විශේෂාංග

මං තරම් ලස්සන ගෑනියෙක් ලොවෙත් නෑ

ප්‍රබෝධාගෙන් වෙන්වන ලෙස අම්මාත් අක්කාත් නිතර පෙරැත්ත කළත් නිමන්තට ඇගෙන් වෙන්වීමේ සිතක් නොවීය. ජීවිතයේ එක්තරා යුගයක ඇය සමඟ ආදරණීයව ගෙවූ දවස් ගැන ඔහුට නිතර කල්පනා විය.

ප්‍රබෝධා නිමන්තගේ ප්‍රථම සහ එකම පෙම්වතිය වුවත් විවාහයට පෙර ප්‍රබෝධාට නම් පෙම් සබඳතා දෙක තුනක්ම තිබී ඇත. ඇය ඒ බව නිතර පවසන්නේද ආඩම්බරයෙනි.

‘‘ඒ කාලේ මාව බඳින්න කොල්ලෝ කීයක් නම් පොර කෑවද? ඒකට බලනවා තමුසෙට මම නැත්නම් කවුරුත් නෑ.’’

සිය ප්‍රථම ප්‍රේමය විවාහ කරගැනීමට ලැබීම නිමන්තට සතුටක් වුවත් ප්‍රබෝධාට අනුව නම් එය නිමන්තගේ දුර්වලකමකි.

‘‘ඒක නෙවෙයි, ඔයා දැක්කද ඊයේ ඔයාගේ අර යාළුවා මගේ දිහා කට ඇරන් බලාගෙන ඉන්නවා. දැක්කද එයාගේ වයිෆ්ගේ හැටි? කිසිම ලස්සනක් නෑ. ඒ අතින් ඔයා මාර වාසනාවන්තයි.’’

ප්‍රබෝධා​ගේ ඇතැම් කතාවලට අසූහාරදාහට කේන්ති ගියත් නිමන්ත නිහඬව සිටින්නේ දැන් ඔහුට මෙවන් කතා හොඳට හුරුපුරුදු නිසාය.

තමා තරම් රූප සුන්දරියක් මෙලොව කොතැනකවත් නැතැයි සිතන ප්‍රබෝධා නිතර කියන්නේ යන යන තැන ඉන්නා පිරිමි උදවිය ඇයට වශීවන බවය.

මෙසේ සිටියදී නිමන්තගේ අම්මා සහ අක්කා පැමිණි දිනක ප්‍රබෝධා තවත් හොඳ අඩව්වක් ඇල්ලුවාය.

‘‘බලන්න අම්මේ මෙයාගේ ඇ​ඟේ හැටි. ජිම් එකකටවත් යන්නේ නැහැනේ. පිරිමියෙක් වුණාම ඇඟ හදලා ටිකක් හැඩට ඉන්න එපැයි.’’

‘‘ඔයා උදේ ඉඳලා රෑ වෙනකල් කණ්ණාඩියෙන් මූණ බල බල හිටියට මට එහෙම කරන්න වෙලාවක් නෑනේ ප්‍රබෝධා. මම රස්සාව කරන්න ඕනෙනේ.’’

නිමන්ත නිහඬබව බිඳදැමුවේ තවත් ඉවසිය ​නොහැකි තැනය.

‘‘මගේ කරුමෙට තමයි ඕයි මම තමුසෙවම බැඳගත්තේ. නැත්නම් මගේ පස්සෙන් පිරිමි කීයක් ආවද? මම මේ දැන් තමුසෙව දික්කසාද කළත් මාව බඳින්න පිරිමි සීයක් විතර බලාගෙන ඉන්නවා.’’

ප්‍රබෝධාගේ ඒ කතාවෙන් නිමන්තට වඩා හිත රිද්දාගත්තේ අම්මා සහ අක්කාය.

එදයින් එදා නිමන්තගේ ගෙදරට ගොඩ නොවුණු ඔවුන් නිමන්තට නිතරම කීවේ මේ විවාහය කටුගා දමා වෙනත් විවාහයක් කරගන්නා ලෙසය.

විවාහයට පෙරත් ප්‍රබෝධාගේ මෙවන් ගතිසිරිත් තිබුණු බව හැබෑය. නමුත් විවාහ වූ පසු ඒ අමුතු ගති එන්න එන්නම වැඩි වුවා මිසක අඩුවූයේ නැත. ඒ නිසා මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගත් නිමන්ත දික්කසාද වී‍මේ ලියකියවිලි සකසනු වෙනුවට කළේ ඇයව නිසි මනෝ උපදේශන සේවාවක් වෙත යොමු කිරීමය.

‘‘තමන් තරම් ලස්සන කෙනෙක් නැහැයි කියලා හිතාගෙන අනිත් මිනිසුන්ගේ ඇදකුද හොයන කාන්තාවන් ඕනතරම් ඉන්නවා. නිතරම තමන්ව අන්‍යයන් එක්ක සංසන්දය කරන්න ඔවුන් හරි දක්ෂයි.

මේ කියන බිරිඳත් එහෙම කෙනෙක්. ඇස් කඩාගෙන යන තරමේ ලස්සනක් නොතිබුණත් ඇය සුන්දර යුවතියක්. ඇය වගේම සැමියාත් බොහොම කඩවසම්. මේ කාන්තාව අනිත් කාන්තාවන්ව විතරක් නෙවෙයි සැමියාවත් නිතරම හෑල්ලුවට ලක්කරන එක පුරුද්දක් කරගෙන තියෙනවා.

මේ ලෝකේ ඉන්න හැම පිරිමියම එයාට කැමතියි, එයාට ආදරෙයි කියලා තමයි ඇය හිතුවේ. ඒ නිසා සැමියා ගැන ඇයට ලොකු වටිනාකමක් තිබුණෙත් නැහැ.

නිසා ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක් බවත්, ඒ ලස්සනට හිමිවිය යුතු කිනම් හෝ ප්‍රශංසාවක් වේ නම් එය නිරායාසයෙන්ම හිමිවන බවත්, මම ඇයට පැහැදිලි කළා. වගේම ‘මම මාර ලස්සනයි’ කියලා හිතාගෙන ඒ මානසිකත්වයෙන්ම ජීවත් වෙන්න ගියොත් තමන් සමාජයට විහිළුවක් වෙන බවත් මම ඇයට තේරුම් කළා.

රූපය කියන දේ හැමදාම එකම විදියට පවතින්නේ නැහැනේ. රූපය නිසා අද දවසේ අහංකාර වෙලා නෑහිතවතුන් තරහා කරගත්තම රූපය මැකිලා ගිය දවසක ඒ කෙනා තනිවෙන්න වුණත් බැරි නැහැ. ඒ නිසා අනිත් මිනිසුන්ගේ ශරීර අඩුපාඩු හොයන වෙලාව ඵලදායී වැඩකට යොදවන්න කියන එක මම මේ බිරිඳට තේරුම් කරලා දුන්නා.

බිරිඳක් කරන්න ඕනේ තමන්ගේ සැමියාව අගය කරන එක මිසක් අවතක්සේරුවට, අපහසුතාවට ලක්කරන එක නෙවෙයි. අනෙක් කාරණාව තමයි බිරිඳකට තමන්ගේ රූපශ්‍රීය ගැන රටේ ලෝකෙ පිරිමින්ගෙන් හම්බවෙන වර්ණනාවලට වඩා තමන්ගේ සැමියා තුළ තමාට තියෙන ඇගයීම වටින්න ඕන. සමහර පිරිමි වචනෙන් නොකිව්වට, බිරිඳකට ඒ ඇගයීම, ප්‍රශංසාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන නොහිතා රටේ ලෝකේ පිරිමින්ගේ ඇගයීම් ලොකු කරගන්න ගියොත් සමහරවිට හොඳට තියෙන පවුල කැඩෙන්න වුණත් බැරි නෑ.

කොහොම නමුත් ප්‍රබෝධාට තිබු​ණේ පෞරුෂ අඩුපාඩුවක්. මේ වගේ හැසිරීම් සංකීර්ණ මානසික ව්‍යාධීන් දක්වා වුණත් දුරදිග යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හැම මනුස්සයම තමන්ට කැමතියි කියලා හිතන්න ගිහින් නැති කරදරවල නැත්නම් අනියම් සම්බන්ධතාවල වුණත් පැටලෙන්න බැරි නැහැ. මෙවන් හැසිරීම් තියෙන අයව නිසි උපදේශන සේවාවක් වෙත යොමු කිරීමෙන් ඔවුන්ගේ මේ හැසිරීම් පහසුවෙන්ම යටපත් කරන්න පුළුවන්.

නිමන්ත බොහොම හොඳ සැමියෙක් බව මට වැටහුණා. වෙනත් සැමියෙක් නම් ඇයව උපදේශනයකට යොමු නොකර දික්කසාද කර දමන්නට වුණත් ඉඩ තිබුණා. කොහොම වුවත් උපදේශන වාර කිහිපයකින්ම ප්‍රබෝධා ආදරණීය බිරිඳක් බවට පත්කරන්න පුළුවන් වුණා කියන එකත් මතක් කරන්න කැමතියි.’’

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි