News

MCC’ අද නැවතත් කරලියට

වොෂිංටනයේදී අද (15 වැනිදා) පැවැත්වෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) විශේෂ රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇති බව වාර්තා වේ. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙම ප්‍රවෘත්තිය තහවුරු කරමින් සඳහන් කරන්නේ 15 වැනිදා පැවැත්වෙන ‘එම්සීසී මණ්ඩලයේ’ රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවද එක්කර ඇති බවට වාර්තා වන බවයි.

කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවට අදාළ එම්.සී.සී. වැඩසටහන පිළිබඳ කවර කරුණක් සාකච්ඡා කරනු ඇද්දැයි අනුමාන කළ නොහැකි බවද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මීට පෙර තහවුරු නොකළ වාර්තා සඳහන් කර තිබුණේ එම්සීසී ආයතනය විසින් සිය ‘ප්‍රධාන ලැයිස්තුවෙන්’ ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම්සීසී වැඩසටහන ඇමරිකානු ​ඩොලර් මිලියන 480ක ප්‍රදානයක්ද සමගින් 2019 අප්‍රේල් මාසයේදී එම්සීසී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගිවිසුමක් ලෙස අනුමත කරන ලද අතර ආර්ථික වර්ධනය මගින් මෙරට දරිද්‍රතාව අවම කිරීම එමගින් අපේක්ෂා කරන බව ප්‍රකාශ කෙරිණි.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් එම්සීසී ගිවිසුම සමාලෝචනය කිරීම වෙනුවෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කළ අතර එහි වාර්තාව 2020 ජුනි මාසයේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට භාරදෙන ලදී.

නයන තරංග ගමගේ