විශේෂාංග

නිස්කාරණේ හිත රිදුනොත් නිස්සරණ සිල්මාතා ආරාමයට එන්න

අනුරාධපුරේ ගිනි ගහන අව්රශ්මියෙන් හෙම්බත්ව සිටි අපි මිහින්තලය දිහාවට හැරුණේ ගිමන් නිවාගැනීමේ අරමුණිනි. ඉලුප්පුකන්නිය පසුකර රුවන්ගම අග්‍රබෝධි මාවත දිගේ ඉදිරියට යද්දී නෙත ගැටුණේ සැබැවින්ම සුන්දර ගම්මානයක අපූර්වත්වයයි. හරිත පැහැ කුඹුරු යායවල්, ගස්වල එහෙ මෙහෙ පනින රිලා රංචු මෙන්ම ගස් යට ඉදී වැටුණු වැල වරකා සුවඳද ඒ සුන්දරත්වය තවත් වැඩි කළේය. ඒ ගමන අවසානයේ අප ළඟා වූයේ නිස්කලංක පරිසරයක පිහිටි මිහින්තලය නිස්සරණ ගිලන් සිල්මාතා ආරාමයටයි. ගස්කොළන්වලින් වටවූ උස්බිමක ඉදිවූ ආරණ්‍යයේ දැනටමත් භික්ෂුණීන් වහන්සේලා කිහිපනමක් වැඩ වාසය කරන බව දැනගන්නට ලැබුණි. ගම්වැසියන්ගේ සීල භාවනා වැඩකටයුතුවලට පමණක් නොව දුක්ඛ දෝමනස්සයන්ට දහම් සිසිල් පැන් ඉසින්නටත් මෙම ආරාමයේ දොර හැමදාමත් විවෘතය.

අනුරාධපුර දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ අනුශාසනා පරිදි අනුරාධපුර විහාරමහාදේවි ආරාමාධිපතිනි සුමනසීලි මෑණියන්ගේත් වැලිගම දමිතා භික්ෂුනීන් වහන්සේගේත් මූලිකත්වයෙන් පවත්වාගෙන යන මේ ආරාමය ඉදිවී දැනට වසර තුනකි.

‘‘අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න හිටින්න තැනක් නැති සිල් මෑණිවරුන් විශාල පිරිසක් ඉන්නවා. අපි දැකලා තිබුණා රාත්‍රී කාලවල්වලට සිල්මෑණිවරුන්ට නුසුදුසු තැන්වල පවා වැඩ ඉන්න සිදුවුණා. ඉතින් මෙවැනි සිල්මෑණිවරුන් වෙනුවෙන් ආරාමයක් කරවලා දෙන්න අපිට ලොකු උවමනාවක් තිබුණා. නමුත් ඒකට අවශ්‍ය කරන භූමියක් සහ මුදල් අපි ළඟ තිබුණෙ නෑ. එහෙම හොයමින් ඉන්නකොට තමයි අනුරාධපුරේ පදිංචි වෙලා ඉන්න අමරකෝන් උපාසක මහත්මයා ඔහුට අයිති අක්කරේක භූමි භාගය ගොඩනැගිල්ලකුත් සමඟම අපිට පූජා කළේ.’’

වැලිගම දමිතා භික්ෂුණීන් වහන්සේ එහි සමාරම්භය ගැන අපට පැහැදිලි කරන්නට ගත්තේ එලෙසිනි.

ගිහිකල සමාජ සංවර්ධන නිලධාරිනියක් වූ ඇය උසස් අධ්‍යාපනයක් ලද, ගේ දොර ඉඩකඩම්වල උරුමය තිබූ අයෙකි. එහෙත් ඇය කාලයත් සමඟ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් නිසා විවාහ දිවියකට පය නොතබා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට තීරණය කර ඇත. අනුරාධපුර ශ්‍රී ධම්මිකාරාමයට පැමිණි සිටි භික්ෂුණීන් වහන්සේලාට උවටැන් කරමින් සිටින අතරතුර 1982 වසරේ මහණ දිවියට පත් එතුමියට මේ වනවිට වයස අවුරුදු 82කි.

‘‘මුලින්ම මේ ඉඩමේ තියෙන ගොඩනැගිලි හදලා තියෙන්නේ වැඩිහිටි නිවාසයක් සහ ළමා නිවාසයක් පවත්වාගෙන යන අරමුණු ඇතුවයි. ඒ වුණාට ඒ කටයුතු අසාර්ථක වුණ නිසා අමරකෝන් උපාසක මහත්තයත්, මංජුල සූරියප්පෙරුම උපාසක මහත්තයත් මේ තැන අපට පරිත්‍යාග කළා.’’

ඒ අනුව ගිලන් භික්ෂුණීන් වහන්සේලා පස්නමකගෙන් සමන්විත නිස්සරණ ගිලන් ආරාමය ආරම්භ කර ඇත්තේ 2020 වසරේදීය.

‘‘මේ වෙනකොට අපි නිස්සරණ ගිලන් ආරාමයේ ඉදිරි සංවර්ධන කටයුතු පටන් අරගෙන තියෙනවා. පානදුරේ ධම්මදින්නා මෑණියන් වහන්සේගේ දායක පිරිසකගේ මැදිහත්වීමෙන් මෑතකදී අපට නළ ළිඳක් කපලා ජල පහසුකම් සපයලා දුන්නා. ඒ වුණාට මේ ආරාමෙට තවත් අඩුපාඩුනම් බොහොමයක් තියෙනවා. එකක් තමයි ගිලන් මෙහෙණින් වහන්සේලා තාමත් වැඩ වාසය කරන්නේ එකම ශාලාවක. ඒ අයගේ එදිනෙදා වැඩකටයුතුවලට ඒක ලොකු බාධාවක්.’’

එම අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ මැදිහත්වීමෙන් තවත් ගිලන් කුටි 7ක් සෑදීමට කටයුතු කරමින් සිටින බවයි උන්වහන්සේ පැවසූවේ.

‘‘වැඩකටයුතුවලට මේ වෙද්දි රජයෙනුත් අපට ලක්ෂ 5ක මුදල් ආධාරයක් ලැබිලා තියෙනවා. ඉතිරි වැඩකටයුතුවලට ඕනෑම දායක මහත්ම මහත්මියෙකුට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් ආධාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගිලන් කුටියක් තනිවම භාරගෙන හරි වැඩ කටයුතු නිම කරලා දෙන්න පුළුවන්.’’

ගිලන් සංඝයාට ඇපඋපස්ථාන කිරීම, අටමහා කුසල් ගණයට අයත්, මහත් ඵල මහානිසංස පිංකමක් බව අප කොයි කවුරුත් හොඳින් දන්නෙමු.

භගවතා ගිලාන හන්තං

අනුජ්ඥානං ගිලාන භේසජ්ජං

අනුජ්ඥානං ගිලාන පට්ටානං

මහණෙනි ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම මට කරන උපස්ථානයකට සමාන යැයි වරක් අප මහා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුණ් ප්‍රමුඛ මහා සංඝරත්නයටද දේශනා කර වදාළේ ඒ නිසාය. එසේම නිස්සරණ ගිලන් ආරාමයට දැනට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකගේ සහ බුදු මැදුරක අඩුපාඩුවද පවතී.

‘‘මහණ වෙන්න ගිහින් නිසි තැනක් නොලැබුණු ඕනෑම ගිහි කාන්තාවකට, තරුණියකට අපේ ආරාමෙට එන්න පුළුවන්. ඊට පස්සේ ගිලන් මෙහෙණින්ට ඇප උපස්ථාන කරගෙන කාලයක් ඉඳලා මේ ආරාමෙදිම මහණ වෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා.’’

ජීවිතේ එන හැලහැප්පීම් දරාගැනීමට නොහැකිවීම නිසා බොහෝ කාන්තාවන් ඒවාට පිළිතුරු සොයන්නේ වැරදි ආකාරයටය. බොහෝ අය අවබෝධයෙන් මහණවෙද්දී තවත් පිරිසක් මහණ දම් පුරන්නට එන්නේ පෞද්ගලික කරදර බාධක නිසා හිත කළකිරීමෙනි. ඇතැම් වේලාවට ඒවා සියදිවි හානි කරගැනීම්වලිනුත් කෙළවර වන අවස්ථා ඇත. නමුත් නිස්සරණ ගිලන් ආරාමයට එන ඕනෑම අයෙකුට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට ධර්මයේ උදව් උපකාරය ලැබේ. එමෙන්ම මහණදම් පිරීමට ආරාමයක් නොමැතිව සිටින භික්ෂුණීන් වහන්සේලාට මෙන්ම ලංකාවේ ඕනෑම තැනක වැඩවාසය කරන ගිලන් භික්ෂුණීන්ටද මිහින්තලය නිස්සරණ ආරාමයේ දොරගුළු විවෘතය.

සසර පිනකට මිනිස් ජීවිතයක් ලද ඔබ නිස්සරණ ගිලන් ආරාමයට පැමිණ භික්ෂුණීන් වහන්සේලාගෙන් ධර්මය අසා පින් සිත් ඇති කරගනිත්වා.

ඒ සසර පාරමිතාවන් පුරන මෙහෙණින් වහන්සේලා ඔබට දෙන පණිවිඩයයි.

ලිහිණි මධුෂිකා