දැඩි මානසික පීඩනයකට පත්විය. 2018දී එකතු වන්නට බලා සිටි ඔවුන්ගේ පැතුම වසර තුනකට වැඩි කාලයක් ඇදී ගියේ ඒ හේතුවෙනි. එහෙත් ඔවුනට අධිරාජයාගේ හා අකිෂිනෝ කුමරුගේ ආශිර්වාදය ලැබුණි.

‘‘විවාහයක් යනු දෙදෙනාගේ කැමැත්ත මත සිදුවන දෙයක්. පියෙකු වශයෙන් මට කළ හැකි දෙය ඇයගේ කැමැත්තට ඉඩ දීමයි.’’

කුමරියගේ පියා වන අකිශිනෝ කුමරු පැවසුවේ ගිය වසර අගදීය.

ජපානයේ රාජකීය විවාහ චාරිත්‍ර අනුව රජ පවුලේ කුමරියක සාමාන්‍ය පුද්ගලයෙකු සමඟ විවාහ වන්නේ නම් ඇය රාජකීය කටයුතුවලින් හා තනතුරුවලින් ඉවත් විය යුතුය. මෙය ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත ගෙන එන සම්ප්‍රදායකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමාන්‍ය පුද්ගලයෙකු සමඟ විවාහයට පත් එකම රාජකීය කාන්තාව වන්නේ මැකෝ කුමරියයි.

ඇය සිය රාජකීයත්වය හා මිලියන ගණනක දායාදය වැලි කැටයක් තරමටවත් නොසළකා කොමුරෝ සමඟ එක්වීම ඔවුන්ට එරෙහිව විවේචන එල්ල කළ පිරිසට ගැසූ කනේ පහරක් වැනිය. එමඟින් ඇය සිදුකර ඇත්තේ සුළු පටු පරිත්‍යාගයක් නොවේ. ඒ නිසා ලාබ සිල්ලර පෙම් බැඳීම් අතරේ මැකෝ කුමරියගේ ආදරය සදාතනික වනු ඇත.

වසන්ත විජේරත්න