Food

මුං මස්

කෑවොත් මුං මස් නොකයි වෙනින් මස් කියලා කතාවක් තියෙනවා. ඒ තරමටම මුං මස් රස පංකාදුයි. මුං මස් කියන්නෙත් අතීතයේ ඉඳලම අපේ ගෙවල්වල හැදෙන පංකාදු පහේ ව්‍යාංජනයක්. මස්, මාළුත් ගණන් නිසා මේ අවුරුද්දේ කෑම මේසෙට මුං මස් උයාගන්න පුළුවන්. ඔය මස්, මාළුවල තියෙන ප්‍රෝටීන ගුණේ මුං මස්වලත් ඒ විදියටම තියනවා. 

මුලින්ම මුං ඇට ටික මස් කරගන්න ඕනේ. ඒකට මේ කළමනා ටික සපයාගන්න. මුං ඇට 150g, අමුමිරිස් කරල් 2, සුදුලූනු බික් 3, කරපිංචා, ඉඟුරු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ලූනු ගෙඩියක් මේ ටික සේරම වංගෙඩියේ අඹරගන්න. නැත්නම් බ්ලෙන්ඩ් කරගන්න.

ස්ටීමර් එකකට කෙහෙල් කොළයක් දාලා හදාගත්තු තලපය ඒක උඩ වඩලා විනාඩි 25ක් විතර ස්ටීම් කරගන්න. එතකොට මිශ්‍රණය හොඳට මස් කෑල්ල වගේ ගනකමට එනවා. හදාගත්තු මුං මස් ටික කෑලිවලට කපාගන්න.

මුං මස් හොද්දට මේ කළමනා ටික අවශ්‍යයි. උකු පොල්කිරි කෝප්ප 2ක්, කහ කුඩු, කළු කුඩු, තුනපහ, මිරිස් කුඩු, ගොරකා, සුදුලූනු, ඉඟුරු, අමුමිරිස්, රතුලූනු, ලුණු කුඩු. මුං මස් එකට මේ සේරම කළමනාත් දාලා අඩු ගින්දරේ උයාගන්න.

ආහාර වට්ටෝරු – ප්‍රවීණ සූපවේදී සරිත් කුමාරසිරි