විශේෂාංග

රෙස්ලින් වළල්ලේ වැඩ පෙන්වන නික්කි අක්කා සහ බ්‍රී නංගී

නික්කි බෙල්ලා සහ බ්‍රී බෙල්ලා යනු ඇමෙරිකානු නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. ‘මල්ලවපොර හෙවත් රෙස්ලින්’ (WWE) ක්‍රීඩිකාවන් වීම නිසා මේ දෙදෙනා ලෝකයේ බොහෝදෙනා අතර ඉතා ජනප්‍රියය. නිවුන් බව සලකුණක් කරගෙන ඔවුන් දැන් සෑහෙන දුරක් පැමිණ ඇත. ක්‍රීඩාවෙන් පමණක් නොව රංගනයෙන්, නිරූපණයෙන් මෙන්ම ව්‍යාපාර මේ දෙදෙනා ඉතා සාර්ථකව ඉදිරියට පැමිණ ඇත. එනිසාම බෙල්ලා සහෝදරියන් මේ වනවිට ලෝකයේ පොහොසත්ම නිවුන් සහෝදරියන් දෙදෙනා ලෙසයි සැලකෙන්නේ. නමුත් ඔවුන් අද සිටින තැනට පැමිණ ඇත්තේ මල් මාවතක නම් නොවේ. එය සැබැවින්ම කඳුළින් ලියැවුණු කටුක අතීතයකි. එසේ කඳුළින් ලියැවුණු, රෙස්ලින් සටන් කලාවෙන් ලෝකයම හෙල්ලූ යකඩ බෙල්ලා නිවුන් සහෝදරියන්ගේ කතාවයි මේ.

අපි දෙන්නා ඉපදුණේ මහා ලොකුවට සල්ලි තියෙන පවුලක නෙවෙයි. අක්කා මට වඩා විනාඩි දාසයයි වැඩිමල්. අපේ අම්මලා ගොවිපොළක් පවත්වාගෙන ගියා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම අපි කුකුල්ලු, එළදෙන්නු, අශ්වයෝ වගේ සත්තු එක්කයි එකට හැදිලා වැඩුනේ. මට මතකයි අපි සෙල්ලම් කළෙත් ඒ සත්තු එක්ක. ටිකක් ලොකු වෙනකොට අපි තමයි එයාලට කෑම දුන්නේ. ඉස්කෝලේ යන්නේ ඒ වැඩ ඔක්කෝම ඉවරකරලා තමයි. ඒ නිසා පාන්දරම අපි දෙන්නම නැගිට්ටා.”

කෙලිදෙළෙන් ළමා කාලය ගතකළ අයුරු එසේ සිහිකරන්නේ වැඩිමලා වන නික්කි බෙල්ලා ය. 1983 නොවැම්බර් 21 වැනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී උපන් ඔවුන් වැඩිපුරම පෙම්බැන්ඳේ පාපන්දුවටය. දෙදෙනාම පාසල් නිමාවෙන තෙක් ඇඟිලි ගැන්නේ නිවසට ආ පසු ඒ පිටටම පාපන්දු ක්‍රීඩා කරන්නටයි.

අපි පාපන්දු ගහන්න ගොඩාක් ආස කළා. අපේ ගෙදර තිබුණු පොඩි ටීවී එකෙනුත් නිතරම බැලුවෙ පාපන්දු මැච් තමයි. අම්මලා ඒ වෙනුවෙන් උපරිම නිදහසක් දීලා තිබුණා. ඉතින් මගෙයි අක්කගෙයි වැඩේම පාපන්දු ගහන එක.”

නික්කි බෙල්ලාත් බ්‍රී බෙල්ලාත් ගියේ මිශ්‍ර පාසලකටය. දෙදෙනාම රූමත්කමින් අඩුවක් නොවූ නිසා පිරිමි ළමුන්ගේ බැල්මෙන්ද ඔවුනට අඩුවක් වූයේ නැත. නමුත් වැඩි සෙනෙහේ දබරෙටයි කියන්නා සේ නික්කිගේ ජීවිතය කණපිට පෙරලුණේ පන්තියේ උන් පිරිමි ළමයෙකු ඇයට කළ නොහොබිනා වැඩකටය.

එතකොට මට වයස අවුරුදු 15යි. මං හිතාගෙන හිටියේ ඒ පිරිමි ළමයා මගේ හොඳම යාළුවෙක් කියලා. ඒත් එක දවසක් එයා මාව දූෂණය කළා. ඒක මට දරාගන්න බැරිවුණා. මං දවස් ගාණක්ම නොකා නොබී ඇඬුවා. මං මටම දොස් කියාගත්තා. ඒත් මං එක දෙයක් කරන්න වගබලාගත්තා. ඒ තමයි මට වුණු දේ කාටවත් නොකියා ඉන්න. ඉතින් පුළුවන් හැමවෙලේම මං ඒක රහසක් විදියට තියාගන්න උත්සාහ කළා.”

එතැන් පටන් නික්කි සිටියේ තමාට සිදුවූ දේ ගැන දැඩි වේදනාවෙනි. ඒ වේදනාව තවත් වැඩිවූයේ ඔය අස්සේම ඔවුන්ගේ පියාද දැඩි ලෙස මත්පැනට ඇබ්බැහිවීම උඩය.

හැබැයි මොන දේ වුණත් මමවත් නංගිවත් පාපන්දු ගහන එක අත්ඇරියේ නෑ. මොකද ඒකට හිත ගියාම හැමදේම අමතක වුණා. ඉතින් අපිට ඕන වුණා වෘත්තීය මට්ටමින් පාපන්දු ක්‍රීඩා කරන්න. එහෙම හිතලා පාපන්දු ක්‍රීඩා සමාජයකට පවා බැඳුනා. ඒත් දිගින් දිගටම මට ආබාධ එන්න ගත්තා. ඊටපස්සේ දුකින් වුණත් පාපන්දු අත්හරින්න වුණා. ඒ එක්කම නංගිගෙත් පාපන්දුවට තිබුණු ආසාව නැතිවුණා.”

පාපන්දුව අත්හැරියාට පසු දෙදෙනාම හිත යොමුකළේ ඉගෙනීමටය. අවසන එකම දිනකදී මේ අක්කා නගෝ දෙදෙනාම උපාධිධාරීන් වූයේ චැපරල් උසස් පාසලේ දීප්තිමත් සිසුවියන් දෙදෙනෙකු බවටද පත්වෙමිනි.

අපි දෙන්නා මුල්ම රැකියාව විදියට කළේ කැලිෆෝනියාවේ මොන්ඩ්‍රියන් හෝටලයේ වේටර්වරියෝ විදියට වැඩකරපු එක. එතැන ටික කාලයක් ඉන්නකොට නිරූපණය පැත්තට යොමුවුණා. එතැනින් රංගනය පැත්තට යොමුවුණා. හැබැයි ඒ ලොකු ලොකු නිර්මාණවල නෙවෙයි එක එක ආයතනවල පොඩි පොඩි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන්. ඒකෙන් අපිට පොඩි මුදලක් ලැබුණා.”

පල ඇති රුකට මිසක් පල නැති රුකට ගස් ගසන්නෝ නැත. බෙල්ලා නිවුන් සහෝදරියන් දෙදෙනාද  ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වනවිට ඔවුන්ගේ සාර්ථකත්වය බලාසිටිය නොහැකි පිරිස් ඔවුන් හාස්‍යයට ලක්කළහ.

මමයි නංගියි දෙන්නම එක වගේ. ඒත් නංගිගේ පපුවේ උපන් ලප දෙකක් තියෙනවා. මගේ එහෙම නෑ. අපි දෙන්නා වෙනස්වුණේ එතැනදි විතරයි. ඒත් අපි ටිකක් ජනප්‍රිය වෙනකොට සමහරු අපිට විහිලු කරන්න ගත්තා. ඒ මට තියෙන්නේ කෙහෙල් ගෙඩියක් වගේ මූණක් නංගිට තියෙන්නේ ඇපල් ගෙඩියක් වගේ මූණක් කියලා.”

කොතරම් හාසයයට ලක්වුවද බෙල්ලා සහෝදරියන් වැටුනේ නැත. ඔවුන් එයම ශක්තියක් කරගෙන ඊළඟට යොමුවූයේ සාමාන්‍යයෙන් තරුණියන් යොමුනොවන අන්දමේ ක්‍රීඩාවක් වෙතය. ඒ මල්ලවපොර හෙවත් රෙස්ලින්ය.

මං තමයි මුලින්ම රෙස්ලින් ගහන්න ආවේ. පස්සේ නංගිත් ආවා. මුලින් තනිතනිව ආවත් පස්සේ දෙන්නම එකට ආවා. 2008 අවුරුද්දේ. මං හිතන්නේ අපේ හැරවුම් ලක්ෂය තිබු‍ණේ එතැන.”

මේ වනවිට ජෝන්සීනලා, රැන්ඩි ඔර්ටන්ලා, රෝමර් රේන්ජ්ලා රජකරන රෙස්ලින් වළල්ලේ සිටින එකම නිවුන් සහෝදරියන් දෙදෙනා මොවුන්ය. දැන් දැන් තවත් තරුණියන් ඊට යොමුවී තිබුණද පෙනුමෙන් පමණක් නොව දක්ෂතාවය අතින්ද බෙල්ලා සහෝදරියන් සිටින්නේ ඉදිරියෙනි. එපමණක් නොව සිය නිවුන් බව සංකේතයක් කරමින් දෙදෙනාම ව්‍යාපාර ලෝකයද ජයගෙන තිබේ.

අපි දෙන්නම එකට එකතුවෙලා විලාසිතා ආයතනයක් වගේම වයින් නිෂ්පාදන ආයතනයක් කරනවා. ඒ අතරේ රංගනය, නිරූපණය, නිවේදනය වගේ දේවලුත් කරනවා. ඒත් අපි ආසම රෙස්ලින් වළල්ලට. මොකද මුළු ලෝකයම අපි දැනගත්තේ එතැනින්. ඒ නිසා පුළුවන් කාලයක් රෙස්ලින් ගහනවා.”

එදා ගොවිපොළක දුවපැන සිටි බෙල්ලා සහෝදරියන් දැන් ඇමෙරිකාවේ නම ගිය පොහොසතුන්ය. රෙස්ලින් වළල්ලේ අංක එකේ ක්‍රීඩිකාවන්ය. එකී සාර්ථකත්වය ගැන බෙල්ලා සහෝදරියන්ගේ වැඩිමල් සහෝදරිය වන නික්කි බෙල්ලා කොතැනදිත් කියන්නේ එකම කතාවය.

මමයි නංගියි නිවුන්නු විදියට ඉපදුණු එක කොච්චර දෙයක්ද?”

රුවන් එස්.සෙනවිරත්න