විශේෂාංග

ඔලිම්පික් නිර්මාතෘගේ මතය බොරු කළ ඔලිම්පික් ලන්දූ

ක්‍රීඩාවේ ජීව ගුණය රඳවන සිදුවීම් රැසක් මෙවර ටෝකියෝ ඔලිම්පික් හිදී දක්නට හැකිවිය. පදක්කම් බෙදාගැනීම, අනෙකාගේ ජය සැමරීම, වැටුණත් නැගී සිට ජය හඹා යාම මෙන්ම වැටුණු ප්‍රතිවාදියාට අතදීම ආදී සුන්දර සිදුවීම් පෙන්වා දුන්නේ ක්‍රීඩාවේ චමත්කාරයයි. කෙසේ වුවත් මෙවර වාර්තා අලුත් වීමේ නම් තරමක පසුබෑමක් තිබුණි. කොව්ඩ් – 19 හමුවේ පුහුණුවීම්වලට මතුවූ බාධා ඊට හේතුව බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතයයි.

1894 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ස්ථාපිත කරන විට එහි නිර්මාතෘ ප්‍රංශ ජාතික ඉතිහාසඥ පියර් ඩි කුබර්ටන් (Pierre de Coubertin) පැවසුවේ කාන්තාවන් ක්‍රීඩා කිරීම ස්වභාවික නීතියට පටහැණි බවයි. නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් වෙනුවෙන්ද කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබිණ. ගර්භනී කාන්තාවන්, කිරිදෙන මව්වරුන් මෙන්ම වයස අවුරුදු 40 දක්වා කාන්තා නියෝජනයක් එහි තිබීම විශේෂත්වයකි. NBC මාධ්‍ය වාර්තාවක සටහන් වූයේ වර්තමානයේ ක්‍රීඩාව තුළ කාන්තාවන්ගේ වර්ධනීය ලක්ෂණ දුටුවහොත් කුබර්ටන් සිය සොහොනේම පෙරළී යනු ඇති බවයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් විශිෂ්ඨ ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කතාබහට ලක්විය. ජීවිතය දිනන්නට ඔවුන්ගෙන් උගත හැකි පාඩම් අපමණය.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසුවේලා වැසියන්ගේ මුවඟට සිනාවක් ගෙනදීමට තුන් පිම්ම ශූරී ජූලිමාර් රෝහාස් සමත් වූවාය. අවසන් තරගයේ ඇගේ පළමු පිම්ම ඔලිම්පික් වාර්තාවකි. අවසන් පිම්මේදී රෝහාස් එහි ලෝක වාර්තාව ද තමා සතුකර ගත්තාය. වෙනිසුවේලාව වෙනුවෙන් රන් පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව ඇයයි. රෝහාස් පවසන්නේ දුෂ්කර සමයක් පසුකරමින් සිටින සිය රටවාසීන්ගේ සතුට තමාගේ අපේක්ෂාව බවයි. තමා ආදර්ශයට ගනිමින් වෙනිසුවේලා දරුවන් බලාපොරොත්තුසහගත වනු දැකීම තම ප්‍රාර්ථනය බව ඈ පවසයි.

මෙවරද ලොව වේගවත්ම කාන්තාවන් අතර අණසක පැතිරවීමට ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. රන්, රිදී, ලෝකඩ ත්‍රිත්වයම ඔවුන්ටය. එලීන් තොම්සන් හේරා මීටර 100 රන් පදක්කම දිනාගත්තේ වසර 33 කට පෙර ෆ්ලොරන්ස් ජොයිනර් තැබූ ඔලිම්පික් වාර්තාව බිඳිමිනි. ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් රිදී පදක්කම දිනද්දී ෂෙරිකා ජැක්සන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී ද කාන්තා මීටර 100 රන් පදක්කම් තුනම දින්නේ ජැමෙයිකානුවන්ය. ටෝකියෝ ඔලිම්පික් මීටර 200 කාන්තා රන් පදක්කමද දිනාගනු ලැබුවේ තොම්සන් හේරා විසිනි.

ලොව විශිෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක ලෙස සැලකෙන අමරිකාවේ සිමෝන් බයිල්ස් මෙවර විශේෂ අවධානයට ලක්ව සිටියාය. ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් 32 ක ඇගේ එකතුව සෝවියට් ක්‍රීඩිකා ලරිසා ලැටනිනාට සම වෙයි. එහෙත් ඒ අතුරින් වැඩිම රන් හිමිකාරිනිය බයිල්ස්ය. කෙසේ වෙතත් මානසික ව්‍යාකූලත්වය මත ඉසව් කිහිපයකින් ඇය ඉවත් වූවාය. සහභාගි වූ ඉසව් දෙකෙහි රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවීම සමඟ ඇය ජිම්නාස්ටික් ඉසව්වෙන් වැඩිම පදක්කම් දිනූ ඇමරිකානු ක්‍රීඩිකාවට හිමි වාර්තාව සම කළාය. බයිල්ස්ගේ මානසික පසුබෑම සමඟ ලොව පූරා ජනප්‍රිය පුද්ගලයින් සහ ක්‍රීඩාලෝලීන් ඇය අගය කිරීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.

ටෝකියෝ ඔලිම්පික් මීටර 1500 මූලික වටයේ තරගයක් මෙවර විශේෂ අවධානයක් ලැබීය. ඒ, නෙදර්ලන්ත ධජය යටතේ ඉදිරිපත් වූ සිෆාන් හසන් නිසාය. ඉතියෝපියාවේ උපත ලද ඇය වයස අවුරුදු 15 දී නෙදර්ලන්තයට සංක්‍රමණය වූවෙකි. මූලික තරගයේ අවසන් වටයේ දී හසන් තවත් ක්‍රීඩිකාවක සමඟ බිම ඇද වැටුණාය. එහෙත් ක්ෂණිකව නැගී සිටි ඈ යළි තරගයට අවතීර්ණ වූවාය. ඒ වනවිට මීටර් කිහිපයක පරතරයකින් සිටි සියලු ක්‍රීඩිකාවන් අබිබවා පළමුවැනියා ලෙස තරගය නිමකිරීමට ඇයට හැකිවිය. එදිනම රාත්‍රියේ පැවති මීටර 5000 ඉසව්වේ රන් පදක්කම හසන් හිමිකර ගත්තේ සිය ප්‍රථම ඔලිම්පික් පදක්කම ලෙසිනි.

වයස අවුරුදු 15 ක් වනවිට 2012 දී රන් පදක්කමකින් සිය ඔලිම්පික් චාරිකාව ඇරඹූ ඇමරිකානු පිහිනුම් ක්‍රීඩිකා කැතී ලෙඩෙකි මෙතෙක් බිහිවූ විශිෂ්ඨතමයෙකි. වැඩිම ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් දිනූ පිහිනුම් ක්‍රීඩිකාව ඇයයි. එකතුව 22කි. මෙවර ඇය රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකකට හිමිකම් කීවාය. ටෝකියෝ ඔලිම්පික්හි කැතීගේ අවසන් නියෝජනය වූ මීටර 800 ඉසව්ව ඇය ජය ගත්තේ නව ලෝක වාර්තාවක් ද සමඟිනි.

ඕස්ට්‍රේලියා පිහිනුම් ශූරී එමා මැකේයන් ද මෙවර කතාබහට ලක්වූ ක්‍රීඩිකාවකි. ඇය රන් පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් දින්නාය. එකම ඔලිම්පික් තරඟාවලියකදී පදක්කම් හතක් දිනූ පළමු පිහිනුම් ක්‍රීඩිකාව මැකේයන් ය. ඕනෑම ක්‍රීඩාවක් සමඟ සැසඳීමේදී ඇය යුක්රේන ජිම්නාස්ටික් ක්‍රීඩිකා මරියා ගොරකාස්ක්යා 1952 දී තැබූ වාර්තාව සම කළාය.

පෝලන්ත ක්‍රීඩිකා අනිටා වොදාර්චක් මිටිය විසි කිරීමේ ඉසව්වෙන් අඛණ්ඩව තුන්වන වතාවටද ඔලිම්පික් රන් පදක්කම දින්නාය. එකම ඉසව්වෙන් ඔලිම්පික් උළෙල තුනකදී රන් පදක්කම් දිනූ ප්‍රථම ක්‍රීඩිකාව ඇයයි. මීටර 80 සීමාවෙන් එපිටට මිටිය විසි කිරීමට සමත් වූ පළමු ක්‍රීඩිකාව ද ඇයයි. මීටර 82.98 ක් ලෙස එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද වොදාර්චක් ය.

ටෝකියෝ ඔලිම්පික් හිදී විශිෂ්ටත්වයට පත් ක්‍රීඩිකාවන් අතරින් මෙහි ලියැවී ඇත්තේ කිහිපදෙනෙකු පිළිබඳ පමණි. ඒ සියලු ක්‍රීඩිකාවන් ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි බැබළෙන තාරකාය. ඔවුන් තමාගේ තැන ඉල්ලා හඬා වැටෙනු වෙනුවට කැපවීමෙන් හිමිතැන දිනාගත්තවුන්ය. ඒ අසීරු මගක ඉවසීමෙන්, වෙහෙසීමෙන් ගමන් ගත් බැවිනි. ඔවුන් හා සමවීමට හෝ ඔවුන් පසුකර යාමට අවැසි අයෙකු වේනම් ඒ මග යාමේ ආත්ම විශ්වාසය ද කැපවීම ද තිබිය යුතුමය. එවැන්නන් 2024 වසරේ ප්‍රංශයේදී සිය ඉලක්ක සපුරන තෙක් බලා හිඳිමු.

රෂ්නිකා ලියනගේ