නවතම ප්‍රවෘත්ති

මම ගිනි කන හැටි දැකලා යුරෝපයේ අය පුදුම වුණා -2020 ලෝක සංචාරක රූ රැජින කිරුළ දිනූ නලීෂා භානු

මෙවර සංචාරක රූ රැජින තරඟය පැවැත්වූයේ පිලිපීනයේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟය පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටයි. තරඟය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් සුරූපිනියන් තිස්දෙනෙකු සහභාගී වූ අතර, ඒ සියලු සුරූපිනියන් පරදවා ජයගැනීමට 22 හැවිරිදි මේ සුරූපිනිය සමත් වූවාය. එසේම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් වෙනුවෙන් සමාජ සුබසාධන කටයුතු කිහිපයක් සංවිධානය කිරීමටත් ඇය සූදානමින් සිටියි.

‘‘රූපරාජිනියක් වෙන්න රූපය විතරක් ප්‍රමාණවත්ද?’’

‘‘කොහෙත්ම නැහැඒක බාහිර රූපය විතරක් බලලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රූපරාජිනියක් කියන්නේ රූපය, දැනුම, හැකියාව, ගුණයහපත්කම් මේ සියල්ලේම එකතුවට කියලයි මම හිතන්නේ…’’

ඒ විනිශ්චය මණ්ඩලයේ අවසාන පැනයට ඈ ලබාදුන් පිළිතුරයි.

ඇත්තය. රුව තිබූ පමණින් රූ රැජිනක වීමට කාටත් බැරිය. ඒ සඳහා ගුණෙන් මෙන්ම හැකියාවෙන්ද පිරිපුන් විය යුතුය.

ඇය මේ සියල් ගුණයන්ගෙන් පරිපූර්ණ සොඳුරු තරුණියකි. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට සංචාරක රූ රැජින කිරුළ දිනාදීමට ඈ සමත් වූයේ ඒ නිසාය.

‘‘ජයග්‍රහණය කාටද කියන වෙලාවේ මම තදින් ඇස් වහගෙනයි හිටියේ. පළමුවැනි ස්ථානය ‘ශ්‍රී ලංකාවට’ කිව්ව වෙලාවේ හිතට දැනුණ ඒ හැඟීම විස්තර කරන්න මට වචන නැහැ.

2020 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක රූ රැජින තරඟයේ තුන්වැනි ස්ථානය ජයග්‍රහණය කළා. ඒත් මීට කලින් ප්‍රථම ස්ථානයක් දිනාගන්න අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් ලංකාවට ඒ ජයග්‍රහණය දිනා දෙන්න ලැබුණු එක මට ලොකු ගෞරවයක්.’’

​‘‘මේ වසරේ ‘Mr and Miss Teen Sri Lanka’ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගන්න මට අවස්ථාව ලැබුණා. ජයග්‍රහණයත් එක්කයි මට මේ තරඟයට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ.’’

සුන්දරත්වය තුළින් ජාත්‍යන්තරය නියෝජනය කරන්නට මඟපෑදුනු අයුරු ගැන ඈ සිය මතකය අවදි කළේ එසේයි.

‘‘පිලිපීනය ඇතුළු බොහෝ රටවල යුවතියන් රූපරාජිනී තරඟ සඳහා සූදානම් වෙන්නෙ පුංචි කාලේ ඉඳලා. ඒත් මේ තරඟයට මාව ඉදිරිපත් කරනවා කියලා දැනුම් දෙනකොට තරඟයට තිබුණේ මාසයකටත් අඩු කාලයක්. ඉතින් උපරිම කැපකිරීමකින් ඒ කාලසීමාව ඇතුළත තරඟයට සූදානම් වෙන්න මට සිද්ධ වුණා.’’

ඉදිරිපත් කිරීමේ අංගය වෙනුවෙන් ඈ තෝරාගෙන තිබුණේ සිංහල අභිමානය හොඳින් ඉස්මතු කරන අංගම්පොර සහ ගිනි නර්තනය සම්මිශ්‍රිත ඉදිරිපත් කිරීමකි.

‘‘ඒ දේවල් මම කලින් හදාරලා තිබුණේ නැහැ. ඉතින් අංගම්පොර ඉගෙනගන්න ලැබු‍ණේ දවස් හතරක වගේ කාලයක්. ඒ වගේම ගිනි කෑම සහ ගිනි නර්තනය ඉගෙනගත්තේ එක දවසකින්. ගිනි කෑම වගේ දේවල් දැක්කම යුරෝපීය රටවල අයට හරි පුදුමයි. මම ඒක කළේ කොහොමද කියන එක එයාලා කීපසැරයක්ම ඇහුවා. මේ තරඟය ගැන විකාශය කරන වෙළෙඳ දැන්වීම්වල පවා වැඩි වශයෙන් තිබුණේ මගේ ඉදිරිපත් කිරීම්. ඉතින් සිංහල අපේ දේවල් ගැන ලෝකේ අනිත් අය කොච්චර පුදුමයට පත්වෙනවාද කියන එක මමත් මේකෙන් තමයි දැනගත්තේ.’’

සංචාරක ලෝක රූ රැජින තරඟ ජයග්‍රහණයට පසුව බොහෝදෙනා අතර කතාබහට ලක්වුවද නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ රුව ඊට පෙර සිට හුරුපුරුදුය.

‘‘මම වේරගල ඥානවිමල කනිෂ්ඨ විද්‍යාලයේ වගේම හංවැල්ල රාජසිංහ විද්‍යාලයේත් ආදි ශිෂ්‍යාවක්. උසස් පෙළ කරන අතරතුරේදීම නර්තනය, වේදිකා නාට්‍ය, නිරූපණය වගේ අංශවලටත් සම්බන්ධ වුණා. උසස් පෙළින් පස්සේ නිරූපණය ගැන හැදෑරීමක් කළා. ඊටපස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වු‍ණේ. නිරූපණ ක්ෂේත්‍රය ගැහැනු ළමයෙක්ට නුසුදුසු ක්ෂේත්‍රයක් කියලත් කතාවක් තියෙනවනේ. මම නම් ඒක පිළිගන්නේ නැහැ. අර කතාවක් තියෙනවනේ ‘හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී’ කියලා. ඒවගේම තමයි ඕනම තැනක හරි විදියට ඉන්න දන්න කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවේ ඕනම ක්ෂේත්‍රයක දුර ගමනක් යන්න පුළුවන්.’’

නිරූපිකාවක ලෙස පමණක් නොව ලෝකය දිනූ මේ රූපරාජිනිය රූපලාවණ්‍යාගාරයක් සහ ඇඳුම් නිර්මාණ ආයතනයක් හිමි සාර්ථක ව්‍යාපාරිකාවක් බවත් කිව යුතුය.

‘‘අම්මයි, අයියලා දෙන්නයි තමයි මට ඉන්නේ. මගේ හැම ජයග්‍රහණයකම පිටිපස්සේ එයාලගෙත් දිරිගැන්වීම්, කැපවීම් තියෙනවා. ඒ වගේම මේ තරඟයට මාව සූදානම් කළ රුක්මාල් සේනානායක මහත්මයාව මේ මොහොතේ මතක් කරන්නම ඕනේ. ඒ වගේම ඉසුරු ගුණසේකර, චරිත් ගුණසේකර, චන්දිමාල් ජයසිංහ, යසංග සිගේරා යන මහත්වරුන් වගේම මාව ලස්සනට හැඩගැන්නුව මලීශා ක්‍රිෂාන්තිවත් වචනයකින් හරි උදව් කළ හැමදෙනාටත් ස්තූතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.’’

‘‘මට අනිත් අය වෙනුවෙන් කියන්න වචනයක් තියෙනවා. ‘ඔය තරඟයට යන්න එපා, ඔයා දිනන්නේ නැහැ’ කියලා ගොඩක් අය මට කිව්වා. ‘අපෝ ඔන්ලයින් ක්‍රමයට තරඟය තිබුණේ නැත්නම් කවදාවත් ඔයා දිනන්නේ නැහැ’ කියලා ජයග්‍රහණය කළාට පස්සෙ සමහරු කිව්වා. මම නම් ඒවා ගනන් ගත්තේ නැහැ. මම අනිත් අයටත් කියන්නේ අනුන් කියන දේ නෙවෙයි හැමවෙලේම තමන්ව විශ්වාස කරන්න. සොබාදහම විශ්වාස කරන්න. ඊට වඩා දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ….’’

හිත් රිදවීම් ජයග්‍රහණයට හොඳම පන්නරය බව ඈ කීවේ සිනහ මුවින්ය. අද ‘ධරණී’ කවරය නැවත වරක් පෙරළා බැලිය හැකි නම් ලක්මවට අභිමානය ගෙන ආ සංචාරක ලෝක රූ රැජිනිය නලීෂා භානු නම් ඇයගේ ඒ සොඳුරු සිනහව ඔබට නැවත වරක් දැකගත හැකිවනු ඇත.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරුප සමන් අබේසිරිවර්ධන

හැඩගැන්වීම මහසෙන් විජයමාන්න, සැලෝන් මහසෙන්, හංවැල්ල