විශේෂාංග

ලේලිගේ සුදු රෙද්ද හොයන නැන්දම්මලාට පුතාගේ කුමර බඹසරත් රකින්න කියමුද?

කන්නගී තනේ කඩා ගිණිලූයේ පඩිපුරය. ඒ තමා හැරපියා නාට්‍යාංගනාවක් හා රති කෙළියේ යෙදී දරුවෙකු ද ජාතක කළ කෝවුලන් කෙරෙහි ඇති වූ අපිරිමිත පතිභක්තිය නිසාය. අපිරිමිත පති භක්තිය කන්නගීට නම් දේවතාවියක් වීමට පාර කියුවේය. එහෙත් තනේ කඩා ගිණි නොතැබුවත් කෝවුලන් ලා නිසා හද ගිණි අවුලාගත් මෙකල කන්නගීලා දෙසනම් දෙවියන්වත් හැරී නොබැලුවේය. පති භක්තිය ඇත්තේ පතිනියන් ළඟය. පතිනියක් වීමට පතියෙක් හා පතිකුලයට යා යුතුය. පතිකුලයට යන්නට පෙර ඇය කුමරියක්ය. පතිනිය රකින්නේ පතිවතය. කුමරිය රකින්නේ කුමරි බඹසරය.

පතිනි සළුවලද ඇත් තුත්තිරි එමටය. එහෙත් කුමරියකගේ සළුව පිරුවටයක් විය යුතුමය. පතිනි දෙවියන්ගේ ආභරණ පළන්දා, පිරුවට අන්දා පෝරුවට නැඟිය යුත්තේ කුමරි බඹසර රැකි කුමරියක්ය. හතර වරිගය බලා හිඳින්නේ කුල කුමරිය දෙසය. ඇය රැකිය යුත්තේ සනුහරේ අභිමානයය. මංගල යහනට පිරුවට එළන්නේ රිදී නැන්දාය. නැන්දා කුකුළා අතැතිව මනාල යුවලගේ සිරියහන් ගබඩාවට රිංගන්නේ ඇය රැකි කුමරි බඹසරේ සලකුණු බලන්නටය. රිදී නැන්දා යන්නේ සාක්ෂිකාරියක් ද සමඟින්ය. සාක්ෂිකාරිය කුමරියගේ පැත්තේය. නැන්දාගේ ඇසට වැලි ගැසීම නම් සිහිනයක්මය. ගමේ ගො‍ඩේ හැම කුමරියකගේම පිරුවටය පිරික්සූ රිදී නැන්දාගේ කණෙන් රිංගන්නට නම් ඇය කඩුළු හත පැන්න සූත්තරකාරියක් විය යුතුමය. පිරුවටයේ රැඳි සලකුණේ සැක සංකා ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රිදී නැන්දාට බලය ඇත්තේය. නැන්දාට ඒ බලය හිමි වෙන්නේ දොර රෙද්දට මුවා වෙමින් සිටින කුමරියගේ නැන්දම්මාගෙන්ය. නැන්දම්මා මේ හග්ගිස්සන්නට තනන්නේ ගම්මැද්දේ ඇවිදින කළ වැලක වනා ඇති මල් චීත්තයක් දුටු විටත් වතුර පිපාසාව දැනෙන තම පුතුගේ කරකාර බැඳගත් මනාලියගේ කුමරි බඹසර ගැනය. රතු මලක් සමඟ මනමාලයාගේ ගෙදරින් දූතයෙක් පැමිණෙන තෙක් දෙමෝලනේ කොටන්නේ පෙකණි වැල කැපූ දා සිට ඔක්කේ දමා රැකගත් කුමරිය වැදූ අම්මාගේ හදවතය.

මේ දේවල් මේ විදියට සිද්ධ වූයේ අපේ ආත්තම්මලාගේ කාලයේය. ඒ ආත්තම්මලාගේ දූවරු දීග දෙන විට රිදී නැන්දා නොහොත් රෙදි නැන්දා අනුන්ගේ පිරුවටයේ අඩුපාඩු හෙව්වේ එහෙමත් තැනකය. මංගල රාත්‍රිය ගත කරන්න මනමාලයාගේ ගෙදර යනවා වෙනුවට නව යුවළ හෝටල් කාමරයට ගියේ මධුසමය ගත කරන්නටය. හෝටල් කාමර රිදී නැන්දලාට අකැපය. නැන්දා රිදී නොවුණත් පිරුවට බලන්නට හෝටල් කාමරයට යන්නට නැන්දලා ඉදිරිපත් වෙන්නේ ස්ව කැමැත්තෙන්මය. තමාගේ දියණියගේ පිරුවටය කෙසේ වෙතත් ඥාති දියණියගේ පිරුවටේ ශුද්ධිය ගැන ඒ නැන්දලාට ඇත්තේ පුදුම කැක්කුමක්ය.

එදාට වඩා අද කාලේ තවත් වෙනස්ය. මංගල දිනයෙන් පසු අද යෞවන යෞවනියෝ මධුසමයට යන්නේ ට්‍රිප්ය. ඇත්තෝ ලෝකෙ වටේ යන්නෝය. නැත්තෝ පුළුවන් විදිය රට වටේවත් යන්නෝය. නැන්දම්මාට ඔවුන් යනෙන තැන්වලට රිදී නැන්දලා තබා නැන්දලාවත් එවන්නට විදියක් නැත්තේය. එහෙත් දෙවනි ගමන දා ලේලියගේ පිරුවට හොයන නැන්දම්මලා අද ද ඇත්තේය.

මඟුලට නැකත් දෙන්න ඇවිත් අපේ නැන්දම්මා කිව්වා පෝරුවට ඇඳපු ඇඳුම පිටින්ම මනමාලයාගේ ගෙදර එන්න ඕනෑ කියලා. එතකොට අපේ හනිමූන් එක මනමාලයාගේ ගෙදර. අම්මෝ මට එළොව පොල් පෙනුණා. ඒත් මට මුකුත්ම කියන්න බෑ. මොකද මම විරුද්ධ වුණොත් නැන්දම්මා සැක කරනවා. අනිත් එක මේක යෝජිත විවාහයක්. අපේ අම්මත් හරියට අසරණ වුණා. තාත්තත් නැතුව එයා අපිව හැදුවෙ පුදුම කැපකිරීමක් කරලා. මගේ වාසනාවට එදා අපේ ඥාති අක්කා කෙනෙක් ඇවිත් හිටියා. එයා මුලින්ම මනමාලයාගේ හිත වෙනස් කළා. ඊට පස්සේ දෙවනි දවසේ අන්දන එකයි, ෆොටෝ ගහන එකයි, අනිත් අපහසුතා ගැනයි කියලා යන්තම් හෝටලයකට යන්න නැන්දම්මාව බලෙන්ම කැමති කරගත්තා. අපි හෝටලයකට නම් ගියා. ඒත් පහුවෙනිදා උදේ පාන්දර නැන්දම්මා ඇරෙන්න හත්මුතු පරම්පරාවෙම ගෑනු ටික හෝටල් කාමරේ දොර ළඟ හිටියා. නැන්දලටයි, පුංචි අම්මලටයි, පුතාටයි ඕන මඟුලක් කරගන්න කියලා මම බාත්රූම් එකට රිංග ගත්තේ පුදුම තරහකින්.”

මේ මීට වසර දහයකට දොළහකට පෙර ඌව පළාතට දීග ගිය පතිනියකගේ මංගල දිනයේ අමරණීය සැමරුම්ය. වාසනාවට ඈ පටලයක් සහිත කන්‍යාවක් වූවාය. උපතින් එම පටලය අහිමි වී තිබුණේ නම් ඇයට පත්තිනි දෙවියන්ගේම පිහිටය.

මම ටික කාලයක් රට හිටියා. රස්සාවකට ගිහින්. ලංකාවට ආවට පස්සේ අපේ අම්මලා මට මනමාලයො හෙව්වා. ඉස්කෝලෙ කාලෙ නම් පොඩ් සම්බන්ධයක් තිබුණා. ඒත් කාලයත් එක්ක ඒකත් එ‍හෙම්මම නැතිවෙලා ගියා. ඔය අතරෙ තමයි අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් විවාහ වුණේ. එයා බැන්දෙ එහා ගමින්. හැබැයි ඒකත් යෝජිත විවාහයක්. පහුවෙනිදා දෙවනි ගමන යන්න මනමාලිගෙ පැත්තෙන් ලෑස්තිවෙද්දි  මනමාලි අඬාගෙන ගෙදර ආවා. ගෙදර ආවා කිව්වට එයාව එක්කගෙන ආවා. ඒ අක්කට එයාගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරි වෙලා. අක්කාව එක්කගෙන ආවා විතරක් නෙමෙයි අම්මලාටත් දොස් කියලා, අහල පහළටත් කතන්දරේ කියලයි ඒ අය ආපහු ගියේ. අනේ අම්මේ මට නම් එදා බඳින එකත් එපා වුණා.”

මේ සිදුවීමෙන් වසර දෙකකට පසු විවාහ වී, හෙට අනිද්දාට දීග යන දියණියක් ඇතුළුව තුන්දරු මවක් වන ඇය උඩරට පළාතේ මැණිකේ කෙනෙක්ය. පළාතෙන් පළාතට ඉසදිය මංගල්‍යයේ චාරිත්‍ර වෙනස්ය. ඉසදිය මංගල්‍යය දා හැඩූ කඳුළින් ගෙදර ආ යුවතියන් සේම නොකළ වරදකට මුළු ජීවිතයම කඳුළට දිය කළ යුවතියෝ ද බොහෝය.

ඔයා දන්නවද මට වර්ජිනිටි එකක් නෑ. අපේ අම්මටත් තිබිල නෑ. අත්තම්මටත් තිබිලා නෑ. සීයයි අත්තම්මයි, නෑනායි මස්සිනයි නිසා එයාලා පුංචි කාලෙ ඉඳන්ම දන්නවා. ඒ නිසා සීයට ඒකෙ ප්‍රශ්නයක් වෙලා නෑ. ආත්තම්මා බයේ ඉඳලා තියෙන්නෙ අපෙ අම්මා ගැන. අත්තම්මටත් උපතින්ම පිහිටලා නැති නිසා එයා අම්මා මැරි කරන්න කලින් ඒ ගැන කියලා තියනවා. ඇත්තටම අම්මටත් තිබිලා නැහැ. අපේ තාත්තා පටු විදියට හිතන එක්කෙනෙක් නෙමෙයි. ඒත් අම්මා බැන්දට පස්සෙ තාත්තාත් එක්කම ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා. ඩොක්ටර් තමයි කියලා තියෙන්නේ අපේ අම්ම‍ගෙ උපතින්ම කන්‍යා පටලය පිහිටලා නෑ කියලා. ඔය සැකේට අම්මා පොඩි කාලේ මගෙත් චෙක් කරලා. මගෙත් උපතින්ම පිහිටලා නෑ. සීයයි, තාත්තයි පොළොවෙ පය ගහලා රටේ ලෝකෙ ගැන අවබෝධයක් තිබුණට මට හම්බවෙන එකා මොන ජාතියෙ එකෙක්ද කියලා දන්නෙ නැති නිසා අම්මා කෝකටත් මෙඩිකල් රිපෝට් එකක් අරගෙන.”

කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඇය මගේ මිතුරු ලැයිස්තුවට එක් වූයේ උසස් පෙළ සිංහල පංතියේදීය. තත්ත්වයෙන්, තරාතිරමෙන්, වත්පො‍හොසත්කමින් අඩුවක් නැති ඇය ඇගේ ඇති එකම අඩුව ගැන කිව්වේ ද බොහෝ සැහැල්ලුවෙන්ය. ඇය සැහැල්ලුවෙන් සිටියද මා සිටියේ අපහසුවෙන්ය. කන්‍යාභාවය උපතින් නොපිහිටීම ගැන පොතින් පතින් කියවා තිබුණත් එහෙම එකියක් මට මේ සැබෑ ජීවිතේ මුණ ගැසුණාමය.

වෛද්‍ය විද්‍යාවට අනුව කන්‍යා පටලය සෑදෙන්නේ මව් කුස තුළදීය. එය මවගේ ගර්භාෂ තරලය බිළිඳියගේ යෝනි මාර්ගය හරහා ගමන් කිරීම වළක්වනු ලබන පටලයක් වැනි ආවරණයක්ය. ඇතැම් යුවතින්ගේ මෙම පටලය ඉතා සියුම්ය. තවත් එකියකගේ ඉතා ඝනය. කිසිඳු පටලක් නොපිහිටන යුවතියෝද ඇත්තේය. ඝන කන්‍යාපටලයක් පිහිටි යුවතියකටද මංගල යහන සුව යහනක් නොවන්නේය.

මම මගේ කන්‍යපටලය ඉවත් කළේ සැත්කමකින්. මංගල දවසේ රෑ මගේ පිරුවටේත් ඔය කියන සලකුණු තිබුණෙ නෑ. ඒත් මගේ හස්බන්ඩ්ට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අපි ඩොක්ටර් කෙනෙක් ළඟට ගියේ ලිංගික එක්වීමේදී මට දැනෙන වේදනාවට හේතු හොයන්න. එත‍කොටයි දැනගත්තේ ඒකට හේතුවත් කන්‍යාපටලය ඝනවීම කියලා. මොනවා වුණත් එක අතකට ඩොක්ටර් ළඟට ගිය එක හොඳයි. මගේ හස්බඩ්නුත් පිරිමියෙක්නේ. පෙන්නුවෙ නැති වුණාට මොනවා හිතනවාද දන්නෙ නැහැනේ.”

කන්‍යාපටලය නොමැති වීම, කන්‍යාභාවය අහිමි වීම දූපතක් තුළ ජීවත්වන අපට මහා අරුමයක්ය. එහෙත් යුරෝපීය සමාජයේ කන්‍යාපටලයක් සහිත වීම මහා අරුමයක්ය. මංගල යහනේදී කන්‍යාභාවය අහිමි කරගන්නේ එහෙමත් මනාලියක්ය. එවැන්නියක් දෙස සමාජය බලන්නේ යුග දිවියට අත්දැකීම් රහිත ඇත්තියක් සේය. විවාහයට පෙර එකගෙයි වසන්නේ යුග දිවියට පෙරහුරුවක් සේය. දෙතුන් දෙනෙකු සමඟ එක ගෙයි වාසය කර හෝ ඔවුන් නීතියෙන් ගැට ගහගන්නේ සුදුසුම කෙනාය. ප්‍රසිද්ධියේ නොවුණාට අපේ රටටත් යුරෝපයෙන් මේ විලාසිතාව බෝවී දැන් ටික කලක්ය.

යෞවනයේ හිනි පෙතේ සිටින සම වයසේ මිතුරියෝ එක් වූ විට කතා නොකරන දෙයක් නැත්තේය. ගැටවුන්ගේ ඇල්ම බැල්ම ලැබෙන කාලයේ ඒ ඇත්තියන්ගේ වැඩි කැමැත්ත ආදරය ගැන කතා කරන්නටය. ආදරයත් කැස්සත් හංගන්නට බැරි බව හිරිමල් වියේ ගැටිස්සියෝ නොදන්නේය. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිටය. නැටූ නැටුම් එළි වූ විට අම්මාගෙන් ඉලපත් පාරක් නොකා බේරුණේ එහෙමත් ගැටිස්සියක්ය. අම්මලා දූවරු මෙතරම් රකින්නේ යම් වැරුද්දක් සිදුවූවොත් වැදූ මවට නිවනක් නැති නිසාය. මනුස්සයන් වන කා අතිනුත් වැරදි සිදුවන්නේය. ඒ නිසා දෙවියන්ගේ ගතිය සිහිකර වැරුද්ද කළ එකාට සමාව දෙන්නේය. එහෙත් මනුස්ස දුවක් සිදුකරනා ලොකුම වැරැද්දට නම් දේව සභාවම ගෙනාවත් ලංකාව වැනි රටක සමාවක් නැත්තේය. සමාව දීමට වඩා වෙච්ච වැරැද්ද හදාගැනීම වටින්නේය. අතීතයේ නම් හෙළ දුවකට වැරදුනොත් වැරදුනාමය. එහෙත් මේ කාලයේ ඕනෑම වැරැද්දක් සේ මේ වැරැද්ද හදා ගැනීමට ද ක්‍රම ඇත්තේය.

තාමත් ලංකාවෙ මිනිස්සු කොච්චර පටු තැනකද ඉන්නෙ කියලා හිතෙන්නේ අපි ළඟට එන සේවාදායකයො නිසා. මම සේවාදායක කියන වචනය පාවිච්චි කළේ එයාලට රෝගියෝ කියන්න බැරි නිසායි. මොකද එයාලා ප්‍රතිකාර ගන්න එන්නෙ රෝගයකට නෙමෙයිනේ. පුංචි කාලේ අපයෝජනයට ලක්වෙච්ච ගෑනු දරුවො අරගෙන අම්මලා එනවා. පෙම්වතියට තමන්ගෙන් වෙච්ච වැරැද්ද හදලා දෙන්න පෙම්වතුන් එනවා. චංචාකාර පෙම්වතුන්ට අහුවුණ යුවතියො විවාහයට පෙර වෙච්ච වැරැද්ද හදාගන්න එනවා. ඒ අතර මොළේ අමාරුකාරයොත් ඉන්නවා. විවාහ වෙලා අවුරුදු ගාණක් වෙනවා. මංගල දවසේ රෑ අත්දැකීම විඳගන්න ආසයි කියලා බිරිඳගෙ කත්‍යාපටලය හදලා දෙන්න පුළුවන්ද කියලා අහන අයත් ඉන්නවා. මේක හරි පුංචි සැත්කමක්. හැබැයි රජයේ රෝහල්වල සිද්ධ වෙන්නෙ නෑ. බොහොම පෞද්ගලිකව තමයි සිද්ධ වෙන්නේ.”

මේ දියාරු වන්නේ අප මහා ලොකුවට කබල් ගානා අපේ මහා සංස්කෘතියය. සදාචාරයය. කන්‍යාභාවය නොතකා හැරීම වෙනත් කාරණයක්ය. වෛද්‍ය විද්‍යාව ද අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැරලන එය අපටද අවශ්‍යම නැත්තේය. නමුත් බොදු සංස්කෘතියත්, සදාචාරයත් මත හැදී වැඩුණු අපට රකින්නට විලි බියක් ඇත්තේය. හෘද සාක්ෂියක් ඇත්තේය. ආදරයට මුවා වී ගැහැනියගේ පවිත්‍රත්වය කෙලෙසන්නේ පිරිමින්මය. පිරිමියෙක් අතින් කෙලෙසුණ ගැහැනිය කන්‍යාපටල සැත්කමින් පසු රවටන්නේ තවත් පිරිමියෙක්ය. රැවටෙන්නට කිසිම පිරිමියෙක්වත්, ගැහැනියකවත් කැමති නැත්තේය. කන්‍යාපටලය ඉන්දියන් සාගරයට විසිකර දැමුවත් තමන් ආදරය කරන ගැහැනියට, පිරිමියාට වටිනාකමක් නොදෙන තාක් මේ රැවටිල්ලේ සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබට ද සිදුවන්නේය. එදා අම්මලා ලොකු මහත් වූ ගැටිස්සියෝ ගේ මුල්ලට දා හෝ දීග දෙන තුරු රැක්කාය. කොතරම් රැක්කත් රැකවල් බිඳ ‍තම පෙම්වතා හා පෙම් කෙළින්නට උන්මාද චිත්‍රාගේ සනුහරේ උන් දක්ෂය. පෙම් කෙළියාට වරදක් නැත. වරැද්ද ඇත්තේ සීමා මායිම් හඳුනාගැනීමය. ඇටෙන් පොත්තෙන් එළියට එන විටම අධ්‍යාපනය ආදී නොයෙක් හේතු නිසා ගේ කඩුල්ල පණින දැරිවිය, නැවත පැමිණිය යුත්තේ විලි බිය ආරක්ෂා කරගෙනය. මන්ද තවමත් මනාලියගේ පිරුවටය හොයන මනමාල මහත්වරුන් සේම ඔවුන්ගේ මෑණිවරුන් ද සිටින නිසාය.

නිසි වයස පැමිණි විට යුවතියක හා පෙමින් බැඳීම ද වරදක් නොවන්නේය. වරද ඇත්තේ හෝටල් කාමර ගානේ රිංගීමය. තවමත් මනාලියගේ පිරුවට හොයන සමාජයක පෙම්වතිය සමඟ‍ හෝටල් කාමරයකට රිංගීමට පෙර පෙම්වතා සිහියේ තබා ගත යුතු කාරණයත් ඇත්තේය. ඒ තම මංගල දිනයේ වෑල්ඩින් කළ කන්‍යාපටලයක් ඇති මනාලියක් සමඟ මධුසමය ගත කරන්නට තමාටද  සිදුවිය හැකි බවය.

නැත්තා වගේ සිටියාට පිරිමින්ටද රකින්නට සීලයක් ඇත්තේය. එය කුමර බඹසරය. කුමරි බඹසර රකිනා කන්‍යාපටලය නම් පුදුම එකක්ය. දන්නා උප්පරවැට්ටි සියල්ල දමා  පිරිමින්ගෙන් ආරක්ෂා කර එක පිරියෙක්ටම විනාශ කරන්නට දෙන අරුම පුදුම තෑග්ගක්ය. මේ තෑග්ගද පිරිමින්ටමය. ඒ අතින් පිරිමි හරි වාසනාවන්තයෝය. කකුළුවා නටන්නේ හැලියේ දිය රත්වනතුරුය. මනාලියගේ පිරුවටයේ ඇඳ කුඳ හොයන කුලවත් පුත්‍රයන්ගේත්, ඔවුන් වැදූ මව්වරුන්ගේත් ඉහ මොළ ගිණිගන්නේ  දියණියන් වැදූ අම්මලා තම බෑණාගේ කුමර බඹසර සොයන්නට පටන් ගන්නා දවසටය. ඒ දවස උදාවන තෙක් පුතුන් වැදූ මව්වරුන්ට ලේලියගේ පිරුවටය මහමෙරක්ය.

හිමේෂා සවන්තී රාජපක්ෂ