නවතම ප්‍රවෘත්ති

එක පිරිමි ළමයෙක් ගෙදරින් පැනලා ඇවිත් අපේ ගේ ගාව කුලී ගෙදරක නැවතුනා

ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ  පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරනා දෙකක්. හැබැයි ගොඩක් දෙනා මේ දෙක පටලගන්නවා. හොද දේවල් නෙවෙයි නරක දේවල්  විතරක් කරලා වුනත් කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. එහෙම ප්‍රසිද්ධ වුණු උදවිය ඕනතරම් ඉන්නවා. හැබැයි ජනප්‍රිය වෙන එක නැත්තම් ජනයාට ප්‍රිය වෙනවා කියන එක කෙනෙක්ට එහෙම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

ඉතින් එහෙව් එකේ කෙනෙක් ජනප්‍රිය වෙලා ඒ ජනප්‍රියත්වය කාලයක් රැකගන්නවා කියන්නේ ඔහු හෝ ඇය බොහොම සුවිශේෂයි කියන එක. නයනතාරා වික්‍රමාරච්චි කියන්නෙත් අන්න ඒ වගේ සුවිශේෂී රංගන ශිල්පිනියක්. අපේ රටේ බාල ,මහලු ,තරුණ මේ ඕනම කාණ්ඩයක රසිකයන් ඇයට බොහොම ආදරෙයි.ඒ නිසාම පිට පිට පස්වැනි වතාවටත් ඇය වසරේ ටෙලි නාට්‍ය නිළිය ලෙස පසුගිය දා SLIM- KANTAR  ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ විතරක් නෙමේ මෙවර “තාරුණ්‍යයේ නිළිය” ජනතා සම්මානය ලබාගත්තෙත් ඇය. ඉතින් මෙවර ධරණී කවරය ඔබේ ආදරණීය තාරකාවිය නයනතාරා වික්‍රමාරච්චිගේ රුවින් සරසන්න අපි හිතුවේ ඒකයි. ඒ විතරක් නෙමෙයි රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන දැනගන්න අපි ඇයත් එක්ක ටිකක් කතා කළා.

නයනතාරාට මිනිස්සු මේ තරම් ආදරේ ඇයි?”

ඇත්තටම ඒක නම් මටත් හිතාගන්න බැහැ.. සමහර විට ඒක පෙර පිනක් වෙන්න ඇති.”

ඇය කිව්වේ බොහොම නිහතමානී විදිහට.නයනතාරා  රංගන ක්ෂෙත්‍රයට ඇවිල්ලා තවමත් වසර හයයි. හැබැයි ඒ ටික කාළෙට ඇය ජනප්‍රියම නිළිය විදිහට සම්මාන රාශියක්ම ලබාගෙන තියෙනව.

”  මම රංගන ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. ඒත් මේ ටික කාලෙදි මට ලැබුණු රසික ආදරය අසීමිතයි. මම ගෙදරින් එළියට ගියත්, සෙට් එකක හිටියත් ගොඩක් අය මගේ ලගට ඇවිල්ලා කතා කරනවා. මාස්ක් එක දාලා හිටියත් පුංචි දරුවෝ පවා මාව අදුරගන්නවා. සමහර දරුවෝ මගේ ලගට ඇවිල්ලා  “දෙව්මිකියලා මාව බදාගන්නවා. ඉතින් ඒ ආදරේ ප්‍රථිපලය විදිහට මේ වෙනකොට ජනප්‍රියම නිළිය විදිහට සම්මාන දහතුනක් මට ලැබිල තියෙනවා. ඇත්තටම ඒ සම්මාන අයිති මට වඩා මගේ ප්‍රේක්ෂකයන්ට.”

රසික ආදරය ගැන අමතක නොවන විශේෂ සිදුවීම් එහෙම නැද්ද?” 

තියෙනවා. ඒක මගේ ජීවිතේ බොහොම සංවේදී සිදුවීමක්. දවසක් රසිකයෙක් මාව හොයාගෙන ගෙදරට ආවා. ඔහු මුල් කාලේ ඉදලම දෙවනි ඉනිම නැරඹුවලු. මමත් බොහොම  හොදට ඔහු එක්ක එදා කතාබහ කළා. ඊට පස්සේ මම නැති වෙලාවටත් ඔහු මාව හොයාගෙන ඇවිල්ල තියෙනවා. ඔහොම ඉද්දි ඉතින් දවසක් ඔහුගෙ දෙමව්පියෝ අපේ ගෙදරට ඇවිල්ලා අපි එක්ක කතා කළා. මේ පිරිමි ළමයා ගෙදරින් පැනලා ඇවිල්ලා අපේ ගේ ගාව කුලී නිවසක් අරන් නැවතිලාලු මාව බලන්න. ඔහු දෙව්මි කියන චරිතයට ඇත්තටම ආදරේ කරනවලු. පස්සේ ඒ අම්මලා ඒකට ප්‍රතිකාර අරන් බොහොම හොඳ විදිහට ඒ ප්‍රශ්නය විසදගෙන තිබුණා. ඒ ගැන මට සතුටුයි. ඒත් ඒක අමතක නොවෙන සිදුවීමක්

නයනතාරා  මුහුණදීපු සුවිශේෂී සිදුවීමක් ගැන ඇය විස්තර කළේ එහෙම. ඇය බොහොම නිහතමානී රංගන ශිල්පිනියක් බව මට ඇගේ කතාබහෙන්ම තේරුණා.

ජනප්‍රිය වෙනකොට සම්මාන ලැබෙනකොට සමහර අය ටිකක් ආඩම්බර වෙනවා. මට නම් හිතෙන්නේ නිහතමානීකම කාන්තාවකට ආභරණයක් කියලයි. සම්මානයක් ලබන සතුට ඒ මොහොතේ විඳිනවා ඇර ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න ඕන නෑ කියලයි මම හිතන්නේ

 අනික තමයි ඉවසීම. අපි ජීවත්වෙන සමාජයේ විවිධ මත තියෙන අය ඉන්නවා. හැමෝගෙම අදහස් එක වගේ නැහැනේ. ඉතින් එතැනදි මිනිස්සුන්ට ගැටෙන්න වෙන තැන් වැඩියි. හැබැයි ඉවසන්න පුරුදුවුණු කෙනෙක්ට ඒ දෙවල් ලොකු ගැටලු නෙමෙයි. ඉතින් මටත් එහෙම අත්දැකීම් තියෙනවා. ඒ වගේම මොන ක්ෂේත්‍රයේ වැඩ කළත් කෙනෙක්ගේ වචන වලට ගරු කරන්න වගේම පරාර්ථකාමී වෙන්නත් අපි ඉගෙන ගන්නම ඕනේ. එතකොට තමයි ඕනම කෙනෙක්ට හොද අනාගතයක් තියෙන්නේ.”

 ජනප්‍රිය වෙන්න ශරීරය නිරාවරණය වෙන ඇදුම් අදින්න ඕනේ කියලා හිතන පිරිසකුත් අපේ රටේ ඉන්නවා. හැබැයි නයනතාරා  කියන්නේ බොහොම චාම් පන්නයේ විලාසිතා වලින් සැරසෙන රංගන ශිල්පිනියක්.

මම අදින ඇදුම් ඩිසයින් කරන්නේත් මමමයි. ගොඩක් දෙනා ඒ  ඇදුම් වලට කැමතියි. කොටට අදින එක නරක දෙයක් නෙමෙයි ඒක තම තමන්ගේ කැමැත්ත. මම පෞද්ගලිකව එහෙම අදින්න කැමති නැහැ.”

ඒ කිව්වේ ඔයා ඔයාටම ඒ විදිහේ සීමාවක් දාගෙන තියෙනවද?”

මෙහෙමයි, සමහරු කියනවනේ ජීවිතේට කිසිම සීමාවක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි මම හිතන්නේ අවස්ථාව අනුව සීමා වෙන්න ඕන තැන් තියෙනවා. මම කියන්නේ මේ ජීවිතේට ලොකූ සීමාවල් දාගන්න කියන එක නෙමේ. හිතන්නකෝ  සෙනග පිරුණු තැනක ගොඩාක් කෙටි ඇදුමක් ඇන්දොත් ඒකෙන් සමහරවිට අපේ සුවපහසුබවත් නැති වෙලා යන්න පුලුවන්. නිසා සීමා ගැන හිතනවට වඩා අවස්ථානුකූලව වැඩ කරන එක තමා හොදම දේ. මොන දේ කළත් අවසානෙදි තමන් සතුටින් හිටියද කියන එක තමා වැදගත්.”

ඉතින් අවසාන වශයෙන් නයනතාරා ඇගේ ගමනට සහය වුණු පිරිස ගැන මතක් කරන්නත් අමතක කළේ නැහැ.

ඉස්සර මම අම්මගේ සාරි පටලගෙන කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා රගපානවලු. ඉතින් ලොකු වෙලා නිළියක් වෙනවා කියන ආසව මට පුංචි කාළේ ඉදලම තිබ්බා. මම මුළින්ම රගපෑවේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අයියගේ හංස පිහාටු ටෙලිනාට්‍යයයේ. ඒ තුළින් රසිකයෝ මාව අදුනගත්තා. ඊට පස්සේ මම ස්තූතිවන්ත වෙන්න ඕනේ දෙරණ ආයතනයට. දෙව්මිගේ චරිතය මට දුන්නට. දැන් නයනතාරා කියන නමටත් වඩා මිනිස්සු මාව අදුරන්නේ දෙව්ම් කියන නමින්. ඒ වගේම සාරංග මෙන්ඩිස්, සමන් එදිරිමුණි ඇතුලු දෙවනි ඉනිම කන්ඩායමටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මට ලැබෙන සහයත් අසීමිතයි. ඉතින් මේ හැමදෙනාගෙම ආශිර්වාදය මැද්දේ කලා ක්ෂේත්‍රයේ තව දුර ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.”

ඉතින් ඇගේ ඒ බලාපොරොත්තු ඉටුවෙන්න පතන ගමන් අපි ඇය ලබාගත්තු සම්මාන වෙනුවෙනුත් ඇයට සුබාශිංසන එකතු කරලා ඒ කතාබහ නිමා කළා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – තුෂාර සංජීව