නවතම ප්‍රවෘත්ති

කාටත් එපා කියපු මළ මිනියක් නිසා මගේ ජීවිතේ වෙනස්වුණා

එක්දහස් නවසිය හැත්තෑවෙදි යුරෝපා රටවල් 24ක් එකතුවෙලා අර්ත් ඩේ නෙට්වර්ක් කියලා පාරිසරික සංවිධානයක් හැදුවා. එදා ඉඳලා අද වෙනකල් පරිසරය වෙනුවෙන් වැඩකටයුතු රාශියක් ඉටුකරාපු මේ සංවිධානය අද රටවල් 192ක් නියෝජනය කරන ලොකයේ ලොකුම පාරිසරික සංවිධානයක්. අප්‍රේල් 22 වැනිදා ලෝක මිහිකත දිනය විදියට නම් කළෙත්, ඒ දිනය නිල වශයෙන් සමරන්නෙත් මේ සංවිධානයයි.

මේ සංවිධානයේ රාජ්‍ය තානාපතිවරු විදියට වැඩ කරන්නේ පරිසරය වෙනුවෙන් යමක්කමක් කරාපු ප්‍රකට උදවියයි. සංවිධානය වෙනුවෙන් ඇමරිකාව නියෝජනය කරන්නේ ටයිටැනික්චිත්‍රපටයේ රඟපාපු   නොම්මර එකේ නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ඔහු රංගනයෙන් තමන්ට ලැබෙන ප්‍රසිද්ධිය සහ මුදල්   වැඩිහරියක් පාරිසරික සහ සත්ව සුබසාධනය වෙනුවෙන් යොදවන හිත හොඳ මනුස්සයෙක්.

එතකොට කැනඩාව නියෝජනය කරන්නේ ඩේවිඩ් කැමරන්. ‘ටයිටැනික් සහ ඇවටර්වගේ ලෝ ප්‍රකට චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා ඔහුයි. තව ඉන්දියාවේ තානාපතිවරු විදියට ප්‍රකට නිළි ජුහී චවුලා, අනිල් කපූර් වගේම මහින්ද්‍රා වාහන සමාගමේ හිමිකරු ආනන්ද් මහින්ද්‍රාවත් තෝරගෙන තියෙනවා.

මේ වගේ ගෝලීය සංගමයක තානාපති කෙනෙක් වෙන එක එහෙම ලේසි වැඩක් නෙමෙයි. සම්මත කරුණු කාරණා රාශියක්ම සලකා බලලයි ඔවුන්ව තෝරගන්නේ. හැබැයි 2020 ඉඳලා ඔය වගේ ලොකු ලොකු උදවිය එක්ක එකට එකතුවෙලා වැඩ කරන ලංකාවෙ තානාපති කෙනෙකුත් ඉන්නවා. ඇය තමයි මිශෙල් දිල්හාරා. රංගන ශිල්පිනියකට අමතරව සමාජ සුබසාධන වෙනුවෙන් පෙනී සිටින්නියක් විදියටත් ඇය ප්‍රකටයි. අපේ රටේ සුබසාධන වැඩවලට අමතරව දැන් ගෝලීය වශයෙන් ඇය වැඩ පටන් අරන්. ඒ කටයුතු ගැන කතා කරන ගමන් අද කවරය සරසන්න අපි ඇයට ආරාධනා කළා.

 

අර්ත් ඩේ නෙට්වර්ක් එකට දකුණු ආසියාවෙන්  තානාපතිවරුන් තෝරගත්තේ 2020 ඉඳලා. ඉතින් ලංකාවෙන් තේරුණු පළවැනි තානාපති මම. පහුගිය අවුරුදු කිහිපයේදි මම ලංකාවේ විශ්වවිද්‍යාල සහ පාසල් එක්ක එකතුවෙලා පාරිසරික සාක්ෂරතාවය සහ දේශගුණික වෙනස්වීම් ගැන ප්‍රොජෙක්ට් 200කට වඩා  කළා. රුක් රෝපණ වැඩසටහන් රාශියකටත් සම්බන්ධ වුණා. ඉන්ටනැශනල් ෆ්ලැට්ෆොර්ම්වල ඒ ප්‍රොජෙක්ට්වලට අදාළ ලිපි ලිව්වා. එව්වා කියවලා තමයි ඔවුන් මාව ලංකාවේ තානාපති විදියට තෝරගෙන තියෙන්නේ.”

 

*මිශෙල් ඔය කිව්ව අනිත් තානාපතිවරු එක්ක පැවැත්තුව ගෝලීය සමුළුවලටත් සහභාගී වුණාලු නේද?

ඔව් කොවිඩ් වසංගතය නිසා 2020 ඉඳලා අද දක්වාම සමුළු තිබ්බේ ඔන්ලයින් ක්‍රමේට. ඉතින් හැම තානාපතිවරයෙක්ම ඔන්ලයින් හරහා සමුළුවලට සම්බන්ධ වෙනවා. ඇත්තටම මම පරිසරය ගැන හිතන්න පටන්ගත්තෙම ලියනාඩෝ ඩිකැප්‍රියෝ නිසා. පරිසරවේදියෙක් විදියට ඔහු සෑහෙන ප්‍රසිද්ධයි. පරිසරය ගැන ඔහු කරපු කතා සහ ඩොකියුමන්ට්‍රීස් බලලා තමයි මමත් කැම්පස්වල ප්‍රොජෙක්ට්වලට සම්බන්ධ වුණේ. අන්තිමට මට ඔහු එක්කම වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි.”

අර්ත් ඩේ නෙට්වර්ක් ගැන කතාවෙන් පස්සේ මම මිශෙල්ගේ කතාවේ මුලට ගියා. මිශෙල් කොහෙන්ද මේ ගමන පටන්ගත්තේ?

මම මීගමුවේ. අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි තමයි පවුලේ ඉන්නේ. පුංචි කාලේ ඉඳලා මට හීන දෙකක් තිබුණා. එකක් ගුරුවරියක් වෙන එක අනික රංගන ශිල්පිනියක්. මම ඉගෙනගත්තේ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා පාසලෙන්. ඉස්කෝලෙ යන කාලෙදි මම හරිම පසුගාමී දරුවෙක්. කවදාවත් පංතියේ ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නේ නැහැ. කාත් එක්කවත් කතා කරන්නෙත් නැහැ. ඒ නිසා මට වැඩිය යාළුවෝ හිටියෙත් නැහැ.

ඔහොම ඉන්දැද්දි දවසක් මිශෙල්ගෙ හිතට වැදුනු විශේෂ සිදුවීමක් වුණාලු.

එතකොට මට අවුරුදු 14යි. දවසක් මම තාත්තා එක්ක මගේ නෑදෑ කෙනෙක් බලන්න මීගමුව හොස්පිට්ල් එකට ගියා. හොස්පිට්ල් එක ඇතුළට යනකොට අපිට ලොකු සද්දයක් ඇහුණා. බලනකොට එතැන හිටපු දෙගොල්ලක් මිනියක් බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවා. ඊට එහා පැත්තෙන් තව මිනියක් තිබුණා. ලෙඩාව බලලා අපි ආයෙ එනකොටත් අර තනිවෙලා තිබුණු මිනිය එතැන ඒ විදියටම තිබුණා. තව සතියකින් විතර ආයෙ අපි අර ඥාතියව බලන්න ගියා. එතකොට මම එතැන හිටපු නර්ස් කෙනෙක්ගෙන් අර මිනිය ගැන ඇහුවා. ඒ මිනිය භාරගන්න කවුරුත්ම ආවෙ නැතිලු. ඉතින් රජයේ විදමින් අවසාන කටයුතු කළාලු. මම වැඩිය කතාබහ නොකරන කෙනෙක් නිසා ජීවත්වුණාද කියලවත් නොදැන දවසක ඔහේ මැරිලා යන්න වෙයි කියන බයක් මට දැනුණා. ඒ වගේම කාත් කවුරුවත් නැති මෙහෙම අය වෙනුවෙන් මොනාමහරි කරනවා කියන එකත් එවෙලේ මම හිතාගත්තා.

ඔය සිදුවීමෙන් පස්සේ ඇය අනෝජා වීරසිංහ මහත්මියගේ පෞරුෂ වර්ධන වැඩසටහන්වලට සහභාගී වෙලා.

අනෝජා මිස්ගෙන් පෞරුෂ සංවර්ධනය ගැන ඉගෙනගන්න ගමන් දමයන්ති ෆොන්සේකා මිස්ගෙනුයි රන්දික විමලසූරිය සර්ගෙනුයි රංගනය ගැන ඉගෙනගත්තා.”

ඒ අතරේම ඇය සුබසාධන වැඩත් පටන්ගත්තලු.

අර සිද්ධියෙන් පස්සේ අනිත් අය වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද කියලා මම කල්පනා කළා. එතකොට මට අවුරුදු 15යි. ඉතින් මූල්‍යමය උදව් කරන්න සල්ලි නැහැනේ. ඒ නිසා මම ස්වේච්ඡාවෙන් ළමා නිවාසවල ඉංග්‍රීසි උගන්වන්න පටන්ගත්තා. අවුරුදු දෙකක් එහෙම ඉගැන්නුවා. ඒක මගේ ජීවිතේ අමතක නොවන කාලයක්.

අධ්‍යාපන කටයුතුවලින් පස්සේ මිශෙල් සුසිල ආයතනයේ තිර පරීක්ෂණයට සහභාගීවෙලා. ‘පුංචි පත්තරකාරි’ කියන ඇගේ මුල්ම චරිතය ඇයට ලැබිලා තියෙන්නේ එතැනදි.

ඊටපස්සෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. එහි රංගනය වෙනුවෙන් මට හොඳම නැගී එන නිළිය රයිගම් සම්මානය’, ‘හොඳම නැගී එන නිළිය සුමති සම්මානය වගේම රාජ්‍ය සම්මානයකුත් ලැබුණා. ‘ෆෝ ස්ට්‍රීට් කියන නාට්‍ය වෙනුවෙන් 2021දී හොඳම සහාය නිළිය සම්මානය ලැබුණා. ඉතින් එදා ඉඳලා අද දක්වා සාර්ථකව රංගන කටයුතුත් කරගෙන යනවා.”

රංගනයට අඩිය තියපු දවසේ ඉඳලා ලැබෙන ආදායමෙන් 60%ක මුදලක් සුබසාධන කටයුතුවලට වෙන් කරන්න තරම් කාරුණික හදවතක් ඇයට තියෙනවා.

මම උගන්නපු ළමා නිවාසවල පුංචි ළමයි මාත් එක්ක හරි එකතුයි. වෙලාවකට එයාලා මගේ ෆෝන් එක අරගෙන ෆොටෝස් එහෙම බලනවා. දවසක් ෆෝන් එකේ සිනමන් ග්‍රෑන්ඩ් හොටලේ එකේ මම ගත්තු ෆොටෝස් වගයක් තිබුණා. අවුරුදු 7ක පුංචි බබෙක් ඒවා දැකලා එයාටත් එතැනට යන්න ආසයි කිව්වා. එයාලා හැමෝවම එතැනට එක්කරගෙන යනවා කියලා එවෙලේ මම හිතාගත්තා. පස්සේ අවුරුද්දක් විතර සල්ලි එකතු කරලා ඒ අයව එතැනට එක්කරගෙන ගියා. ඒක තමයි මගේ පළවැනි සුබසාධන ව්‍යාපෘතියඑදා ඉඳලා අද වෙනකල් අඩු ආදායම්ලාභී පාසල්වලට උපකරණ දෙන ව්‍යාපෘතියක් කරගෙන යනවා. සහල් බෙදාදෙන ව්‍යාපෘතියකුත් කරනවා. පසුගිය ඔක්තෝබර් මාසෙදිත් මීගමුව ප්‍රදේශයේ පවුල්වලට සහල් ටොන් දෙකක් බෙදලා දුන්නා.”

සුබසාධන වැඩ වෙනුවෙන් ඇයට ජාතික වගේම ජාත්‍යන්තර වශයෙනුත් සම්මාන ලැබිලා තියෙනවා.

දරුවන් වෙනුවෙන් කරන සුබසාධන වැඩ වෙනුවෙන් 2018දී මට දකුණු ආසියානු තරුණ සමුළුවෙන් ඒෂියා ඉන්ස්පිරේෂන්සම්මානය ලැබුණා. ඔය සම්මානය ලැබුණට පස්සේ ආසියානු තරුණ සමුළුව එක්ක එකතුවෙලා රිසර්ච් එකක් කරලා පොතක් ලිව්වා. ඒ පොත එළිදැක්වුවේ ඉන්දියාවෙදි. 2019 දී ලෝක තරුණ සමුළුවෙන් මේ පොත වෙනුවෙන් සම්මානයක් ලැබුණා. ඒ වගේම එතනදි නැෂනල් යූත් සම්මානයත් මට ලැබුණා.

ඇයට ලැබුණු ජාත්‍යන්තර සම්මාන ගැන කතා කරද්දි මට හිතුණේ ජාත්‍යන්තර වශයෙන් ඇය මේ තරම් ඇගයීමට ලක්වුවත් ඇගේ වැඩපිළිවෙල වෙනුවෙන් අපේ රටේ උදවියගෙන් ලැබෙන ඇගයීම් මදි කියන එකයි.

අර මම පොතක් ලිව්වා කිව්වනේ. ‘සමාජ අදෘශ්‍යමානතාවය නැත්නම් සමාජයේ අවධානයට ලක්නොවන පිරිස ගැන තමයි මම ලිව්වේ. ලෝක ප්‍රකට ‘Amazon’ ආයතනය හරහා තමයි ඒ පොත පබ්ලිෂ් කළේ. ඔවුන් හරහා පොත පබ්ලිෂ් කරගන්නත් මම සෑහෙන මහන්සි වුණා. දැන් මගේ පොත රටවල් 26ක විතර අන්තර්ජාල බුක්ෂොප්වල තියෙනවා. එතැනින් මට ලැබෙන ආදායමෙනුත් මම ලොකු වැඩක් පටන්ගත්තා. 2020දී මම වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මේක තියෙන්නේ දිවුලපිටියේ. ගෙවල්වල තනිකමෙන්, පාලුවෙන් ඉන්න වැඩිහිටියන්ට මේ තැනට ගිහිල්ලා සිංදුවක් අහලා, පොතක් කියවලා නැත්නම් ගේම් එකක් ගහලා යාළුවෝ එක්ක කතා කර කර සතුටින් ඉඳලා යන්න පුළුවන්. දැනට වැඩිහිටියෝ 300ක් විතර අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. උදේ 8 ඉඳලා 5 වෙනකල් මධ්‍යස්ථානය ඕපන් කරලා තියෙනවා. ඔවුන් වෙනුවෙන් ඒ හැමදේම කරන්නේ නොමිලේ.”

ඒ කටයුත්ත ගැන ඇය කතා කළේ බොහොම සතුටින්. තමන් ගැන හිතනවටත් වඩා අනිත් මිනිස්සු ගැන හිතන මෙහෙම තරුණ උදවිය ඉන්නවා කියලා හිතද්දි අපිටත් දැනුණේ සතුටක්. අවසාන වශයෙන් ඇය මේ මෑතකදී සහභාගී වුණ ICSE 4 සමුළුව ගැනත් අපි ඇගෙන් ඇහුවා.

අර්ත් ඩේ නෙට්වර්ක් සංගමයේ නියෝජිතයෙක් විදියට පසුගිය සැප්තැම්බර් මාසේ ICSE 4 කියන සමුළුවට මම සහාභගී වුණා. UN, යුනෙස්කෝ, යුනිසෙෆ්, WWF වගේ ගෝලීය සංගම් ඇතුළු රටවල් 50ක නියෝජිතයෝ ඒකට සහභාගී වුණා. ඉතින් එතැනදි පරිසර සාක්ෂරතාවය සහ තිරසාර අධ්‍යයනය කියන මාතෘකාව යටතේ මටත් කතා කරන්න ලැබුණා. ඉස්සර පංතියේ ඉස්සරහට ගිහිල්ලා කතාවක් කරන්න බයෙන් හිටපු මම එහෙම ලෝකයක් ඉස්සරහා කතා කළා කියලා දැනෙද්දි මට මං ගැනම ආඩම්බරයි.”

ඔය අතරේ මිශෙල් පවුලේ අයගෙන් ඇයට ලැබෙන සහාය ගැනත් මතක් කළා.

ලස්සන, කැත, දුප්පත්, පෝසත් කියලා මේ ලෝකේ මිනිස්සු කොටස්වලට වෙන්වෙලා. ඉතින් නිතරම කැපිලා පේන්නේ ලස්සන, සල්ලි තියෙන අය විතරයි. ඔය අතරේ අපිට නොපෙනෙන අපේ උදව් අවශ්‍ය පිරිසකුත් ඉන්නවා. ඒ අයව කාටවත් පේන්නේ නැහැ. විශේෂයෙන් වැඩිහිටි උදවිය. පවුලේ වුණත් වයසට ගියහම අම්මා, තාත්තාට අපිව කොච්චර ඕනද කියන එක අපි හිතන්නේ නැහැනේ. මොකද අපි හැමෝම ඉන්නේ ලොකු රේස් එකක.

ඉතින් ටිකක් රේස් එකෙන් නැවතෙන්න. වටපිට බලන්න. අපෙන් උදව් බලාගෙන මිනිස්සු ඕනතරම් ඉන්නවා. තමන්ගේ ජීවිතේ ගැන හිතන ගමන් ඒ අය වෙනුවෙනුත් පුංචිවට හරි දෙයක් කරන්න බලන්න. එතකොට මේ සමාජය ලස්සන වෙයි. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඉඳලවත් එහෙම සමාජයක් බිහිවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප මධුසංක සිරිවර්ධන

හැඩගැන්වීම ශිරෝමා ෆොන්සේකා

පසුතලය විෂුවල් විලේජ්, ජාඇල