විශේෂාංග

බිලියනවලින් සැප වින්දත් සතේට ගණන් බලන අම්බානිගේ බිරිඳ

ඇමරිකානු ඩොලර් බිලියන 98.2ක වත්කමක් හිමි සැමියෙකුගේ පතිනිය වීමට හැම බිරිඳකටම වාසනාව ලැබෙන්නේ නැත. ඒත් ඒ සා විශාල වත්කමක් හිමි ආසියාවේ ලොකුම ධන කුවේරයා වූ මුකේෂ් අම්බානිගේ බිරිඳ නීතා අම්බානිට ඒ වාසනාව හිමිව ඇත. ලොව අංක එකේ ධනවතුන්ගේ ලයිස්තුවේ ඉහළින්ම සිටින මුකේෂ් අම්බානි ‘රිලායන්ස්’ ව්‍යාපාර ජාලයේ හිමිකරුය.

කතාවට කියන්නාක් මෙන් පුච්චන්න තරම් සල්ලි තිබුණත්, නීතාගේ වියදම බොහොම සකසුරුවම්ය. එහෙමයි කියා ඇය සැප නොවිඳ සිටින්නේද නැත. නීතාගේ සකසුරුවම ගැන කියන්නට 2010 වසරේ සිදුවූ ඇගේ ශ්‍රී ලංකා සංචාරයම හොඳ නිදසුනක්ය.

2010 වසරේ දිනක ඇය සිය පුද්ගලික ජෙට් යානයෙන් ලංකාවට ආවාය. ඒ ඔවුන් අලුතෙන් මිලට ගත් ඇන්ටිලියා නිවසට අවශ්‍ය පිඟන් කෝප්ප හා පීරිසි මිලදී ගැනීමටයි. නොරිටාකේ ආයතනයෙන් නීතා මිලට ගත් පිඟන් බඩු කට්ටල ගණන 25,000කි. එවැනි ඇණවුමක් ඊට පෙර කිසිඳු පුද්ගලික ගනුදෙනුකරුවෙකු වෙතින් නොරිටාකේ සමාගමට ලැබී තිබුණේ නැත.

එම වෙළෙඳ නාමයෙන් යුත් පිඟන් භාණ්ඩම ඉන්දියාවේද ඇත. එහෙත් ඇය ඒවා මිලදී ගැනීමට ලංකාවට ආවේ ඉන්දියාවේ මිලට වඩා ලංකාවේ මිල භාගයකින් අඩු නිසාය. අලුත් නිවසට අවශ්‍ය පිඟන් භාණ්ඩ ලංකාවේ අලෙවිවන මිලට ගැනීමෙන් සැමියාගේ සාක්කුවෙන් වැයවන මුදල අඩකින් ඉතුරු කරදීමට ඇයට අවශ්‍ය විය. ගිණුම් හා ආර්ථික විද්‍යාව සම්බන්ධව ඇති උපාධියෙන්ද සමහර විට ඈ මේ වැඩවලදී ප්‍රායෝගිකව ප්‍රයෝජන ගන්නවා වන්නට බැරි නැත.

එහෙම මුදල් ඉතිරි කළත් වියදම් කිරීමටද ඇය උපන් හපනියකි. මුකේෂ්ගේ තත්ත්වයට පෑහෙන්නට ඇය ලෝබ නැතිව වියදම් කරයි. EAST COAST DAILY සඟරාව වාර්තා කරන ආකාරයට ලොව මිල අධිකම සාරිය අයිති නීතාටය. රතුකැට, මරකත හා මුතුවලින් අලංකාර කර ඇති එහි වටිනාකම ඇමරිකන් ඩොලර් 53,000කට වැඩිය. එය සැලසුම් කර ඇත්තේ ‘ද චෙන්නායි සිල්ක්ස්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසිනි.

නීතා කිසිම අවස්ථාවක එකම පාවහන් යුගල නම් දෙවරක් පාවිච්චි කරන්නේ නැත. එසේම ඒවා තමන්ගේ ඇඳුම් විලාසිතාවලට ගැළපෙන ආකාරයටම තෝරාගැනීමටත් ඇයට ඇත්තේ විශේෂ සමර්ථකමකි. ඇගේ දෙපයට ළඟාවන්නේ මිල අඩු එසේ මෙසේ පාවහන් ද නොවේ. ජිමී චූ, මාර්ලින් හෝ ලුවිස් වුටන් ආදී එකී පාවහන් අපිට නම් ගිනි ගණන්ය.

ඊට අමතරව ඇමරිකන් ඩොලර් 50,000කට අධික වටිනාකමකින් යුත් තොල් ආලේපන හා රූපලාවන්‍ය කට්ටලයක් ඇය සතුය. ඒවා අසුරා ඇත්තේ සුදු රත්‍රන් බඳුන්වලය.

බාල වියේදී නීතාට අවශ්‍යව තිබුණේ භරත නාට්‍යම් ගුරුවරියක වීමටය. එහෙයින්ම ඇය එහි පරතෙරට ගියාය. අදටත් කෙතරම් කාර්යබහුල වුවද උදේ හත වනවිට භරත නාට්‍යම් පුහුණුව හා යෝග අභ්‍යාස කිරීම ඇය කිසිවිටෙක වරද්දන්නේ නැත.

පොකැට්ටුව තරමටම නීතාගේ හදවතද පොහොසත්ය. ඒ නිසා සමාජ සුබසාධන වැඩවලද ඇය ඉන්නේ ඉදිරියෙනි.

‘රිලයන්ස් පදනම’ හා ‘දිරුබායි අම්බානි ජාත්‍යන්තර පාසල’ නීතා විසින් ආරම්භ කරනු ලැබූවකි. ඉන්දියාවේ අංක එකේ IPL ක්‍රිකට් කණ්ඩායම වන ‘මුම්බායි ඉන්ඩියන්ස්’ හි හිමිකාරියද ඇයයි. ඉන්දීය පාපන්දු සංවර්ධන ආයතනයේ සභාපතිවරිය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු බවට පත්වූ පළමු ඉන්දීය කාන්තාවද නීතා අම්බානි ය.

සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව නම් පවසන්නේ ආසියාවේ බලවත්ම ව්‍යාපාරික කාන්තාවන් අතර ඇයද එක්කෙනෙකු බවයි.

ඇගේ ජීවිතය පුරාම පවතින ලක්ෂණයක් වන්නේ කැපවීමයි. ඇගේ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවන් පිළිබඳව පෞද්ගලිකව සොයාබැලීම ඇගේ සිරිතය. මොනම හේතුවක් නිසාවත් ඇය එහි කටයුතු අතපසු කරන්නේ නැත.

එසේම තම පෞද්ගලික සෞඛ්‍ය ගැනද ඇය දැඩි අවධානයෙක් දක්වයි. සල්ලිභාගේ හිමි බොහෝ ධනවත් කාන්තාවන් මෙන් හිතුමතේ ආහාර ගිලදැමීම නීතාගේ පුරුද්දක් නොවේ. ඇගේ උදේ ආහාරය බොහෝවිට වියළි පලතුරු හා බිත්තර ඔම්ලට් එකකි. දවල්ට නම් සුප් භාජනයක් හා තැම්බූ එළවලු පලතුරු ටිකක් කෑමට ඇය වැඩියෙන් කැමතිය. ඒ අතර බීට්රූට් යුෂවලට නීතාගේ ඇල්ම වැඩිය. එමගින් ශරීරයේ ඇති විෂ ඉවත් කරන බව ඇගේ අදහසය. අවුරුදු 58ක් වුවත් තාමත් කෙල්ල වගේ ඉන්නා නීතාගේ සුන්දරත්වයේ රහසද එය වීමට බැරි නැත.

වරෙක ඔවුන්ගේ පුතු අනන්ත් අම්බානි බර අඩුකර ගැනීමට ආහාර පාලනය කර ශාරීරික ​අභ්‍යාසවලට යොමු විය. නීතාට අවශ්‍ය වූයේ එය නිසි පරිදි සිදුවනවාද යන්න සොයා බැලීමටයි. අන්තිමට ඒ සෙවිල්ල කෙලවර වූයේ ඔහුගේ බර රාත්තල් 108කින් අඩු වෙද්දී ඇගේ බරද රාත්තල් 40ක් අඩු වීය.

කොහොමටත් දිනපතා ශාරීරික ව්‍යායාම්වල යෙදීම ඇගේ පුරුද්දය. හරියටම උදේ හතට නර්තන පුහුණව පටන්ගන්නා ඇය ශාරීරික ව්‍යායාම සඳහා විනාඩි 40ක් පමණ ගත කරයි. ඒ සමඟ යෝග අභ්‍යාස කිරීමත්, පිහිනීමේ යෙදීමත් ඇය කවදාවත් වරද්දන්නේ නැත.

මහල් 40ක් සහිත ලොව දෙවන මිල අධිකම මැදුරේ වාසය කළද මෑතකදී බ්‍රිතාන්‍යයෙන් තවත් නිවසක් මිලට ගැනීමට ඔවුන් කටයුතු කළෝය. ඒ බකිංහැම්ෂයර්හි අක්කර 300ක ස්ටොක්පාක් මන්දිරයයි. ඒ මැදුරේ කාමර ගණන 49කි. ඉංග්‍රීසි ජාතික වෛද්‍ය විශේෂඥවරයෙකුගේ පාලනය යටතේ ඇති කුඩා රෝහලක්ද ඊට අයත්ය.

කෙතරම් සුඛෝපභෝගී හා කාර්යබහුල දිවියක් ගතකළත් ජීවිතයේ රැකගත යුතු වටිනාකම් ගැන නීතා අම්බානිට අමතක නැත. සිය සැමියා හා දරු තිදෙනාගේ අවශ්‍යතා පුද්ගලිකවම සොයා බැලීම අදටත් ඇය අතින් සිදුවෙයි. ඒ නිසා ඇමරිකානු ඩොලර් බිලියන 98.2ක් හිමි ධනවතෙකු වනතෙක් මුකේෂ් අම්බානි ආ ගමන පිටුපස ඇගේ හෙවණැල්ලද තිබූ බව සිතීමෙහි වරදක් නැත.

වසන්ත විජේරත්න