විශේෂාංග

පුතාලගෙ වැඩපොතේ වගා පාඩම කියවද්දී මගේ හිතත් වගාවට බැඳුනා

සුවඳැති රෝස මලකට තරමටම තිත්ත කරවිල මලකටත් ආදරය කළ හැකිනම්, එවැනි හිතක ගහකොළ, මල් ගැන ඇති ආදරය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ.

නුගේගොඩ, මිරිහාන-ඇඹුල්දෙණියේ පදිංචි නිරෝෂි දොලමුල්ලට ඇත්තේද එවන් ආදරණීය හිතකි.

මේ දවස්වල මගේ කරවිල වැල්වල මල් පිපිලා. උදේම වගාබිමට ගියහම ඒ මල් දකිද්දි මට හරිම සතුටුයි. මම එයාලව අතගාලා කියනවා ඔයාලා හරි ලස්සනට පිපිලා, මට ගොඩක් සතුටුයි, හෙටත් මේ විදියට හිනාවෙන්න කියලා. ඒ වගේම මම ගෙවතු වගාව එක්ක ලබපු එක අත්දැකීමක් තමයි මේ විදියට එයාලට ආදරෙන් කතා කළහම එයාලා අපිට දෙන්නෙත් ඒ ආදරයමයි කියන කාරණේ.

නිරෝෂි කියන විදියට ඒ ලැබෙන ආදරය වගා බෝගයේ අස්වැන්නය. එය ඇගේ නෙත පිනවන සිත සතුටු කරවන සුන්දරතම දසුනක්ව තිබේ. දරුවන් සිව්දෙනෙකුගේ අධ්‍යාපන කටයුතුද ඇතුළුව අනෙකුත් සියලු කටයුතු සොයා බලන අතරවාරයේ, නිරෝෂි පලබර ගෙවත්තකටද හිමිකම් කියන්නීය.

මම ඉපදුණේ හැදුනේ වැඩුනේ මහනුවර. මුල් කාලේ පාසල් ගියෙත් එහේ. මට මතකයි ඉස්සර ආත්තම්මට පොඩි ඉඩමක් තිබුණා. එයා ඒක උදලු ගාලා, එක එක දේවල් වගා කළා. ඒ කාලේ නම් මට කැමැත්ත තිබුණේ මල්වලට. පස්සේ අපි තාත්තගේ ගම වෙන මීගමුවට ආවා. තාත්තා ගණකාධිකාරවරයෙක් විදියට තමයි රැකියාව කළේ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අක්කයි. ආත්තම්මා නම් පසුකාලෙක මියගියා.

ඉගෙනුම් කටයුතුවලින් පසු නිරෝෂි හෙද පුහුණු පාඨමාලාවක් හදාරා පෞද්ගලික රෝහලක හෙදියක ලෙස රාජකාරි ඇරඹුවාය. ඒ 2005 වසරේයි. ඒ කාලයේම, එම රෝහලේ සේවයට එන තරුණ වෛද්‍යවරයෙකු හා මිතුදමක් ඇතිවන්නේ ඔය අතරය.

අපි යාළුවෝ වගේ හොට කතාබහ කළා. එයාට ජොබ් එක ලැබෙනකල් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් ඇවිත් හිටියේ. ඔහොම අවුරුද්දක් එකහමාරක් විතර අපි යාළුවෝ වගේ ඇසුරු කළා. පස්සේ එයාට කැමතිද කියලා ඇහුවත්, එකවර කැමැත්ත දුන්නේ නැහැ. කොහොමහරි අන්තිමට අපි ආදරවන්තයෝ වුණා. දෙපාර්ශවයේම ආශිර්වාද ඇතිව අපි 2007 අවුරුද්දේ විවාහ වුණා. ඉන්පස්සේ මම මේ ගෙදර පදිංචියට ආවා.

පෞද්ගලික රෝහලක හෘදරෝග අංශයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අරුණ දොලමුල්ල ඇයගේ ආදරණීය සැමියායි. ඔවුනට පුතුන් තිදෙනෙකි. එක් දියණියකි. වැඩිමල් පුතුන් දෙදෙනා නිවුන්නුය. එයිනුත් වැඩිමලා ලිතුම් ගිමෙත් ය. දෙවැන්නා මෙතුම් ගිනෙත් ය. තෙවන පුතු ජිතුම් ගීමිත් වන අතර, දියණිය අමා උරේෂා උමයංගනා ය. නිරෝෂි තම දියණියක සේ ආදරයෙන් හදා වඩාගන්නේ තම අක්කාගේ දියණියයි. ඒ ඇයට අවුරුද්දේ සිටය.

අක්කයි, දුවයි දෙන්නට එකට ඉන්න බැරි නොගැලපීමක් තිබුණා. ඉතින් මං අදටත් හිතන්නේ ඒක මගෙත් දුවගෙත් සංසාර බැඳීමක් වෙන්නැති කියලා. දැන් මගේ ලොකු පුතාලා දෙන්නට වයස පහළොවයි. අනෙක් පුතාට දහතුනයි. දුවට දාහතරයි. මේ දරුවෝ හතරදෙනාටම මමත් එක වගේ ආදරෙයි. ඒ ආදරයම තමයි, මං මගේ ගහකොළවලට දෙන්නෙත්.

නිරෝෂිලාගේ ඉඩම පර්චස් දහයක් එකොළහක් තරමේ එකකි. වගාබිම ඇත්තේ දෙවන මහලේ ස්ලැබ් එකේය. ගෙය මුළු ඉඩමේම වාගේ ඇති හෙයින් මිදුලට කියා ඇත්තේ අඩි තුනක පමණ තීරුවකි. ඒ ගෙයි එක් පසෙකට වන්නට තාප්පයත් සමඟ ඇති ඉඩකඩයි. අඹ, කොහොඹ, දෙළුම්, කටුආත්තා, පේර වැනි තරමක විශාලව වැඩෙන ගස් කිහිපයක් එහි සිටුවා ඇත.

ඒ වගේම ගේ පිටුපස අඩි පහක බිම් තීරුවක් තියෙනවා. එතැන වැහි වතුර ගලා යන්න ටැංකි හදලා තියෙනවා. ඒ වගේම තියෙන පොඩි ඉඩෙත් නස්නාරං, බිලිං, කාමරංකා, ඇඹරැල්ලා වගේ තරමක ගස් හිටවලා තියෙනවා. අනෙක් හැමදේම වගා කරලා තියෙන්නේ උඩ තට්ටුවේ. අව්වට ඔරොත්තු දෙන ගස්වැල් මම දැන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මගේ හිත මේ තරම් වගාවට බැඳුන හේතුවකුත් තියෙනවා. පුතාලට පාසලෙන් හය වසර ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියලා පොතක් ලැබිලා තිබුණා. ඒක කියවගෙන යද්දි හිතට ආසාවක් ඇතිවුණා. එතකොට මේ ස්ලැබ් එකේ අත්වැටේ එල්ලපු මල් බකට් කිහිපයක් විතරයි තිබුණේ. පොඩි කතුරුමුරුංගා පැළේකුයි, පුංචිම පෝචිචියක පුංචි මිංචි අතු කෑල්ලකුයි තමයි වගා කළේ. ඊටපස්සේ දම් ගෝවා, මල් ගෝවා, ගෙඩි ගෝවා, අතු ගෝවා වගේ දේවල් වගා කළා. තක්කාලි, මෑ, රාබු, බීට්කංකුං ආදී කොළ වර්ගත් හිටෙව්වා. අමුමිරිස් වගා කළා. අපි මිරිස් කනවා ටිකක් අඩු වුණත්නිවිති කොළයිමිරිස් කොළයි බැටර් එකක දාලා බැදලා ආහාරයට ගන්නවා. එය හරිම රසවත්.

මෙසේ වැවෙන නිවිති, කංකුං ආදී කොළ බොහෝ කැමැත්තෙන් අනුභව කරන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිර්මාංශික බලු සුරතලුන් දෙදෙනෙක් ඇතුළුව බලු සුරතලුන් හතරදෙනෙක් එම නිවසේ ඇත. ඔවුන්ගෙන් කංකුං වගාව බේරාගැනීමටද දැන් ඇයට සිදුව ඇත.

මම එළවලු වර්ග හිටවලා තියෙන්නේ පෝච්චිවල. මට පස් සොයාගන්න තරමක් අපහසු නිසා මගේ වගා මාධ්‍ය වෙන්නේ කොම්පෝස්ට් පොහොර, කොහුබත් සහ හාඩ්වෙයාර් එකෙන් ගෙනා වැලියි. මේවා ප්‍රමාණවලට අරගෙන මිශ්‍ර කරලා පස හදාගන්නවා. මම වගා කරන්න ගත්තම තමයි දැනගත්තේ, සමහර එළවලු වර්ග හැදෙන විශේෂ ආකාරවල් තියෙනවා. නෝකෝල් ගෙඩිය එන්නේ දණ්ඩක් උඩ. පස මතුපිටින් තමයි ගෙඩිය මතුවෙන්නේ. ඒ වගේම ගෝවා (කෝලිෆ්ලවර්) කපාගන්න ඕන නටුව ඉතිරි කරලා. ඒකට හේතුව තමයි, ඒ වටේට පැළ ගොඩක් එනවා. ඒවා වෙනම අරගෙන හිටවන්න පුළුවන්. ගෙවතු වගාවට හිත කෙනෙකුට අත්දැකීමෙන් මේ අවබෝධය ලබන්න පුළුවන්. ඒ වගේම පෝච්චිවලඅධික හිරු රශ්මියට නිරාවරණය වන නිසා මම අව්වට ඔරොත්තු දෙන පැළ වර්ග යට ඊට ඔරොත්තු නොදෙන පැළ තියලා තියෙනවා. ඒ වගේම වතුර දාද්දි, හවසට තමයි වතුර දාන්නේ. උදේට වතුර දැම්මම අව්ව තද වුණහම පැළ මැලවෙන අවස්ථා තියෙනවා.

මේ වනවිට එළවලු බෝග රැසක් නිරෝෂිගේ ගෙවත්තේ ඇති බැවින්, කඩෙන් එළවලුවක් ගෙනාවොත් ඒ වත්තේ නැති දෙයක් පමණි. ඇය පළමු වතාවට සිටවූ කැරට් බීජද සාර්ථක පලදාවක් ගෙනදී තිබේ. බීට්රූට්, රාබු, නෝකෝල්, මිංචි මේ දිනවල පලදාව හොඳය.

කොරෝනා කාලේ කහ හොට වගා කළා. මේ හැමදෙයක්ම සාර්ථක කරගන්න පුතාලා තුන්දෙනාගෙනුත් දුවගෙනුත් ලැබෙන උදව් හරිම වැදගත්. ඒ වගේම මේ වගාව මගේ වුණාට පෝච්චි, පොහොර, පැළ වර්ගවලට, බීජ වර්ගවලට සියලු බරපැන දරන්නේ මහත්තයා.

ඇය කියන්නේ සතුටිනි. බෝග වගාවට වන කෘමි හානි උදෙසා සුදුලූනු පොතු නිස්සාරණයක් සාදා පැළවලට ඉසින බව ඇය කීවාය. බිත්තර කටු වේලා කුඩුකර පොහොර ලෙස යෙදිය හැකි බවද කීවාය. සබන් වතුර ඉසීමත් ඇය වගා ආරක්ෂාවට අනුගමනය කරන ක්‍රමයකි.

මම වගාවේ තැන තැන මල් වවලා තියෙනවා. ඒ එන කෘමි සතුන්ගෙන් වගාවට යම් හො ආකාරයේ බලපෑමක් වෙනවා, මල්වල ගෙඩිකරල් හටගන්න. ඒ වගේම අපි ගහට, කොළට, වැලට, මලට දක්වන ආදරය  හරිම වැදගත්. ඒ වගේම මේ පුංචි වගාබිම ඇතුළේ තියෙන සතුට, සැනසීම හරිම අපූරුයි. ඒක විින්න නම් පුංචිවට හරි වගාවක් අරඹලාම බලන්න ඕන.

නිරෝෂිගේ වදන් සමඟින් වගාබිමෙන් ලැබෙන සතුට කොතෙක්දැයි සිතාගත හැකිය. ඒ අපූර්වත්වය විසිහතර පැයේම නෙතට රසඳුනක් කරගන්නට හැක්කේද වගාවට හිතැති ඇයවන් අයටය.

 

දීපා වසන්ති එදිරිසිංහ