විශේෂාංග

ලංකාවෙ ෆේස්බුක් අයියලට නැතුවම බැරි ඇමරිකාවෙ මල්ලි

එතකොට ගෙවින්ට වයස අවුරුදු තුනක් විතර ඇති. එදත් වෙනදා වගේම සතිඅග ඉරිදට පුංචි ගෙවින්ගේ පුංචි ගෙදර රසට කෑම හැදුවා. ඉරිදා කියන්නේ එයාලගේ ගෙදර වෙන දවස්වලට වඩා රසට කෑම හදන දවසක්. ඒක ඒ ගෙදරට ආවේණික සිරිතක් වෙලයි තිබුණේ. පුංචි ගෙවින්ගේ සීයා මියගියාට පස්සේ තමයි මේ සිරිත පටන්ගත්තේ. ඉරිදා දවසේ තියෙන මේ භෝජන සංග්‍රහයට එයාගේ තාත්තා පවුලේ හැමෝටම එන්න කියනවා.

හැබැයි මේ භෝජන සංග්‍රහය අපේ රටේ කවුරුහරි මැරුණට පස්සේ දෙන හත් දවසේ දානෙ වගේ එකක් නෙවෙයි. ගෙවින්ගේ පවුලේ අය වගේම නෑදෑයොත් ගොඩාක් සතුටින් තමයි මේ භෝජන සංග්‍රහයට එනවා කියන්නේ. ඉතින් ඔන්න එදත් හැමෝම වගේ භෝජන සංග්‍රහයට ආවා. ඔය අතරේ ගෙවින්ට ආවා ලොකු වතුර තිබහක්. ඉතින් වීදුරුවකට වතුර එකක් පුරවගෙන එයා එක හුස්මට බිව්වා. එහෙම බීලා වීදුරුව තියන්න යද්දිම අත ලෙස්සලා ඒක වැටුණා. බිම වැටිලා විතරක් නැවතුණේ නෑ, ඒක බිඳුණා.

වීදුරුව බිඳුණු සද්දෙට එකපාර පවුලේ හැමෝම පුංචි ගෙවින් දිහා බැලුවා. ඒ වෙලාවේ එයාට දැනුණේ කවදාවත් නොදැනුණු විදියේ පුදුම ලැජ්ජාවක්. ගෙවින්‍ට දැන් අඬනවද හිනාවෙනවද කියලා හිතාගන්න බෑ. ඒත් පවුලේ අය හැමෝම තමන් දිහා බලලා හිනාවෙද්දි එකපාරටම ඇඬෙන්න ගිහිල්ලා ආයෙමත් ගෙවින්ගෙ මූණේ ක්ෂණික හිනාවක් මතුවුණා. අන්න ඒ ඇඬිල්ල අස්සෙන් මතුවුණු හිනාව එදා එයාගේ මාමා ෆොටෝ එකක් ගහගත්තා. ගහලා නිකන් හිටියේ නෑ ෆේස්බුක් එකටත් දැම්මා.

ඔය විදිහට එදා දවස ගෙවිලා ගියා. අලුත් සඳුදා දවසකුත් උදාවුණා. ඒත් ඉරිදා රෑ කවුරුත් නොහිතපු දෙයක් සිද්ධවෙලා තිබුණා. ඒ තමයි පුංචි ගෙවින්ගේ අර ෆොටෝ එක ෆේස්බුක් එකේ දහස් ගණනක් දෙනා අතර හුවමාරු වීම. ඉරිදා රෑ සාමාන්‍ය දරුවෙක් විදිහට නිදියපු ගෙවින් සඳුදා උදේ අවදිවෙන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ජනප්‍රිය තරුවක් වෙලා. හැබැයි ඒ වෙනකොටත් ගෙවින්ගේ පවුලේ කවුරුත් ඒක දැනගෙන හිටියේ නෑ. ඔය අතරේ ෆොටෝ එක ෆේස්බුක් දාපු මාමා නිකමට ෆේස්බුක් යද්දි ගෙවින්ගේ ෆොටෝ එක ගියපු දුරක් දැකලා ඔහුත් අන්දමන්ද වුණා.

ඇත්තටම කිව්වොත් ඔය සිද්ධියෙන් පස්සේ ගෙවින්ගේ තාත්තා මාමා එක්ක පොඩි පහේ වලියකුත් දාගත්තා. ඒත් තමන්ගේ දරුවා තරුවක් වෙනකොට කොයි තාත්තටද ආඩම්බර නැත්තේ? ඒ නිසා පස්සේ පස්සේ ගෙවින්ගේ තාත්තටත් සතුටක් දැනිලා. ඔය අතරේ ගෙවින්ගේ මාමා පවුලේ හැමෝගෙම කැමැත්ත උඩ ගෙවින්ගේ එක එක ඉරියව්වල ෆොටෝස් අරන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට දාලා. වීඩියෝ ක්ලිප් කීපයකුත් දාලා. අවසානේ ඒ ඡායාරූප සහ වීඩියෝවලට බිලියන ගණනින් තමයි ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. හැබැයි අදටත් ලෝකයේ ජනප්‍රියම ගෙවින් අතින් වීදුරුව බිඳුණු දවසේ ගහපු ෆොටෝ එක තමයි. ඒක අද වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි.

පුංචි ගෙවින් නොදන්නවා වුණාට එයා ගොඩාක්ම ජනප්‍රිය වුණේ තමන් උපන් රටටත් වඩා ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුළේ. එයා කොයිතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් තාමත් ෆේස්බුක් එකේ හාස්‍යජනක ෆොටෝ ඇතුළේ පුංචි ගෙවින් දකින්න පුළුවන්. ඒ අතරත් එයා අතින් වීදුරුව බිඳුණු දවසේ ගහපු ෆොටෝ එක තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ලංකාවෙන් එහාට ගියාම ගෙවින් වැඩිපුරම ජනප්‍රිය වුණේ චීනයේ. එක සැරයක් චීන සමාජජාල පරිශීලකයන්ගේ එකමුතුවෙන් ගෙවින්ට සහ එයාගේ පවුලේ අයට චීනයේ දින දාසයක සුපිරි සංචාරක අවස්ථාවකුත් ලබාදුන්නා. කොහොම හරි අදටත් එයාගේ ජනප්‍රිය බව නම් චුට්ටක්වත් අඩුවෙලා නෑ.

මේ වෙනකොට ලෝකයම කතා කරන මේ පුංචි දරුවා තමයි ගෙවින් තෝමස් (Gavin Thomas) කියන්නේ. ඇමෙරිකානු මිත්‍යාපොල්ස් නගරයේ මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු ගෙවින්ගේ දැන් වයස අවුරුදු දහයක්. අදටත් ගෙවින් තෝමස් කිව්වම ගොඩාක් අය නොදන්නවා වුණාට එයාගේ ෆොටෝ එකක් දැකපු ගමන් හැමෝම පොඩි එකා කවුද කියලා දන්නවා. ඒ වගේම දැන් ගෙවින්ට ෆේස්බුක් ගිණුමක් වගේම මිලියන ගණනක පරිශීලකයෝ ඉන්න යූටියුබ් ගිණුමකුත් තියෙනවා. මෙහෙම ඉඳලා ඉඳලා ගෙවින් එකපාරටම ෆේස්බුක් ලයිව් එකක්වත් ඇවිත් ‘‘එදා හිනාවුණේ අඬන්න බැරිකමට මතං…’’ කියලා කියයිද දන්නෙත් නෑ.

රුවන් එස්.සෙනවිරත්න