News

MCC ගිවිසුම නැවත අත්සන් කිරීමට යන බවට මේ දිනවල ගෙන යන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි

රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතිරීති වලට පටහැනි කිසිම ගිවිසුමකට රජය අත්සන් නොතබන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

MCC ගිවිසුම නැවත අත්සන් කිරීමට යන බවට මේ දිනවල ගෙන යන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම ගිවිසුම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාව සළකා බලා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැහැදිලි කර සිටියේය.

පසුගිය රජය විසින් රටට විරුද්ධ බොහෝ ගිවිසුම් අත්සන් කර ඇති බවත් රට බේරාගත් රණවිරුවන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පවා වාර්තා ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා නමුත් මෙම ගිවිසුම පමණක් නොව රටට විරුද්ධව ඉදිරිපත් කරන කිසිම ගිවිසුම් අත්සන් නොකිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසීය.

ඇමරිකානු තානාපතිවරිය අගෝස්තු මාසයේ මැතිවරණයෙන් පසු මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළබඳව මාධ්‍ය වේදියෙකු නැගූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

මෙම රජය ඉතාමත් වගකීමෙන් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවත් ඇමරිකානු තානාපතිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ගිවිසුම සම්බන්ධයෙන් එරට මාධ්‍ය විකෘති කරමින් සඳහන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.