විශේෂාංග

ජාතික ශූරියක් වෙනකන් පුහුණුවට අමතරව මාස්ටර් කන්න බොන්නත් දුන්නා

2022 අවුරුද්දේ පවත්වපු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් ‘නෙත්මි අහිංසා ප්‍රනාන්දු’ ලෝකඩ පදක්කමක් දිනාගත්තා ඔබට මතක ඇති.  ඒත් එක්කම මල්ලවපොර ක්‍රීඩාවෙන් එවැනි ජයග්‍රහණයක් ලබාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවටත් ඇය පත්වුණා. ඒ වෙනකොට නෙත්මිට වයස අවුරුදු 18යි.

එදා නෙත්මිගේ ජයග්‍රහණය ගැන ඇගේ පුහුණුකරු වූ සුරංග කුමාර මහත්මයා එක්ක කතාබහ කරන අතරතුරේ ඔහු මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

නෙත්මි ඇරුණම මගේ ගාව පුහුණුවෙන තව ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගැන කතාව තාම එළියට ආවේ නෑ. හැබැයි බොහොම පොඩි කාලයක් ඇතුළත ඒ දෙන්නත් එළියට එන බව මට ඉර හඳ වගේ විශ්වාසයි.”

සුරංග මහත්තයා ඉර හඳ ගානට විශ්වාස කරපු ඒ කෙල්ලෝ දෙන්නා තමයි නිපුනි වාසනා ධර්මදාස සහ චමෝද්‍යා කේෂානි. අර කිව්වා වගේම පසුගිය දවසක 17 හැවිරිදි නිපුනි මල්ලවපොර ඉතිහාසයම වෙනස් කරමින් තමන්ගේ වයසටත් වඩා වැඩිය ලොකු ජයග්‍රහණයක් ලබාගත්තා. ඒ පසුගිය පෙබරවාරියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වුණු ජාතික මල්ලවපොර ශූරතාවේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවෙමින්. නිපුනි එහිදී නියෝජනය කළේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය. ඉතින් ඇය ලැබූ ජයග්‍රහණය පිටුපස කතාව අහන්න අපි ඇයට කතා කළා.

මාස්ටර් නම් කලින්ම කිව්වා මං දිනනවා කියලා. මටත් ඕන වුණේ දිනන්නම විතරයි. ඒ විශ්වාසය මගේ හිතේ හැමවෙලේම තිබුණා. ඉතින් අවුරුදු 17ක් වගේ පොඩි වයසකදි මට ජාතික මල්ලවපොර ශූරතාවේ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න ලැබුණු එක ගැන හරිම ආඩම්බරයක් තියෙන්නේ.”

බැලූ බැල්මට නිපුනි කියන්නේ මල්ලවපොර ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේ මහ ලොකු ඇඟපතක් තියෙන දැරියක් නෙවෙයි. ඒ නිසා ළාබාල වයසේ පසුවුණු ඇය මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලබාගනීවි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති. ඒත් ඇයට වඩා වයසින් ඇඟපතින් පමණක් නෙවෙයි අත්දැකීම් අතිනුත් ඉදිරියෙන් හිටපු හැමෝම මේ වෙද්දිත් මේ පුංචි කෙල්ලට දෙවැනියි.

මට ඉන්නේ තාත්තයි, අයියලා දෙන්නයි, නංගියි. අපේ එක අයියෙක් ඉස්සර මල්ලවපොර ගැහුවා. මට මුලින්ම මල්ලවපොර ගහන්න ආසාවක් ඇතිවුණේ ඒ නිසා. අයියත් කිව්වා එන්න කියලා. එතකොට මං ඉස්කෝලේ නවය වසරේ හිටියේ. එහෙම තමයි මං මේ ක්‍රීඩාවට යොමුවුණේ.”

ඒ විදියට නිපුනි මල්ලවපොර ක්‍රීඩාවට යොමුවුණු විදිය කියද්දි ගෑනු ළමයෙක් විදියට මුහුණපාන්න වුණු අභියෝග ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.

මුලින් ගෙදරිනුත් ලොකු කැමැත්තක් තිබුණේ නෑ මේ ක්‍රීඩාවට එනවට. වටේ පිටේ අය වුණත් කිව්වේ ගෑනු ළමයෙක්ට මේ වගේ ක්‍රීඩාවක් ගැළපෙන්නේ නෑ කියලා. ඒත් මං හිතුවා කවුරු මොනවා කිව්වත් ඒ හැමෝටම දවසක මං කවුද කියලා පෙන්නනවා කියලා. එහෙම හිතලා තමයි සුරංග මාස්ටර් ගාවට පුහුණුවීම් කරන්න ආවේ.”

සුරංග කුමාර ගැන අමුතුවෙන් කියන්න උවමනා නෑනේ. ඔහු තමන්ගේ මුළු ජීවිතේම කැපකරන්නේ නිපුනි, නෙත්මි වැනි වැඩි පහසුකම් නැතිව පුහුණුවෙන අහිංසක දරුවන් වෙනුවෙන්. ඒ කැපකිරීම ගැන අපි කියනවට වඩා නිපුනිගේ වචනවලින්ම කියන එක වටිනාකමින් වැඩියි කියලයි අපිට හිතු‍ණේ.

නෙත්මි අක්කව පුහුණු කරපු සුරංග කුමාර කියන්නේ මගේ මාස්ටර්. එයා මාව එයාලගේ ගෙදරම තියාගෙන තමයි කෑමබීම ටික දීලා පුහුණුවීම් කරවන්නේ. මුලදි අපි කාටවත් පුහුණුවීම් කරන්න මෙට්ට තිබුණේ නෑ. මට මතකයි අපි මුලින්ම පුහුණුවීම් කළේ ලී කුඩු ගොඩේ. හරියට පුහුණුවීම් කරන්න තැනක් තිබුණේ නෑ. මට මතකයි මාස්ටර් අපිට ණය වෙවී කන්න අරන් දුන්නා. මාස්ටර්ගේ බිරිඳත් අපට සලකන්නේ එයාගේම ළමයින්ට වගේ. කන්න බොන්න ටික හදලා දෙන්නේ එයා. හරියට අම්මෙක් වගේ. මේ ක්‍රීඩාව කරන එක ලේසි නෑ. ගොඩාක් කැපකිරීම් කරන්න ඕන. අදටත් හවස පහේ හයේ ඉඳන් මහ රෑ දහය එකොළහ වෙනකල් අපි එකදිගට පුහුණුවීම් කරනවා. ඒක ලේසි දෙයක් නෙවෙයි. මේ ජයග්‍රහණය පිටිපස්සේ අපේ දක්ෂතා වගේම මාස්ටර්ගේ කැපවීම තියෙනවා.”

හොඳ ගුරුවරයෙක්ට ගොඩාක් දුර පේනවා කියනවනේ. ඒ කතාව ඇත්‍ත. මොකද නිපුනි කියපු විදියට ඇයගේ ජයග්‍රහණය සුරංග මහත්තයා කලින්ම දැකලා තිබුණා.

නෙත්මි අක්කා දිනපු දවසේ සුරංග මාස්ටර් මට කිව්වා ඊළඟට ඔයා කියලා. ඒ වෙලාවේ මට ලොකු විශ්වාසයක් ඇතිවුණා. මොකද නෙත්මි අක්කා දිනන්න කලිනුත් මාස්ටර් එයාට ඒ ටිකම කියලා තිබුණා. මාස්ටර් ලොකු කැපකිරීමක් කරනවා අපි හරහා ලංකාවට ජයග්‍රහණ ගේන්න. ඒත් ඇත්තම කතාව නම් අපිට තවමත් හරියට පුහුණුවෙන්නවත් තැනක් නෑ. අඩුපහසුකම් යටතේ පුහුණුවීම් කරලා තමයි මේ ජයග්‍රහණ අපි ගන්නේ. හොඳට පුහුණුවීම් කරන්න ලැබුණොත් අපිට තවත් ඉදිරියට යන්න පුළුවන්.”

නිපුනිගේ ගම් පළාත පන්නල. මේ වෙනකොට ඇය පාසල් අධ්‍යාපනය හමාර කරලයි ඉන්නේ. ඇය කියන විදියට ඇයට දැන් තියෙන්නේ එක ඉලක්කයයි. ඒ ක්‍රීඩාවට පය තියන බොහෝ ක්‍රීඩකයින්ට තියෙන ඉලක්කය. ඔව් ඒ ඔලිම්පික්. ඉදිරියේදි ඇයට ඇති ජාත්‍යන්තර තරඟ කිහිපය ඇය ජයග්‍රහණය කළොත් නිසැකවම ලබන වසරේ ප්‍රංශයේ තියෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගන්න නිපුනිට පුළුවන්.

ලබන අවුරුද්දේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල තියෙනවා. මං උත්සාහ කරනවා ඉදිරි තරඟ හොඳට ජයග්‍රහණය කරලා ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවලා ඔලිම්පික් යන්න. මගේ හිත කියනවා ලංකාවට ඊළඟ ඔලිම්පික් පදක්කම ගේන්නේ මං කියලා.”

ඉතින් ඒ වෙනුවෙන් නිපුනිට සුබපතන ගමන් අපි ඇයට සමුදුන්නේ ඒ විශ්වාසය අපේ හිත් කොණෙත් පරිස්සමට තියාගෙන. මොකද අවුරුදු දාහතෙන් ලංකාවම හොල්ලපු මේ පුංචි කෙල්ලට ලෝකය අල්ලන එක එච්චර අමාරු වෙන එකක් නෑ.

සුරංග කුමාර (නිපුනිගේ පුහුණුකරු)

මං නිපුනිට කලින්ම කිව්වා ඔයා අතින් වරදක් නොවෙන්න මේ සැරේ ජාතික මල්ලවපොර ශූරතාවේ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්නේ ඔයා කියලා. අන්තිමේ එයා ඒක කළා. හැබැයි නිපුනිගේ ජයග්‍රහණය පිටිපස්සේ සංවේදී කතා ගොඩාක් තියෙනවා. ඒ අතරින් ලොකුම කතාව තමයි එයා මේ ජයග්‍රහණය ගත්තේ අඩුපහසුකම් එක්ක පුහුණුවීම් කරලා. රජය මැදිහත් වෙලා හරි අපිට හරියට පුහුණුවීම් ටික කරන්න පහසුකම් දෙනවා නම් මේ ළමයි තව ගොඩාක් දුර අරන් යන්න මට පුළුවන්. මං නිපුනිව අපේ ගෙදර තියාගෙන තමයි පුහුණුවීම් කරවන්නේ. මං ඉස්සර හිටියේ හමුදාවේ. ඒ විශ්‍රාම වැටුපෙන් තමයි මෙයාලට කන්න බොන්න ටික දෙන්නේ. නිපුනි ඇරුණම 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම දිනපු නෙත්මි අහිංසා, චමෝද්‍යා කේෂානි ඉන්නවා. හරියට පුහුණුවීම් කරන්න පහසුකම් ටික සපයලා දුන්නොත් මං මේ කෙල්ලෝ තුන්දෙනාවම ඔලිම්පික් යවලා තමයි පස්ස බලන්නේ. ලබන අවුරුද්දේ ප්‍රංශයේ තියෙන ඔලිම්පික් එක තමයි මගේ ටාගට් එක. ඉදිරි තරඟ ටික හරියට සෙල්ලම් කළොත් ඒකට යන්න පුළුවන්. මට විශ්වාසයි හරියට පුහුණුවෙන්න පහසුකම් ටික ලැබුණොත් සුසන්තිකාට පස්සේ මේ ළමයි තුන්දෙනාගෙන් කෙනෙක් තමයි ඊළඟ ඔලිම්පික් පදක්කම ලංකාවට දිනලා දෙන්නේ. ඒක මට හොඳටම විශ්වාසයි.”

 

රුවන් එස්.සෙනවිරත්න